"දුප්පත් කම වැළඳ ගන්න. ඔබේ මවට ආදරය කරන්නා සේ දුප්පත්කමට ප්‍රේම කරන්න." - පාප්වහන්සේගෙන් පුජකවරුනට අනුශාසනා

Wealth Impoverishes" - Pope Francis begs for a poor church

සුදොතුම් පියතුමා සන්ධ්‍යා මෙහෙයේ දේශනාව පවත්වමින්

(2015 සැප්තැම්බර් 21)
"ධනය සහ සුඛ විහරණ ඔබ දුප්පත් කරයි. දුප්පත් කම වැළඳ ගන්න. පූජක සහෝදරවරුනි, ඔබේ අම්මාට ආදරය කරන්නා සේ දුප්පත්කමට ආදරය කරන්න."

සමස්ත කතෝලික සභාවට දුප්පත්කම වැළඳ ගන්නැයි ප්‍රබල අභියෝගයක් කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (සැප්තැම්බර 20 ඉරිදා) කියුබාවේ දී රදගුරු හිමිවරුන්, පූජකවරුන් , පැවිදිවරුන් , පැවිදිවරියන් හා දෙව්සත්හල් සිසුන් (පූජක සිසුන්) අමතමින් මෙම ප්‍රබල ඉල්ලීම කළහ.

ඉරිදා සන්ධ්‍යාවේ හවානා නුවර නිර්දෝෂ පිළිසිඳීමේ කන්‍ය මරිය වහන්සේ ගේ ආසන දෙව්මැදුරේ දී සුදොතුම් පියතුමා රදගුරු, පූජක , පැවිදි පිරිස් සමග එක්වෙමින් සන්ධ්‍යා මෙහෙය යැදුමට සහභාගී වූහ. එහිදී තමා සුදානම් වූ කතා පිටපත ඉවත දැමූ එතුමා ආධ්‍යාත්මික දුප්පත්කමේ වැදගත්කම, ලෞකික සුඛවිහරණ වල ඇති අන්තරායකාරී බව සහ සිය ජනතාවට දයා කරුණාව දැක්වීමේ අවශ්‍යතාව ගැන, සිය හදවතින්  ම පැන නගින අදහස් සහෝදර පුජකතුමන් සමග බෙදා ගත්හ.

පාප්වහන්සේ ගේ මෙම දේශනය වූ කලී, සභාව, සුඛ විහරණ හා ධනය අත්හැර දුප්පත්කම වැළඳ ගත යුතු යැයි එතුමන් රිජුව කල ප්‍රබලම ප්‍රකාශය ලෙස ඇමෙරිකාවේ පලවන National Catholic Reporter පුවත්පත හඳුන්වයි. එම පුවත්පත් කතුවරයා සඳහන් කරන්නේ මෙම දේශනය කතෝලික සභාව පිලිබඳ ප්‍රැන්සිස් සුදොතුම් පිය දර්ශනයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස හැඳින්විය හැකි බවයි.

"ලෝකයේ චින්තනය, තමන්වහන්සේ හිස් කරගනිමින් දිළින්දකු බවට පත් වූ දේව පුත්‍රයාණන් වහන්සේ ගේ මාර්ගයට ප්‍රේම නොකරයි" යැයි සිය අනුශාසනය ආරම්භ කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියහ." උන්වහන්සේ තමන් ශුන්‍යය බවට පත් කර ගත්තා.අප වැනි මනුෂ්‍යයකු බවට පත්වීමට තරම් තමන් වහන්සේව පහත්  කර ගත්තා.මේ නිසා අප සෑම කෙනෙකුම ඊට සමාන දුප්පත්කමකට කැඳවනු ලැබ සිටිනවා.කිතුනුවාගේ යුතුකම දුප්පත්කමෙන් සැඟවීම නොවේ. එය සාදරයෙන් පිළිගැනීමයි."

"ලෞකික දෙයින් ප්‍රමුදිතව, අවිශිෂ්ට, ද්විතියික දෙයට ආකර්ෂණය වීම නිසා බොහෝ යහපත් ආත්මයන් විශ්වාසයෙන් ඉවත්ව යන " බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. එබැවින් ලෞකික වස්තු සම්පත් හා සුඛ විහරණ වලට  ඇලීසිටීමෙන් පරෙස්සම් වන්නැයි එතුමා පුදදුරු තුමන්ලාගෙන් ඉල්ලා සිටියේ ය.

"ධනවත්කම හා වස්තු සම්පත්  ඉතා දරුණු ලෙස ඔබ දුප්පත් කරයි. සුඛවිහරණ අප සතු ඉතා යහපත් දේ උදුරාගෙන අප දුප්පත් කමට ඇද දමයි," යැයි අවධාරණය කල පාප්වහන්සේ ඊට ප්‍රතිවිරුද්ධව ආධ්‍යාත්මික පොහොසත්කමේ වැදගත් කම පෙන්වා දුන්හ: "දුප්පත්කමේ ජීවගුණය යනු සියල්ල අත්හැරීමයි. සියල්ලෙන් වියුක්ත වී ජේසු සමිඳුන් අනුගමනය කිරීමයි. සැබවින් පොහොසත් වීම යනු දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසයයි."

"ඔබ ඔබේ අම්මාට ආදරය කරන්නේ යම් සේ ද එසේම දුප්පත්කමට ප්‍රේම කරන්නැ"යි ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය පූජක සොයුරනට උපදෙස් දුන්හ. "එය ඔබේ ජීවිතයට යහපතක් සිදුකරාවී" යි එතුමා සඳහන කලේ ය. .

ජේසු නිකාය ආරම්භ කල ශාන්ත ඉග්නේෂස් ලොයොලා තුමන් ගේ උපදේශයක් පාප් වහන්සේ මෙහි දී සිහිපත් කළහ:

"දුප්පත්කම කැපවුණු ජීවිතයේ මව සහ ප්‍රාකාරයයි. දුපත්කම මව වන්නේ එය දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ජනිත කරන නිසයි. දුප්පත්කම ප්‍රාකාරය වන්නේ එය සියලු ඓහික, ලෞකික ආශාවන් හා ආකර්ශනයන්ගෙන් අප ආරක්ෂා කරන නිසයි."



සේවාව ලබන ජනතාවට දයා කරුණාව දැක්වීම 


පුදදුරුතුමන් ලාගෙන් සේවාව ලබන ජනයාට දයා කරුණාව දක්වන්නැයි ද ප්‍රැන්සිස් පාප් වහන්සේ එතුමන්ලාගෙන් ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම පාපොච්චාරණය කිරීමට (සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානයට) පැමිණෙන තැනැත්තන්ට කරුණාව දක්වන්නැයි උන්වහන්සේ අවධාරණය කළහ.

"මාගේ සහෝදරයන් ගෙන් ඉතා කුඩා වූවනට ප්‍රේම කලොත්" යැයි ජේසු සමිඳුන් පැවසූ බව එතුමා සිහිපත් කලේ ය.

"කවුද මේ ඉතා කුඩා වූවන්? ඉතා අල්ප වූවන් ? අපට ඔවුන් හමුවන්නේ කොහේ ද?" සුදොතුම් පියතුමා ප්‍රශ්න කළේය. "සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා සැඟවුණු තැනැත්තන්, දුබල වූවන්, අනාරක්ෂිත වූවන් අතරයි ජේසු ගේ ඉතා අල්ප වූවන් සිටින්නේ" එතුමා පිළිතුරු දුන්නේය.

"විශේෂයෙන් ම පාපොච්චාරණ ආසනයේ දී ඔබට ඉතා කුඩා වුවන් මුණ ගැසෙනවා. ගරු පියවරුනි, ඔවුනට කරුණාව දක්වන්න . ඔවුන්ට ජේසු සමිඳුන්ගේ සමාව දානය කරන්න" යි පාප් වහන්සේ ඉල්ලා සිටියහ.

"ගැහැනියක හෝ මිනිසකු  තම දුක්ඛිතබව ඔබට  පෙන්වන විට, ඔවුන් කෙරෙහි ඔබ ගේ අවධානය යොමු කරන්න. මන්ද ඔබ සතුව ඇත්තේ ද එම දුක්ඛිතකම නිසා ය. ඔවුන් සිය දික්ඛිතබව පෙන්වන විට, කරුණාකර ඔවුනට දඬුවම් නොකරන්න. එසේ නැති නම් ඔබගේ පාප ගැන සිතන්න. එසේ සිතා එම පුද්ගලයා සිටින තත්වය තේරුම් ගැනීමට, ඒ තරමට බැහැපත් වීමට උත්සාහ කරන්න."

"ඔබ සතුව එක් ප්‍රධාන කාර්යභාරයක් තිබේ. එනම් දෙවිඳුන් ගේ දයාව දැක්වීමයි.සමාව දීමෙන් වෙහෙසට පත් නොවන්න. සමාව දෙන්නන් වන්න. ජේසු සමිඳුන් සේ වන්නැ" යි සුදොතුම් පියාණෝ රදගුරු, පූජක , පැවිදි සහ පූජක සිසු සැමගෙන් ඉල්ලා සිටියහ.

සභා ආචාර්යවරයකු ලෙස බුහුමනට පාත්‍රව සිටින ශු. අම්බ්‍රෝස් තුමන් ගේ උපදේශයක් උපුටා දක්වමින් පාප්වහන්සේ මෙසේ කීහ.:

"දයා කරුණාව ඇති තැන ජේසු සමිඳාණෝ වැඩ සිටිති. දැඩි බව හෝ අනම්‍ය බව ඇති තැන සිටින්නේ උන්වහන්සේ ගේ සේවකයන් පමණි."

විමර්ශනය 

"දුප්පත් සභාවක්; දුප්පතුන්  සඳහා සභාවක්" යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් ගේ සභාව පිලිබඳ දැක්මේ ප්‍රධානතම අංකය ලෙස හැඳින්වුවොත් එය නිවැරදිය. ඉකුත් දශක කිහිපය පුරා දේව ජනතාව  සභාවෙන් ඉවත්ව ගොස් ඇත්තේත් සභාව අභ්‍යයන්තරයේම විවිධ අර්බුද හටගෙන ඇත්තේත්, සභාව සුඛ විහරණයට ඇලීමේ අපචාරය හේතුවෙන් බව උන්වහන්සේ අදහස් කරති. වස්තුවෙන් හා සුඛ විහරණයෙන් වියුක්තව, තමන් හිස් කරගෙන මහා බලැති දෙවි පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය  තැබීමෙන් පමණක් සභාවට නවෝදයක් ලැබිය හැකි බව උන්වහන්සේ ගේ දැඩි විශ්වාසය යි.

ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ පවසන්නේ තමන් ඊට ආදර්ශයක් වෙමිනි. බලයෙන් දුෂණය වූත් පාරිභෝගිකවාදයේ තරගයෙන් මුසපත්ව කතෝලික ජනතාව තරගයට මෙන් දුවන අතර දුප්පතුන් අමතක වී සිටියාවූත්  ආජන්ටිනාවේ බුවනොස් අයරෙස් පදවියේ අගරදගුරු කාදිනල් තුමන් ලෙස උන්වහන්සේ අල්පේච්ඡ ජීවිතයක් ගතකරමින් "දුප්පත් සභා නායකත්වයකට" සාක්ෂි දැරූහ. එසේ කොට, එය නොකළ හැක්කක් නොවන බව තහවුරු කළහ.

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව තමන් උගන්වන ඉගැන්වීම වලට සිය ජීවිත ශෛලියෙන් කෙතරම් දුරට සාක්ෂි දරන්නේ ද? දැනටමත් දැඩි ආර්ථික අපහසුකම් වලින් පෙළෙමින් සිටින ජනතාව තුළ දේව බිය ජනිත කොට ඔවුන්ගෙන් ලබා ගන්නා මුදලින් ඉදිවන සුඛෝපභෝගී මීසම් ගෘහ, දේවස්ථානය අවටම පවුල් රැසක් කුසගින්නේ නින්දට යද්දී නොහොත් දරුවන් පාසල් යැවීමට මුදල් නැතිව දෙමාපියන් දුක් ගින්දරෙන් පසු වෙද්දී දෙව්මැදුරේ බිම 'ටයිල්" වලින් ද දෙව්මැදුරු භුමිය "බැසිල් ගල්" වලින්ද අලංකාර කිරීම, දෙමාපියන්ගෙන් මුදල් අයකොට දහම් පාසල් දරුවන් ගේ කළා කුසලතා සංදර්ශන පැවැත්වීම වැනි මෙකි නොකී දේ සිදුවන්නේ ජේසු සමිඳුන් ගේ කවර ඉගැන්වීමකට අනුවදැයි යමකු තුළ සාධාරණ ප්‍රශ්න පැන නගින්නේ   ප්‍රැන්සිස් පාප් වහන්සේ  දේශනා කරන   සුවිශේෂය මත පදනම් වූ මෙම අනුශාසනා අසන විට ය.

ප්‍රැන්සිස් පාප්වහන්සේ "දුප්පත්  සභාවක්" ගැන ලබා දෙන මෙම අනුශාසනා ශ්‍රී ලංකාවේ කතෝලික  සභාවේ  සැබෑ ක්‍රියාකාරිත්වය හා සසඳන කල එක ප්‍රශ්නයක් පැන නගියි.

"ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ජේසු සමිඳුන්ගෙන් ඈත්  වෙමින් සිටින්නේ ද?"




(NCR, CNA)


Comments

  1. පාප් වහන්සේ පිලිපදින අපේ හාමදුරුවන් පිලිනොපදින බුදු වදන.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය