ප්‍රගතිශීලී පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගෙන් 37 වසරකට පසු - ප්‍රතිසංස්කරණවාදී (පළමුවන) ප්‍රැන්සිස් පාප්වහන්සේ .....? (Video)

37 years after Pope John Paul I

දින 33කින් පුංචි විප්ලවයක් කල පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා


(2015 අගෝස්තු 29)
වසර 37කට පෙර මෙවැනි සමයක කතෝලික සභා ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සිදු විය.

එනම් සවැනි පාවුළු පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව  ඉතාලි ජාතික අති උතුම් අල්බිනෝ ලුචියානි කාදිනල් හිමිපාණන් 1978 අගෝස්තු 26 දා  පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා පත් කරගනු ලැබීමයි.  පළමුවැනි ජුවාම් පාවුළු යන නම තෝරා ගත උන්වහන්සේ, සභාව තුළ නැවුම් සම්ප්‍රදායන් රැසක් ඇති කිරීමට පුරෝගාමී වුහ. එතුමන් පාප්ධුරයට තෝරාගත් නම, එනම් "ජුවාම් පාවුළු" යන්න ද අලුත් සම්ප්‍රදායක් විය. ශු. 23වැනි ජුවාම් සහ ශු. සවැනි පාවුළු යන සුදොතුම් පියවරුන්ට කරන ගෞරවයක් ලෙස එසේ කරන බව එතුමා කියා සිටියේ ය.

පළමුවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා ගේ ධුර කාලය දින 33 කට පමණක් සීමා විය. ඊට හේතුව 65 හැවිරිදි වූ එතුමා හද්සියේ ස්වර්ගස්ථ වීමයි. එහෙත් ඒ කෙටි සමය තුළ එතුමා කතෝලික සභාව නැවුම් ප්‍රගතිශීලී ගමනකට යොමු කළේය.

ප්‍රසන්න සිනා රැල්ලකින් නිතර මුව සරසා ගත් එතුමා "සිනාසෙන පාප්වහන්සේ" යන විරුදය ලැබීය.

"සේවක නායකත්වයට" මහඟු ආදර්ශයක් වූ  පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ ගත්  එක් ප්‍රගතිශීලී පියවරක් වූයේ එතෙක් පාප්වහන්සේලා පැළඳු පාප් කිරුළ  ප්‍රතික්ෂේප කිරීමයි. කොන්ස්තන්තීනු රජ සමයේ "රජෙකු" කරන ලද පාප් වහන්සේ, ඇත්තෙන්ම රජෙකු නොව දේව සේවකයකුය යන්න අවධාරණය කිරීම එතුමන් ගේ අරමුණ විය. පාප් වහන්සේ ජනතාව අතරින් ගමන් ගනිද්දී දෝලාවක් මත තබා මිනිසුන් සිව් දෙනෙකු විසින් එතුමන් සිය කර මතින් ඔසවාගෙන යාම එතෙක් පැවැති සම්ප්‍රදාය විය. මෙම සම්ප්‍රදාය වෙනස් කරන ලෙස නියෝග කළ පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේ , පාප් තුමකු ජනතාවට ඉහලින් ජනතාවගේ කර මතින් ගමන් කිරීම නොමනා ක්‍රියාවක් බව පෙන්වා දුන්හ. එහෙත් එම අදහසට විරුද්ධ වූ රෝම කියුරියාවේ අගරදගුරු කාදිනල් හිමිවරුන් කියාසිටියේ පාප්තුමන් දෝලාවකින් රැගෙන නොයන්නේ නම් ජනතාවට එතුමන් දැක බලා ගැනීමට නොහැකිවනු ඇති බවයි. එතුමන්ගේ මෙම ප්‍රයත්නය යතාර්ථයක් බවට පත් කරන ලද්දේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි. "පාප් දෝලාව" ඉවත් කල උන්වහන්සේ ජනතාව අතරින් ගමන් කිරීම සඳහා "පෝප් මොබයිල්" රථය යොදා ගත්හ.

1978 සැප්තැම්බර් 28 වැනිදා උන්වහන්සේ ස්වර්ගස්ථ වුහ. එතුමන් ගේ අනුප්රාප්තිකයා වූ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් එතුමන්ට " දේව සේවක"  යන නාමය දෙන ලදී. සාන්තුවරයට එසවීමේ  මාර්ගයේ ප්‍රථම පියවර එයයි.

දේව සේවක පළමුවන ජුවාම් පාවුළු සුදොතුම්  පියතුමා ගේ  කෙටි එහෙත් ආදර්ශවත් පාප් ධුර කාලයෙන් පෙනී යන්නේ, "දුප්පත් සභාවක් - දුප්පතුන් සඳහා වූ සභාවක්" ලෙස සභාව ප්‍රතිසංස්කරණය කිරීම සභාවේ ස්වාමියානන් වන ජේසු සමිඳුන් තුළ දීර්ඝ කාලයක සිට වූ බලාපොරොත්තුව  බවයි. එහෙත් ලෞකික අරමුණු සහිත මිනිසුන් ගෙන් සැදුම්ලත්  සභාව දේව අභිමතය තේරුම් නොගෙන එම  සැලැස්මෙන් පිට පැනීමට උත්සාහ උත්සාහ කර ඇති බවක් පෙනී යයි ,

.කෙසේ නමුත්  සිය සැලැස්ම ගැන දෙවියන් වහන්සේ යලිත් වරක් සභාවට සිහිපත් කර තිබේ. මෙවර පනිවිඩකරුවා (දිවැසිවරයා) ප්‍රැන්සිස් පාප් වහන්සේ ය.

මෙම දිවැසිවරයා මගින් සිය සමිඳාණන් සභාවට යලිත් කරන සිහිපත් කිරීම හා කැඳවීම තේරුම් ගැනීමට නූතන සභා නායකයනට හැකි වේ ද? නැතහොත් පැරණි ගිවිසුමේ තෝරාගත් ජනතාව දිවැසිවර පණිවිඩවලට  අන්ධව ගොළුව බිහිරිව සිටියා සේ නූතන "තෝරාගත් ජනතාව" මේ දිවැසි හඬ ඉදිරියේ උදාසීනව සිටිනු ඇත් ද?

පහතින් දැක්වෙන්නේ පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ තේරී පත් වූ අවස්ථාවඇතුලත් වීඩියෝ සටහනකි:




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය