පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාවේ සාමාජික ලැයිස්තුව වතිකානය ප්‍රකාශයට පත්කරයි

Vatican releases the final participant list  of the Ordinary Synod of Bishops 



(2015 සැප්තැම්බර් 16)
ලබන ඔක්තෝබර මාසයේ වතිකානයේ දී මුළු දෙන  පවුල පිලිබඳ ජගත් රදගුරු  සමුළුවට සහභාගී වන පුජක-පැවිදි-ගිහි සාමාජිකයන් ගේ සමස්ත ලැයිස්තුව වතිකානය විසින් ඊයේ (සැප්තැම්බර 15 වන දා) නිකුත් කෙරින. නිල බලයෙන් පත්වන සාමාජිකයන්, එක් එක් රටවල රදගුරු මණ්ඩල නියෝජනය කරන සාමාජිකයන්, පෙරදිග කතෝලික සභා (ඕතඩොක්ස් සභා) නායකයන් යන කාණ්ඩ වලට අමතරව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෞද්ගලිකවම පත් කරන ලද සාමාජිකයන් ගෙන් ද මෙම ලැයිස්තුව සමන්විත වෙයි.

14 වන  සාමාන්‍ය ජගත් රදගුරු කතිකාව ඔක්තෝබර 4 වන දා සිට 25 වන දා දක්වා වතිකානයේ දී පැවැත්වෙයි. මෙවර රදගුරු කතිකාව විශේෂත්වයක් ගන්නේ ගිය වසරේ දී පැවැති පවුල පිලිබඳ අතිවිශේෂ ජගත් රදගුරු කතිකාවේ මතු වූ කරුණු සම්බන්ධයෙන්  තීන්දු ගැනෙන්නේ මෙම සමුළුවේදී වීම නිසාය. එබැවින් ලොව පුරා ජන අවධානය මෙම ජගත්  රදගුරු කතිකාව වෙත යොමු වී තිබේ.

රදගුරු කතිකාවේ තේමාව "සභාව සහ නූතන ලෝකය තුළ පවුලේ කැඳවීම හා දූත මෙහෙවර" යන්නයි. පාප් වහන්සේ විසින් පත් කරන ලද සාමාජිකයන් ද ඇතුළුව කතිකාවට ක්‍රියාකාරීව සහභාගී වීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට බලය  ඇති සමස්ත සාමාජික සංඛ්‍යාව 279 දෙනෙකි. කාදිනල් හිමිවරුන්, රදගුරුහිමිවරුන්, පුජක-පැවිදිවරුන් සේ ම ගිහියෝ ද ඒ අතර වෙති.

අති උතුම් ලොරෙන්සෝ බෝල්දිසේරි කාදිනල් හිමි කතිකාවේ මහා ලේකම් ලෙස කටයුතු කරයි. ප්‍රංශයේ අති  උතුම් අන්ද්‍රේ වින්ගට්-ට්‍රෝයි, පිලිපීනයේ අති  උතුම් ලුවිස් ඇන්ටෝනියෝ ටග්ලේ, බ්‍රසීලයේ අති  උතුම් රේමුන්ඩෝ දැමසේනෝ අසීස් සහ දකුණු අප්‍රිකාවේ අති  උතුම් විල්ෆ්‍රිඩ් ෆොක්ස් නැපියෙර් යන කාදිනල් හිම්වරු නියෝජ්‍ය සභාපති වරුන් ලෙස පත් කරනු ලැබ  සිටිති.

පාප්වහන්සේ විසින්  පත් කරන ලද සාමාජිකයන් අතර ප්‍රවීණ හා ප්‍රමුඛ පෙලේ කාදිනල් - රදගුරු - පුජක පිරිසක් සේම ඉකුත් පෙබරවාරියේ කාදිනල් වරුන් ලෙස පත් කරන ලද ඈත රටවල නියෝජිතයෝ ද වෙති.
මෙලෙස ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පත් කරන ලද කාදිනල් හිමිවරුන් අතර, ඔස්ට්‍රියාවේ ක්‍රිස්ටොෆ් ස්කොන්බෝන්, දකුණු අප්‍රිකාවේ විල්ෆ්‍රිඩ් නැපියේ, හොන්ඩියුරාස් හි ඔස්කා මරදියාගා, පිලිපීනයේ ලුවිස් ඇන්ටෝනියෝ ටග්ලේ, ඇමෙරිකාවේ වොෂින්ටන් හි විලියම් වුරල් වැනි ප්‍රකට හිමිවරුන් සේ ම, අලුතින් කාදිනල් පර්ෂදයට ඇතුලත් වූ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වන ටොන්ගාවේ සොආනේ පැටිටා මෆී වැනි හිමිවරු ද වෙති. ආජන්ටිනාවේ කතෝලික විශ්ව විද්‍යාලයේ අධිනේතෘ වික්ටර් ෆර්නැන්ඩස් අගරදගුරු හිමි, රෝමයේ ග්‍රෙගෝරියාන සරසවියේ මහාධිනේතෘ ප්‍රන්ශුවා ශාවියර් ඩුමොටියර් ජේ.නි. පියතුමා, රෝමයේ "ලා සිවිල්ටා කැටොලිකා " පුවත්පතේ කර්තෘ ඇන්ටෝනියෝ ස්පඩේරෝ ජේ.නි. පියතුමා වැනි වියතුන් ද පාප් වහන්සේ විසින් මෙම කතිකාව සඳහා නම් කරනු ලැබ  සිටිති.

එක් එක් රටවල රදගුරු මණ්ඩල විසින් නම් කරන ලද රදගුරු නියෝජිතයන් මෙම කතිකාවේ වැදගත් තීරක කාර්යභාරයක් උසුලනු ඇත. මෙම කතිකාවේ දී ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය නියෝජනය කරනු ලබන්නේ අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා කුරුනෑගල රදගුරු තුමන් විසිනි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය