පාප්වහන්සේ ගිම්හාන මැදුරට නොපැමිණීම ගැන කාස්ල් ගොන්දොල්ෆෝ ප්‍රදේශ වාසීන් නොසතුටින්

Locals disappointed by Pope not coming to the Summer Palace


කාසල් ගොන්දොල්පෝ වීදියක්

(2015 අගෝස්තු 4)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ 2013 තමන් පාප් ධුරයට පත්වීමෙන් පසු තුන්වන වසරටත් සිය ග්‍රීෂ්ම ඍතු නිවහනේ විවේක ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ නිසා සුදොතුම් පියවරුන් ගේ සාම්ප්‍රදායික ගිම්හාන මැදුර පිහිටි කාස්ල් ගොන්දොල්ෆෝ ප්‍රදේශ වාසීන් නොසතුටට පත්ව සිටිතැයි රෝම වාර්තා පවසයි.

සුදොතුම් පියවරුන් සාම්ප්‍රදායිකව  ග්‍රීෂ්ම ඍතුව ගත කරන අපෝස්තලික මාලිගය පිහිටා ඇත්තේ කාස්ල් ගොන්දොල්ෆෝ නුවරයි. අල්බානෝ විල පෙනෙන මානයේ සුන්දර භුමි භාගයක පිහිටා ඇති මෙම ගිම්හාන නිකේතනය සියවස් ගණනක් පුරා පාප් වහන්සේලාගේ ගිම්හාන නිවස  බවට පත්ව තිබුනේය. රෝමය අධික සුර්ය තාපයෙන් ගිනියම් වන ග්‍රීශ්මයේ දී පාප් වහන්සේලා සිය ඉරිදා තුන්කාල ආරාධනා යැදුම වැනි සුළු යැදුම් ද මෙහි සිට සිදු කළහ. මෑත අතීතයේ දී ශු. දෙවැනි ජුවාම්  පාවුළු පාප්වහන්සේත් සොළොස්වන බෙනඩික් පාප්වහන්සේත් මෙම නිවහන බහුල ලෙස භාවිත කළහ.

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2013 සිටම කාසල් ගොන්දොල්ෆෝ නිවහනට යාමෙන් වැළකී සිටියේ ය. උන්වහන්සේගේ මෙම තීරණයට හේතු කිහිපයක්ම ඇති බව වතිකාන නිරීක්ෂකයෝ පවසති. "දුප්පත් සභාවක්" පිලිබඳ එතුමන් ගේ පුළුල් දර්ශනය ජීවත් කරවීම හා සභාවේ අවධානය ඒ කෙරෙහි යොමු කිරීම එක් අරමුණකි. ගිම්හාන නිවහනේ කාලය ගෙවා දැමීමට වඩා සිය අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල නොකඩවා කරගෙන යාමට ඇති කැමැත්ත තවත් අරමුණකි. හුදෙකලාව ජීවත්වීමට වඩා ජනතාව හා සොයුරු ඇසුරේ ජීවත්වීමට එතුමන් දක්වන ප්‍රියතාවය තවත් හේතුවක් ලෙස පෙනෙන්නට තිබේ. මේ නිසා ගිම්හානයෙදීත් වතිකානයේ ම නැවතී සිය කටයුතු කරගෙන යාමට පාප්වහන්සේ ප්‍රිය කරති.

කෙසේ නමුදු ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෙම තීරණයෙන් නොසතුටට පත්ව සිටින පිරිසක් ද වෙති. එනම් කාස්ල් ගොන්දොල්ෆෝ වැසියන් ය.

පාප් වහන්සේ සිය ගිම්හාන මැදුරට පැමිණීමත් සමග කාස්ල් ගොන්දොල්ෆෝ නගරයේ වීදි වන්දනාකරුවන් හා සංචාරකයන්ගෙන් පිරී යයි. මෙය නගරවාසී කුඩා ව්‍යාපාරිකයන්ට සරු කාලයක් බවට පත්වෙයි. සිහිවටන හා තෑගී භාන්ඩ වෙළෙඳුන් ද ආපාන ශාලා හිමියෝ ද මේ සමය එළඹෙන තෙක් දින ගනිමින් සිටිති. එහෙත් පසුගිය වසර තුන තුළ එම සමය එළඹුණේ නැත.  සාමාන්‍යයෙන් එම ප්‍රදේශයට එන සංචාරකයන් හැර වන්දනාකරුවන් වැඩි පිරිසක් දැන් එහි නොපැමිණෙන බව එම වෙළෙඳුන් කිහිප දෙනෙකු ජාත්‍යාන්තර ප්‍රවෘත්ති සේවාවලට පවසා තිබිනි.

කෙසේ නමුදු, සිහිවටන  වෙළෙඳ සලක හිමිකාරියක් කියා සිටියේ සංචාරකයන් පැමිණීමේ නව දොරටුවක් දැන් විවර වීඇති බවයි. එනම් පාප්වහන්සේ ගේ නිවාඩු නිවහන දැක බලාගැනීමට පැමිණෙන්නන්ගෙන් එම ප්‍රදේශය පිරී යාමයි. ගිම්හාන නිවහනේ උද්‍යානය ජනතාවට විවෘත කිරීමට ප්‍රැන්සිස් පාප් වහන්සේ ගිය වසරේ වසන්ත සමයේ දී තීරණය කළහ. ඒ අනුව සංචාරකයෝ විශාල පිරිසක් ගිය වසරේ එම උද්‍යානය නැරඹීමට පැමිණියහ.

"කොච්චර වුනත් පාප්වහන්සේ ඉන්නව වගේ නැහැ." එක් වෙළෙඳසල් හිමියෙක් කියයි.
"පාප් වහන්සේ රෝමයේ ඉන්නකොට ඔක්කොම යන්නේ රෝමයට" ඔහු පෙන්වා දෙයි.

කාසල් ගොන්දොල්පෝ වීදියක්

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය