තෙරේසා මව්තුමිය ගේ මැදිහත්කමින් වූ ප්‍රාතිහාර්යයක් ගැන විමර්ශන ඇරඹේ - සාන්තුවරය දයාවේ ජුබිලි වසරේ දී?

Investigations begin on a miracle attributed to Mother Theresa - Canonization in the year of Mercy?



(2015 සැප්තැම්බර් 18)
දීර්ඝ කාලයක් මොළයේ විස්ඵොට  (ගෙඩි) රෝගයෙන් දුක්විඳිමින් සිට, විස්තර කල නොහැකි ලෙස සුවපත් වූ බ්‍රසීල ජාතිකයකු ගේ සිද්ධියක් පිළිබඳව වතිකානය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම පුද්ගලයා සහ ඔහුට මග පෙන් වූ පියතුමා ප්‍රකාශ කරන්නේ භාග්‍යවන්ත කල්කටාවේ තෙරේසා මව්තුමිය ගේ මැදිහත්කමින් මෙම සුවපත් වීම සිදු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වතිකානයේ සාන්තුවරුන් පිලිබඳ පර්ෂදය විශේෂඥ වෛද්‍යවරුන් ද ඇතුලත් වූ කණ්ඩායමක් මගින් දැන් විමර්ශන සිදු කරමින් සිටියි.

මෙම සුවපත් වීම ප්‍රාතිහාර්යයක් ලෙස ඔප්පු වුවහොත් එය කල්කටාවේ තෙරේසා මව්තුමිය සන්තුවරයට පත් කිරීමට අවශ්‍ය අවසන් කොන්දේසිය වන ප්‍රාතිහාර්යය බවට පත්වනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග කියයි. එසේ වුවහොත් දයාවේ වසර හා  අති විශේෂ ජුබිලි වසර වන 2016 දී එතුමිය සාන්තුවරියක ලෙස ප්‍රකාශට පත් කෙරෙනු ඇති බවට එම ආරංචි මාර්ග බලාපොරොත්තු පල කරයි.

දයාවේ ජුබිලි වසරේ දී තෙරේසා මව් තුමිය සාන්තුවරභාවයට පත් කිරීමට තමන් තුළ ඇති බලවත් කැමැත්ත සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කිහිප විටක් ප්‍රකාශයට පත් කර තිබේ. එතුමිය ලෝකයට  දයාව පිලිබඳ ප්‍රබල සලකුණක් වූ අතර දුප්පතුන්ට ඇය දැක්වූ අපරිමිත ප්‍රේමය දයාවේ වසරට බලවත් ආදර්ශයක් වනු ඇතැයි එතුමා බලාපොරොත්තු වෙයි. (රහස්‍ය භාවය රැකීමේ සම්ප්‍රදාය මත මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළිදරව් කර නොමැත.)

මෙම කාලය තුළ තමන් මෙම පවුලට උදව් කරමින් ද ආධ්‍යාත්මිකව ශක්තිමත් කරමින් ද සිටි බව එල්මිරාම් ෆෙරෙයිරා පියතුමා කියයි.

"ඔවුන් සියලු දෙනාම විඳිමින් සිටි දැඩි වේදනාව මා දුටුවා. මන්ද ඔහු අලුත විවාහ වී නව ජීවිතයක් ආරම්භ කළා පමණයි.  මෙම රෝගය නිසා ඔවුන්ගේ සිහින ප්‍රමාද වෙමින් බොඳ වෙමින් තිබුණා ..." එතුමා කියා සිටියි. මේ අතර එතුමා පැවසුවේ තමා තුළ කල්කටාවේ තෙරේසා මව් තුමිය කෙරෙහි භක්තියක් පවතී බවයි. සාන්තොස් ප්‍රදේශයේ පිහිටි දයාවේ සොහොයුරියන් ගේ නිවසේ දිනපතා දිවය පුජාව පවත්වන්නේ ෆෙරෙයිරා පියතුමා ය. තෙරේසා මව් තුමිය දුකට හා වේදනාවට මුහුණ දුන් ආකාරයත් ක්‍රිස්තු සමිඳුන් ගේ දුක් ප්‍රාප්තියත් මෙනෙහි කිරීමෙන් දිරිමත් වූ පියතුමා මෙම  පවුලට බොහෝ සමීප විය.

ෆෙරෙයිරා පියතුමා මෙම පවුලට තෙරේසා මව් තුමිය ගේ මැදිහත්කම අයදින යාච්ඥාවක් දුන්නේය. එම යාච්ඥාව කියමින් නොකඩවා දෙවිඳුන් අයදින්නැයි පියතුමා ඔවුනට උපදෙස් දුන්නේ ය. "එම දීර්ඝ කාලය තුළ, තෙරේසා මව් තුමිය ඔවුන්ගේ දුක වේදනාව, ඔවුන් ගේ සැනසුමත් ශක්තියත් බවට පත් කළා. මේ රෝගියා මුළුමනින් ම සුව ලැබුවේ ඒ අනුවයි." පියතුමා පෙන්වා දෙයි.

එහෙත්  සියලු  වෛද්‍යවරුන් කියා සිටියේ  මෙම රෝගියා සුව වූ ආකාරය විස්තර කරන්නට හෝ ඊට හේතු සපයන්නට තමන්ට නොහැකි බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් වෛද්‍ය විද්‍යාවෙන් මෙම සුවය විස්තර කල නොහැකි බවයි.

" මට වැටහෙන විධියට, මගේ විශ්වාසය අනුව, මෙම සුවය පසුපස තිබෙන්නේ තෙරේසා මව්තුමිය ගේ හස්තය යි." පියතුමා අවධාරණයෙන් කියයි.

වසර 2013 දී  ලෝක තරුණ දිනයට සහභාගී වීම සඳහා බ්‍රසීලයට පැමිණි ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ වෛද්‍යවරයා ලෙස පත් කර තිබුනේ ද මොලයේ විස්ඵොට රෝගියා ගේ සිද්ධියට සම්බන්ධව සිටි වෛද්‍යවරයා ය. පාප් වහන්සේව පෞද්ගලිකව හමු වූ මොහොතක හෙතෙම මේ සිද්ධිය ගැන එතුමනට විස්තර කලේ ය. මෙම සිද්ධිය ගැන අධ්‍යයනය කරන්නට තමන් තුළ දැඩි ආශාවක් ඇති බව එහි දී සුදොතුම් පියතුමා වෛද්‍යවරයාට ප්‍රකාශ කළේය. විශේෂ විමර්ශන කණ්ඩායමක් වතිකානයෙන් බ්‍රසීලයට එවන ලද්දේ ඒ අනුව ය.

මෙම සිද්ධිය වතිකානයේ සාන්තුවරුන් පිලිබඳ ඩිකාස්ටරියට  (දෙපාර්තමේන්තුව) සම්බන්ධ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක ගේ විමර්ශනයට මුලින් ම ලක් වනු ඇත. ඉන් පසුව එය දේවධර්ම මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම මන්ත්‍ර සභාවෙන් අනුමත වූ පසුව ඊට ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අනුමැතිය  යුතුය.

ලෝකයට දයා කරුනාවේ සලකුණක් වූ මිනිසුන් සහ කාන්තාවන් ලබන ජුබිලි වසරේ දී සාන්තුවරයට එසවීම කෙරෙහි පාප් වහන්සේ ගේ අවධානය යොමු වී ඇතැයි වතිකානයේ සාන්තුවරුන් පිලිබඳ පර්ෂදයේ සේවය කරන කයෙටානෝ රිස්සි පියතුමා පවසයි. " මේ නයින් බැලුවාම තෙරේසා මව්තුමිය ඇත්තෙන්ම දයා කරුණාවේ ආදර්ශයක් " එතුමා සඳහන් කරයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය