වඩා යහපත් ලෝකයක් ගොඩනැගීමේ නායකයන් වන්න - සුදොතුම් පියතුමා කියුබා සහ ඇමෙරිකා තරුණයන්ට කියයි

"Be leaders of the building of a better world" Pope advises youth from Cuba and America 



(2015 සැප්තැම්බර් 20)
අධ්‍යාපනය හා ක්‍රීඩාව ළමා කාලයේ  වර්ධනයෙහි ලා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. ළමයින් සතුව අයිතිවාසිකම් රැසක් පවතියි. ඉගෙනගන්නට අයිතිවාසිකම, ක්‍රීඩා කරන්නට අයිතිවාසිකම, සතුටු වන්නට අයිතිවාසිකම, සිනාසෙන්නට, ආදරය ලබන්නට ඇති අයිතිවාසිකම ඒ අතර ප්‍රමුඛත්වය ගනියි. එහෙත් යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ලොව ප්‍රදේශ ගණනාවක ළමයිනට අද මේ අයිතිවාසිකම් ශෝචනීය ලෙස අහිමි වී ඇතැයි  එතුමා පෙන්වා දුන්නේ ය.

පාප් වහන්සේ මේ බව කියා සිටියේ ඇමෙරිකානු හා කියුබා යොවුන් කණ්ඩායම් දෙකක් සමග පැවති ටෙලි සාකච්ඡාවක දී ය. පාප්වහන්සේ වතිකානයේ සිට ද ඇමෙරිකානු යොවුන් කණ්ඩායම නිව්යෝක් නුවර සිට හා කියුබා යොවුන් කණ්ඩායම හවානා නුවර සිට ද මෙම ටෙලි හමුවට එක්වුහ.

හමුව පැවැත්වුනේ ප්‍රශ්න-පිළිතුරු ආකාරයට ය. යොවුන් කණ්ඩායම් ප්‍රශ්න ඉදිරිපත් කල අතර සුදොතුම් පියතුමා ඊට පිළිතුරු දුන්නේ ය.  අධ්‍යාපනය, පරිසරය, නායකත්වය, යුද්ධය හා සාමය හා සහයෝගිතාව වැනි තේමා කිහිපයක් වටා යෞවනයන් ගේ ප්‍රශ්න ගොනු වී තිබිණි.

සුදොතුම් පියතුමා ගේ නායකත්වය කෙබඳු දැයි හවානා කණ්ඩායමේ තරුණයෙක් පාප් වහන්සේ ගෙන් විමසීය.

"නායකයෙක් හොඳ  නායකයෙක් වෙන්නේ තාරුණ්‍යයෙන් තවත් නායකයන් බිහිකළ හැකි නම් පමණයි," ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.

"නායකයකු තමන් පමණක් නායකයා වීමට උත්සාහ දරන්නේ නම්, ඔහු ආඥාදායකයෙක්. සැබෑ නායකයා සාරවත් පුද්ගලයෙක්. ඔබ සෑම කෙනකු තුළම නායකත්වයේ  බීජ තිබෙනවා.එය වර්ධනය කර ගන්න.ඔබේ සිත් ඇදගත් ක්ෂේත්‍රයේ නායකයකු වන්න: එනම්,  යහපත් සිතුම් පැතුම්  වල නායකයන්, ක්‍රියාවේ නායකයන්, ප්‍රීතියේ සහ ආනන්දයේ නායකයන්, අපේක්ෂාවේ හා බලාපොරොත්තුවේ නායකයන් සහ වඩා යහපත් ලෝකයක් ගොඩනැගීමේ නායකයන් වන්න.මෙයයි ඔබගේ මාර්ගය. එහෙත් ඒ සඳහා බිජුවට ඔබ තුළ තිබෙනවා.හුදෙකලා නායකයන් අද ඉඳීවි; එහෙත් හෙට ඔවුන් නැතිව යනවා. තම ජනතාවට සේවය නොකරන්නේ නම්, වෙනත් අය තුළ නායකත්වය රෝපණය නොකරන්නේ නම් ඔවුන් නායකයන් නොවේ; ආඥාදායකයන්. මට ආඥාදායකයකු වීමේ අදහසක් නැහැ. මේ නිසා මම වපුරන කෙනෙක් නොවේ. පැල කරන කෙනෙක්" යයි එතුමා විස්තර කලේ ය.

කියුබා සහ ඇමෙරිකා අපෝස්තලික ගමන  ගැන නිව්යෝක් තරුණයකු කල විමසීමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කියා සිටියේ දේව කැමැත්ත අනුව තමන්ට කල හැකි දේ කරන්නට මේ සංචාරයේ දී උත්සාහ කරන බවයි.

"ප්‍රධාන වශයෙන් ම පාලම් ගොඩ නැගීමටත් (සම්බන්ධතා ඇති කිරීමටත්) බාධක ඉවත් කිරීමටත් මම උත්සාහ කරනවා. මගේ ප්‍රයත්නය දෙපාර්ශවය අතර සන්නිවේදනය ගොඩනැගීමයි. සන්නිවේදනය මගින් මිත්‍රත්වය ඇති වෙනවා. ලෝකයේ අති සුන්දරම දෙයක් වන්නේ සමාජ මිත්‍රත්වයයි. මා ඔබගෙනුත් බලාපොරොත්තු වන්නේ එයයි: එනම් සමාජ යහළුකම් ගොඩනගන්න." යි එතුමා යෞවනයන් ගෙන් ඉල්ලා සිටියේ ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය