"දික්කසාද වූ හා යළි විවාහ වූ කිතුනුවන් කිසි සේත්ම සභාවෙන් නෙරපා දමා නැහැ" සුදොතුම් පියතුමා අවධාරණය කරයි: "සභාවේ වැසුණු දොරටු නොතිබිය යුතුයි"

"Divorced and remarried are not by any means excommunicated" Holy Father emphasizes:"There should be no closed doors in the Church"


සුදොතුම් පියතුමා පොදුහමුවෙන් පසුව විවාහ වූ නවක යුවල් කිහිපයකට සුබ පැතුවේය

(2015 අගෝස්තු 6)
දික්කසාද වූ හා දික්කසාදයෙන් පසුව කතෝලික සභාවට පිටතින් යළි විවාහ වූ කිතුනුවන් සම්බන්ධයෙන් දයාවෙන් පිළිගන්නා වුත් කරුණාබර වූත් ආකල්පයකින් ක්‍රියාකරන්නැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික ජනතාවගෙන් හා පුජකවරුන් ගෙන් යලිත් වරක් ඉල්ලා සිටිති. මෙවැනි කිතුනුවන් සභාවෙන් නෙරපා දැමූ අය නොවන බව උන්වහන්සේ අවධාරණය කරති. එබැවින් සභාවෙන් නෙරැපුවන් ලෙස ඔවුන් නොසලකන ලෙස ද එතුමා ඉල්ලා සිටියි. අගෝස්තු 5 වැනි දා බදාදා සති පතා පොදු හමුවේ ධර්මෝපදේශ අනුශාසනය කරමින් පාප්වහන්සේ මේ බව පැවසුහ.

මාසයක පමණ කාලයක් පොදු හමුව පැවැත්වුනේ  නැත. රෝමය අධික සුර්ය තාපයෙන් දැවෙන මෙම ග්‍රීෂ්ම ඍතුවේ පැවැති ප්‍රථම පොදු හමුව මෙයයි.  උණුසුම නිසා පොදු හමුව පැවැත්වුනේ සවැනි පාවුළු ශාලාව තුළ ය.

ඉකුත් වසර පුරාම පොදු හමුවේ ධර්මොපදේශයේ තේමාව ලෙස පාප්වහන්සේ තෝරාගෙන ඇත්තේ පවුලයි. පවුලේ විවිධ පැතිකඩ, එහි සාමාජිකයන්, පවුල මුහුණ දෙන අර්බුද හා අභියෝග සම්බන්ධයෙන් ශුද්ධ ලියැවිල්ල පදනම් කරගත් කතෝලික සභාවේ ඉගැන්වීම් ගැන සුදොතුම් පියතුමා මෙම හමු වලදී වන්දනාකරුවන් දැනුවත් කෙළේය. මෙවර උන්වහන්සේ ගේ මාතෘකාව වුයේ දික්කසාද වූ හා දික්කසාදයෙන් පසු යලි විවාහ වුවන් පිලිබඳ කතෝලික සභාවේ ඉගැන්වීම ය.

දික්කසාද වූ හා දික්කසාදයෙන් පසුව සභාවෙන් පරිබාහිරව විවාහ වූවන් කිතුනු ජන පවුලෙන් දුරස්ථව තැබීමෙන් කිසිදු යහපතක් සිදු නොවන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "අප ඔවුන් දෙස බැලිය යුත්තේ කුඩා දරුවන් ගේ දෙනෙතිනි. ඔවුන් ගේ හදවතෙනි. එසේ කරන විට, එවැනි තත්වයන් තුළ ජීවත්වන අය දෙස ආදරයෙන් පිලිගන්නාසුළු ආකල්පයෙන් ක්‍රියා කිරීමේ අත්‍යවශ්‍යතාවක් සභාව තුළ වර්ධනය වනු ඇත."

"හරියට සභාවෙන් නෙරපනු ලැබුවා සේ, මෙවැනි පවුල් සභාවෙන් ඈත් කර තැබුවොත්, එම දෙමාපියන් ගේ දරුවනට ක්‍රිස්තියානි ජීවිතය පිළිබඳව අප උගන්වන්නේ කෙසේ ද? එම දෙමාපියන් සභාවෙන් ඈත්  කලොත් ක්‍රියාවට නැංවූ විශ්වාසයේ ආදර්ශයක් හා සහතිකයක් ඔවුන් ගේ දරුවනට  අප ලබා දෙන්නේ කෙසේද?" යි ප්‍රශ්න කල පාප් වහන්සේ, "මෙවැනි පුද්ගලයන් කිසි සේත්ම සභාවෙන් නෙරපා දමා නැහැ. කිසි සේත්ම නෙරපා නැහැ" යි අවධාරණය කළහ.

එබැවින් ඔවුනට එවැනි ආකල්පයකින් නොසලකන්නැයි පාප් වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ. "ඔවුන් සභාවෙන් ඈත්කොට තැබීම ඵලදායි වන්නේ නැහැ. ඔවුන් සභාවේම කොටසක්. ඔබ සභාවේම කොටසක්" යයි එතුමා එවැනි තත්ත්ව වල සිටින්නන් ද අමතමින් කියා සිටියේ ය.

දැනට පවතින සභා නීතියට අනුව දික්කසාද වූ හා එසේ කොට සභාවට පිටතින් විවාහ වූවන්ට දිව්‍ය  සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීම තහනම් වී තිබේ. මෙම තත්වය විස්තර කල සුදොතුම් පියතුමා පැවසුවේ "මෙවැනි තත්වයක් කිතුනු සක්‍රමේන්තුවට පටහැනි බව සභාව හොඳින් දන්නා" බවයි. "ජනතාවට යහපත් දේ සොයා ගැනීම සඳහා  සභාව නිතරම මවකගේ හදවතිනුයි කටයුතු කරන්නේ " යි එතුමා පෙන්වා දුන්නේය.

"එබැවින් දික්කසාද වුවන් හා යලි විවාහ වූවන් ආදරයෙන් පිළිගැනීමටත් ඔවුන් දිරිගැන්වීමටත් විවෘතව හා කැපවීමෙන් කටයුතු කරන ලෙස තම මීසම් වල ජන පවුල් දිරිගන්වන්නැ"යි  එතුමා සියලු පුජකවරුන්ගෙන් ඉල්ලා සියේය. "පුජකවරුන් නිතරම ආදරයෙන් පිලිගන්නා අය විය යුතුයි. එසේ වු විට යැදුම තුළ, දේව වචනයට සවන් දීම තුළ හා දේව වන්දනාවට සහභාගී වීම තුළ  ක්‍රිස්තුන් වහන්සේටත්  සභාවටත් තමන් වඩ ඩාත් අයිති  බව ඔවුනට තේරුම් යාවි. එසේම සිය දරුවනට කිතුනු අධ්‍යාපනය ලැබීම තුළ හා යුක්තිය හා සාමය වෙනුවෙන් ක්‍රියා කිරීම තුළ තමන් නොකඩවා ජේසු සමිඳුන්ටත් සභාවටත් අයිති බව ඔවුනට අවබෝධ වේවි"

මෙදින ශුද්ධ ලියවිලි පාඨය ලෙස තෝරාගෙන තිබුනේ ජුවාම් සුබ අස්නේ එන යහපත් එඬේරා ගැන ජේසු සමිඳුන් ගේ ප්‍රකාශනයයි. යහපත් එඬේරා සිය බැටළුවන් හඳුනන බවත් ඔවුන් වෙනුවෙන් සිය ජීවිතය වුව පූජා කිරීමට සුදානම් බවත් ජේසු සමිඳාණෝ  මෙම පාඨයේ පවසති.

"යහපත් එඬේරාගේ බයිබලීය සංකේතයෙන් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ සිය පියානන්ගෙන් ලැබූ මෙහෙවර" යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "එනම් සිය ජීවිතය සිය බැටළුවන් වෙනුවෙන් පූජා කිරීමයි. එම ආකල්පය සභාව ද අනුගමනය කල යුතු ආදර්ශයයි. එය සිය දරුවන් වෙනුවෙන් ජීවිතය දීමට සුදානම්ව සිටින මවක් සිය දරුවන් පිලිගන්නා ආදරය බඳු ආකල්පයකි."

Evangelii Gaudium හෙවත් සුබ අස්නේ ආනන්දය නමැති සිය අපෝස්තලික හසුන උපුටා දැක්වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ සඳහන් කළහ:

"සභාව කැඳවීම ලබා ඇත්තේ නිරන්තරයෙන් පියාණන් ගේ විවෘත නිවස වීමට ය. එබැවින් එහි වැසුණු දොරටු නොතිබිය යුතුයි. එහි දොරටු නොවැසිය යුතුයි" එතුමා අවධාරණය කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය