දෙමාපියනි, ඔබේ දරුවන්ට යාච්ඥා කිරීමට උගන්වන්න - බදාදා පොදු හමුවෙන් (video)

Holy Father emphasizes the importance of family prayer


(2015 අගෝස්තු 31)
තම දරුවනට යාච්ඥා කිරීමට ඉගැන්වීම දෙමාපියන් සතු වගකීමකි. දරුවන් කුඩා කාලයේ නිරායාසයෙන් බහ තෝරන විට යාච්ඥාව ද නිරායාසව පුරුදු පුහුණු කළහොත්, යැදුම ජීවිතය පුරා  ඔවුන් ගේ ජීවිතය හා බැඳුනු සංසිද්ධියක් වනු ඇත.

ඉකුත් බදාදා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවැත්  වූ පොදු හමුවේ එතුමන් ගේ ධර්මෝපදේශ අනුශාසනයේ සාරාංශය එයයි. සුපුරුදු ලෙස පවුල තේමා කර ගනිමින් එතුමා මෙවරත් සිය අනුශාසනය කලේ ය. මේ දිනවල රෝමය දවාලන තරම් උණුසුම් වූ දැඩි සූර්ය තාපය නොතකා රැස්ව සිටි වන්දනා කරුවන් ඇමතු සුදොතුම් පියතුමා යැදුම තුළින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයුරු සිය දරුවනට උගන්වන්නේ කෙසේදැයි එහි සිටි දෙමාපියනට පහදා දුන්නේය.

"ජේසු සමිඳුන්ට හෝ මරිය මෑණියන්ට තොත්තුවක් පාකර යැවීමට අම්මා කෙනෙකු සිය පුංචි දරුවන්ට උගන්වන අයුරු බලා සිටීම කෙතරම් සුන්දරද?" යි සිය කතා පිටපතෙන් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා විමසීය. "මෙම ක්‍රියාව තුළ ඇත්තේ කෙතරම් මෘදු බවක්ද? එම මොහොතේ දරුවාගේ හදවත යැදුම් කුටියක් බවට පරිවර්තනය වෙයි.මෙය ශුද්ධාත්මයානන් වහන්සේ ගේ තිළිණයකි" යි පාප්වහන්සේ කියා සිටියහ.

එහෙත් සරල   මූලික යැදුම් පවා නොදත් කුඩා දරුවන් විශේෂයෙන් නගරබදව තමන් දැක ඇතැයි එතුමා සිහිපත් කළේය. "කුරුසියේ ලකුණ යාච්ඥාවවත් නොදත් දරුවන් මා දැක තිබෙනවා.අම්මේ, තාත්තේ, ඔබේ දරුවනට යාච්ඥා කිරීමට උගන්වන්න. කුරුසියේ ලකුණ උගන්වන්න. පුංචි දරුවන් යාච්ඥා කරන්නට ඉගෙන යුත්තේ 'අම්මා' 'තාත්තා' කීමට ඉගෙන ගන්නා සේ නිරුත්සාහකවයි. ස්වාභාවිකවයි. එසේ වූ විට යාච්ඥාව ආත්මීය බැඳීමක් වී ජීවිතය පුරා ඔවුන් සමග   පවතින"  බව පාප්වහන්සේ සඳහන් කළහ.

මහත් කලබලයෙන් මෙන් හිස් ලූ ලූ අත දුවන වේගවත් නූතන ලෝක ජීවන රටාව තුළ දක්නට ලැබෙන තවත් සංසිද්ධියක් සුදොතුම් පියතුමා මෙසේ විස්තර කළේය.

"තමන්ට යාච්ඥාව අත්‍යවශ්‍ය බව තේරුම් ගෙන සිටියත් ඒ සඳහා කාලයක් නැතැයි සිතෙන කිතුවන් කී දෙනෙක් අද සමාජය තුළ සිටිනවා ද? ඔවුන් ගේ මෙම පසුතැවිල්ල ඉතා අවංක එකක්. මන්ද, මානව හදවත නිරන්තරයෙන් ම යාච්ඥාව සොයා යනවා. ඇතැම් විට එය නොදැනුනත් මානව හදවත යැදුම සොයනවා. එය සොයා ගත නොහැකි වුවහොත් හදවතට සාමයක් හෝ සැනසීමක් දැනෙන්නේ නැහැ."

දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමත් ජීවිතයේ දුෂ්කර අවස්ථාවල උන්වහන්සේ ගේ ආධාරය කෙරෙහි බලාපොරොත්තු වීමත් යහපත් දෙයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. එසේම උන්වහන්සේගෙන් ලැබුණු තිලිණ වලට උන්වහන්සේට තුති පිදීම ද බෙහෙවින් යහපත් ය. "එහෙත්, ඇත්තෙන් ම අප උන්වහන්සේට ප්‍රේම කරනවා ද?" යි එතුමා ප්‍රශ්න කළේය.

පුරාණ ගිවිසුමේ ගණන්  කතාව පොතේ ලියැවී යලිත් මතෙව් සුබ අස්නේ ජේසු සමිඳුන් විසින් පුනරුච්චාරණය කෙරෙන ප්‍රේමයේ පනත සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය. එනම් "ඔබේ මුළු සිතින් ද ආත්මයෙන් ද මුළු ශක්තියෙන් ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න" යන්නයි.

"මෙම සුත්‍රයෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ දෙවියන් වහන්සේ වෙතට ගලා හැලෙන ඇති දැඩි වූ ප්‍රේමයේ භාෂාවයි" යැයි  පහදා .දුන්නේය.

එබැවින් පවුල තුළ යාච්ඥාව සඳහා වෙලාවක් සොයා ගැනීම අපහසු වුවත්, කැපකිරීමක් මගින් යාච්ඥාව සඳහා කාලය සොයා ගතහොත් එය දෙවි පියාණන් වහන්සේගේ කාලය උන්වහසේට යලි පුද කිරීමක් වන්නේයැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ. "එසේ කිරීම මගින් 'වෙලාවක් නෑ' යන මානසික බලපෑමෙන් මිදීමට අපට හැකිවෙනවා. එසේම වැදගත් දේ තුළ සාමය යළි සොයා ගැනීමටත් බලාපොරොත්තු නොවූ තිළිණයන් තුළ ප්‍රීතිය අත්දැකීමටත් අපට හැකියාව  ලැබෙනවා" යි එතුමා කීවේය.

පවුල තුළ සුබ අස්න කියවා මෙනෙහි කිරීමේ වැදගත්කම ද ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ.

"පවුල තුළ සුබ අස්න කියවා භාවනා කිරීම යනු සෑම කෙනෙකුගේ ම හදවත් පෝෂණය කරන පිරිපුන් ආහාරයක් වැනියි"

"ශක්තිමත් අවස්ථාවල දී මෙන්ම දුෂ්කර කාල පරිච්ඡේද වලදීත් පවුලේ යාච්ඥාව මගින් අපි, අප එකිනෙකා ගේ හස්තවලටත් දෙවි පියාණන් ගේ හස්තවලටත් භාරවෙමු. එමගින් අප පවුලේ එකිනෙකාට දෙවිපියානන් ගේ ප්‍රේමයේ ආරක්ෂාව ලැබෙනු ඇතැ"යි පාප් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය