දෙවියන් වහන්සේ තිලිනයත් තිළිණය ප්‍රදානය කරන්නාත් වීමේ අබිරහස

God is the Gift and also the Giver - The Angeles meditation


(2015 අගෝස්තු 3)
"සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය (පාපොච්චාරණය) තුළ අපට මුණගැසෙන්නේ දෙවියන් වහන්සේ ගේ අපරිමිතවූ දයා කරුණාවයි. පාපොච්චාරණයට පෙර අප තුළ හට ගන්නා ලැජ්ජාව ද දෙවියන් වහන්සේ ගේ ක්ෂමාව වෙත අප විවෘත කරන දේව වරප්‍රසාදයේ සංකේතයකි"

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (ජූලි 2ඉරිදා) දහවල් සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා මෙහෙයේ අනුශාසනය  පවත්වමිනි  මේ දිනවල රෝමයේ පවතින දැඩි උණුසුම ද නොතකා දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් මෙම යාච්ඥාවට සහභාගී වීමට පැමිණ සිටියහ.

"පාපොච්චාරණයට ඇති බිය නිසා එම ප්‍රසාද නිධානය වෙත ලඟා වීමට ඇතැමෙක් බිය වෙති. ඊට හේතුව ඔවුන් එම ප්‍රසාද නිධානය තුළ වෙසෙන මහා කුලුණුබර පියාණන් අමතක කොට එය දණ්ඩනයේ ආසනයක් ලෙස සිතන නිසා "යැයි  සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "අප පාපොච්චාරණ  සක්‍රමේන්තුව වෙත ළඟාවන විට අපතුළ කිසියම් ලැජ්ජාවක් හටගනියි. එය සියල්ලන්  තුළ -අප සෑම කෙනෙකු තුළම - හටගනියි. එහෙත් අප මතක තබා ගත යුත්තේ එම ලැජ්ජාව කලි , සෑම විටම අප සෑම කෙනෙකුටම සමාව දෙන පියාණන් වහන්සේගේ වැලැඳගැනීමට අප සුදානම් කරන වරප්‍රසාදයක්ය යන්නයි."

ඉරිදා  සුබ අස්නේ එන ජීවන දායක භෝජනය පිලිබඳ ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම ගැන ද සුදොතුම් පියතුමා මෙහි දී මෙනෙහි කෙළේය. ජේසු සමින්දුන් මෙම ඉගැන්වීම කරන්නේ පූප සහ මසුන් වැඩිකිරීමේ ප්‍රාතිහාර්යයෙන් පසුව උන්වහන්සේ පසු පස පැමිණි ජනතාවටය. තමන් වහන්සේ ගේ ප්‍රේමය පිලිබඳ සලකුණක් වූ මම ප්‍රාතිහාර්යයේ පණිවිඩය වටහා නොගත් ජනයා ක්‍රිස්තුන් වහන්සේ පසු පස ගියේ තවත් ආහාර බලාපොරොත්තුවෙනි.

 ක්‍රිස්තුන් වහන්සේගෙන් "භෞතික පූප "  ලැබූ ජනයා, මෙලෙස බො හෝ දෙනකු වෙනුවෙන් කඩා බෙදා දෙන ලද පුප "ක්‍රිස්තුන් වහන්සේ ගේ ම ප්‍රේමයේ ප්‍රකාශනයක් බව වටහා ගැනීමට අපොහොසත් වූ " බව පාප් වහන්සේ පෙන්වා  දුන්හ. "ඔවුන් එම පූප ලබාදුන් තැනැත්තාට වඩා  වැඩි අගයක් දුන්නේ එම පූප වලටයි. මෙම ආධ්‍යාත්මික අන්ධ භාවය පිටුදැකීම සඳහා පූප ලබා දෙන්නා හමුවී එතුමන් අවබෝධ කරගන්නැයි ජේසු සමිඳුන් එම ජනතාවට ආරාධනා කළා."

"එහි සුන්දර අබිරහස මෙයයි: දෙවියන් වහන්සේ තිලිනයත් තිළිණය ප්‍රදානය කරන්නාත් වීමයි. අපට පූපය දානය කරන දෙවියන් වහන්සේ මුණගැසිය හැක්කේ මෙම පුපයෙනි; මෙම ක්‍රියාවෙනි"

නරක් වන ආහාර වෙනුවෙන් වෙහෙස නොවී සදා කල් පවත්නා ආහාර වෙනුවෙන් වෙහෙස වන්නැයි කිතු සමිඳුන් මෙහි දී උපදෙස් දුන් බව ද ප්‍රැන්සිස් පාප් වහන්සේ සිහිපත් කළහ. "මෙහි අරුත නම් ගැලවීම සොයන්න; දෙවිඳුන් හමුවීම සොයා යන්න" යන්නයි යැයි එතුමා පෙන්වා දුන්නේය.

"ජීවන දායක පුපය මම වෙමි" යි ක්‍රිස්තුන් වහන්සේ වදාළ වාක්‍යය ගැන ද ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙනෙහි කළහ. "මෙම ප්‍රකාශනයෙන් උන්වහන්සේ අදහස් කරන්නේ තමන්වහන්සේ ආත්මික වූ හා ශාරීරික වූ  සාගින්න නිවාලන විශිෂ්ට වූ තිළිණය බවයි.මෙම ජීවන දායක පුපය හුදෙක් අති දුෂ්කර වූ අපගේ ගමනට අරුතක් හා  බලාපොරොත්තුවක් වීමෙන් නොනැවැතී අපගේ සොයුරු සොයුරියන්ට සුබ අසන ප්‍රකාශ කිරීමේදී අප සවිමත් කර ඔවුන් ගේ සාගින්න ද නිවාලන භෝජනය බවට පත් වේ."

"සදාතනික ජීවිතය තෙක් පවතින, නරක් නොවන සැබෑ පූපය වන සිය පුතනුවන් අනුගමනය කිරීමට අපට සහාය වන්නැ"යි දේව මාතා වහන්සේගෙන් ඉලාමින් සුදොතුම් පියතුමා සිය  අනුශාසනය නිම කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය