"පූජා උදව්ව ජේසුට ලංවෙන මගක්; විශ්වාසයේ හා ප්‍රේමයේ පාසලක්" : පාප් වහන්සේ දෙව් පුද සේවක දරුවනට කියූ දේ

"Let Jesus draw near to you" Pope tells altar servers



(2015 අගෝස්තු 7)
ඔබ දිව්‍ය පූජාවට උදව්වන "පුජා උදව්" දරුවෙක්ද? එවැනි දරුවකුගේ දෙමාපියෙක් ද? නැති නම් පුංචි සන්දියේ පූජා උදව් දරුවකු ලෙස ගත කල සමයේ සොඳුරු මතකයන් තවමත් සිත තුරුළුකරගෙන එයින් ජීවිතය පොහෝණි කරගත් කෙනෙක් ද? එසේ නම් මෙය ඔබට රසවත් කතාවක් වේවි. 

"පුදසුන ළඟ සිට දිව්‍ය  පුජාවට උදව් වීම ජේසු සමිඳුන්ට සමීප වීමට ලැබෙන වරප්‍රසාදීය මාර්ගයකි. එය පෙරළා ඔබට වරම් රැසක් ලබා දෙයි. සෙසු අයට විවෘත වීමට, ගමනේ එක්ව ගමන් කිරීමට, බොහෝ කැපකිරීම් අවශ්‍ය  වන අභියෝගාත්මක අරමුණු හා ඉලක්ක ජීවිතයට ඇතිකර ගැනීමට හා ඒවා දිනා ගැනීමට අවශ්‍ය ශක්තිය සොයා ගැනීමටත් ලැබෙන වරප්‍රසාද ඒ අතර වෙයි"

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම අනුශාසනය කලේ  රටවල් රැසකින් රෝමයට වන්දනා ගමනක පැමිණි 12000 ක් පමණ වූ දෙව් පුද සේවක දරුවන් (පූජා උදව් ළමයින් ) පිරිසක් අමතමිනි. එතුමන් සති තුනක කෙටි ග්‍රීෂ්ම ඍතු විවේකයකින් පසු මුලින්ම හමුවූ කණ්ඩායම මෙම දෙව් පුද සේවක දරුවන් පිරිසයි. ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, පෘතුගාලය,සවිට්සර්ලන්තය, හංගේරියාව, සර්බියාව සහ ඉතාලිය යන රටවලට අයත් මෙම දරුවෝ වාර්ෂිකව "සදාතන නුවරට" වන්දනා ගමනක යෙදෙති. එහිදී ඔවුහු දින තුනක ධර්ම විවෙකයකද නිරත වෙති. අගෝස්තු 3-6 දිනවල පැවැති මෙවර සමුළුවේ තේමාව වූයේ "මම මෙහි සිටිමි. මා යවන්න" යන ඉසය්යාස් දිවස්ප්‍රසාදිවරයාගේ වැකියයි.

දෙවියන් වහන්සේ සිය මහිමය දර්ශනයක් මගින් ඉසයියාස් දිවස්ප්‍රසාදී තුමාට පෙන්වන ආකාරය මෙදින කියවීමෙන් විස්තර වන බව පාප්වහන්සේ පෙන්වා දුන්හ. දෙවියන් වහන්සේ තමන් වහන්සේව ඉසයියස් දිවස්ප්‍රසාදී තුමාට හෙළිදරව් කලද තමා තවමත් දෙවිඳුන්ට දුරස්ථව සිටින බව ද මෙහිදී එතුමාට අවබෝධ වෙයි එතුමාට තවත් කරුණක් අවබෝධ වෙයි. එනම් තමන් තෝරාගැනීමේ මුල් පියවර තැබුවේ දෙවියන් වහන්සේ බවයි. "සෑම විටම අප අතර සම්බන්ධය මුලින්ම ආරම්භ කරන්නේ දෙවියන් වහන්සේයි. අපට සමීප වන්නේ උන්වහන්සේ යි" යැයි සුදොතුම් පියතුමා කීවේය.

දෙවිඳුන් අබියස තමන් ගේ අසම්පුර්ණ බව ඉසයියස් දිවස්ප්‍රසාදී තුමාට වැටැහේ. එසේ වුව ද එම අසම්පුර්ණකම දෙවියන් වහන්සේට ස්වකීය ජීවිතය තුල ක්‍රියා කිරීමට බාධකයක් නොවන බව එතුමාට පෙනී යයි.දෙවියන් වහන්සේ ගේ කැඳවීමට ප්‍රතිචාර දක්විය හැකි නව පුද්ගලයකු බවට තමන් පරිවර්තනය කිරීමෙන් පසුව දිවැසිවරයකු ලෙස සිය දූත මෙහෙවර භාර ගැනීමට එතුමන් තුළ හැකියාවක් ඇති කරන ලද්දේ දෙවියන්වහන්සේ ගේ ම යහපත්කම විසින් බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය.  මෙය දෙව් පුද සේවක දරුවන් හා සම්බන්ධ වන ආකාරය එතුමා පෙන්වා දුන්නේ ය.

"දේව ප්‍රසාද නිධාන, විශේෂයෙන් ම දිව්‍ය සත්ප්‍රසාදය නිසා ඔබ ඉසයියස් දිවස්ප්‍රසාදී තුමාට වඩා අද බොහෝ වාසනාවන්තයි. සක්‍රමේන්තු තුළ ක්‍රිස්තුන්  වහන්සේ ගේ ලෙන්ගතු සමීපබව අප අත්දකිනවා. එසේම උන්වහන්සේ වැඩසිටීමේ මධුරත්වය හා බලයත් ඒවා තුළ අප අත්දකිනවා" යි පාප්වහන්සේ පැවසුහ.

ඉසය්යාස් දිවස්ප්‍රසාදිතුමා සේ අපව ද කැඳවනු ලැබ සිටින්නේ විවෘත වීමටයි. එසේ නැතිව, දුෂ්කර අවස්ථාවලදී ආරක්ෂාව පතා අප දිව යන උමං බංකරයක් තුළ අපගේ විශ්වාසය සුරක්ෂිතව තබා,  අප තුළ දොරගුළු ලාගෙන වැසි සිටීමට නොවෙයි.ඒ වෙනුවට අප කැඳවනු ලබා සිටින්නේ, අප දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන උන්වහන්සේ ගේ දයාවෙන් ගලවාගනු ලැබ ඇතැයි  යන සුබාරංචියේ ප්‍රීතිය බෙදා ගැනීමයි".

ජේසු අප ලඟයි 

ජේසු සමිඳුන් අපට බොහෝ ඈතින් සිටින මහේශාක්‍ය රජකු නොව දිව්‍ය සත්ප්‍රසාදය හා සෙසු සක්‍රමේන්තු තුළ අප සමඟ සිටින මිතුරකු යැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ දෙව් පුද සේවක දරුවනට පෙන්වා දුන්හ.

"ඔබට ජේසු සමිඳුන් මුණගැසෙන්නේ ලඟා විය නොහැකි සිංහාසනයක වැඩසිටින රජෙකු ලෙස නොවේ. දිව්‍ය සත්ප්‍රසාදීය පූපය හා මිදිරස ලෙසයි. උන්වහන්සේ ගේ වචනය උලුවසු කම්පනය කරන ගර්ජනාවක් නොවේ. උන්වහන්සේ ගේ වචනය හදවතේ තත් දයාවෙන් වැලැඳ ගනියි."

ජේසු සමිඳුන් අසම්පුර්ණ අප පිවිතුරු කර දේව මෙහෙවර සඳහා යොදා ගන්නා ආකාරය ද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

දෙවියන් වහන්සේ ඉසයියාස් දිවස්ප්‍රසාදිවරයා ගේ තොල් ගිණි අඟුරකින් පිලිස්සුවා සේ "අප විරුද්ධ නොවන්නේ නම්, ජේසු සමිඳුන් අපගේ තොල් උන්වහන්සේ ගේ දයා කරුණාවේ ගිණි දැල්ලෙන් ස්පර්ශ කරන සේක. මේ මගින් උන්වහන්සේව පිළිගැනීමටත් උන්වහන්සේව අපගේ සොයුරු සොයුරියන් වෙත ගෙන යාමටත් අප සුදුස්සන් බවට පත් වෙමු."

සමිඳුන්ට  සමීප වීමේ භාග්‍යය 

දෙව් පුද සේවක දරුවන් පුදසුනට සමීප  වන තරමට, යාච්ඥා කිරීමටත් ජේසු ගේ වචනයෙන් හා ශ්‍රී ශරීරයෙන් පෝෂණය වීමටත් ඔවුනට මතක් වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය.

"පුදසුනට සමීප වීම, ලෝකයට ගොස් ඔබගේ සොයුරු සොයුරියන් මුණ ගැසී, ජේසු සමිඳුන් හමුවීමෙන් ඔබ ලැබූ ප්‍රීතියත් උද්යෝගයත් ඔවුන් සමග බෙදා ගැනීමටත් පිටිවහලක් වෙනවා."

"දෙව් පුද සේවක දරුවකු වී ජේසුගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීම ගැන ඔබට ස්තුතියි" සුදොතුම් පියතුමා  අවසන් වශයෙන් පැවසීය. "මෙම සේවය විශ්වාසයත් අසල්වැසි ප්‍රේමයත් ගැන ඉගෙනීමේ සැබෑ පාසලක් කරගන්න. ' මෙන්න,මම මෙහි ය.   මා යවන්න' යැයි කියමින් ඉසය්යාස් දිවස්ප්‍රසාදී තුමා සේ සමිඳුන් ගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීම ගැන ඔබට  ස්තුතියි."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය