"මරණයේදී අප එක්සත් කරනු ලබන්නේ නම්, ජීවිතයේ දී බෙදී සිටීමට අප කවුරුන්ද" කිතුනු එක්සත් යැදුම් මෙහෙයේ දී පාප් වහන්සේ විමසති

"Christians share the same Baptism; so, must pray together" Pope tells the Ecumenical gathering 

"දේදුන්න"  පෑයූ මොහොත (කතාව කියවන්න )


(2015 ජූලි 6)
ලතින් ඇමෙරිකාව බලා පිටත් වන්නට පෙර සති අන්තයේ සිකුරාදා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ තවත් සුන්දර අත්දැකීමකට එක් වූහ. ඒ, එතුමන් ගේ හදවතට සමීප,සිය  දූත මෙහෙවරේ ඉහලින්ම ඇති වැඩපිළිවෙලකට එක්වීමටය. එනම් කිතුනු සමගි යැදුම් මෙහෙයකට එක්වීමටය.

ඒ, ජූලි 3 වැනි සිකුරාදා සන්ධ්‍යාවයි. රෝමයට පොද වැස්සක් වැටෙමින් තිබුණේය. එහෙත් පොද වැස්ස නොතකා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය විශේෂ බැතිමතුන් පිරිසකගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුනේ ය. තිස් දහසකට අධික පිරිසක් තම කුඩ ඉහලා ගෙන යාච්ඥාවට සම වැදී සිටියහ.අහස වැහි වලා වලින් වැසී තිබිණ. එහෙත් චතුරශ්‍රය මැද පිහිටා ඇති වතිකාන ඔබෙලිස්ක් කුළුණට ඉහලින් අහසේ සප්ත වර්ණ දේදුන්නක් පායා තිබුනේ ය. (ඡායාරුපය බලන්න)

මේ දේදුන්න, එදා සාන්ත පීතර චතුරශ්‍රයට එක් රැස්ව සිටි 'විශේෂ' වන්දනා කරුවන් පිරිස ගැනත් ඔවුන් ගේ මෙහෙවර කුමක් විය යුතු ද යන්න ගැනත් ඉඟි කළා වැන්න.

විවිධ කිතුනු සභා සහ ඉවැන්ජලිකල් නිකායන් කිහිපයකට අයත් "කිතු දන පුබුදු" ව්‍යාපාර වල සාමාජික පිරිසක් සිකුරාදා සන්ධ්‍යාවේ මෙසේ චතුරශ්‍රයට එක්ව  සිටියහ. සන්ධ්‍යා යැදුම්, ආධ්‍යාත්මිකත්ව පෝෂණය සහ ධර්මදානය සඳහා ඔවුහු එකමුතු වී සිටියහ. අතිශයින්ම කිතුනු සභා අතර එකමුතුව අරමුණු කරගත් එම එකමුතු සන්ධ්‍යාවේ තේමාව වුයේ,"සමගියේ සහ සාමයේ මාර්ග:අද්‍යතන ප්‍රාණපරිත්‍යාගීන් හා ආධ්‍යාත්මික එකමුතුව උදෙසා අඬහැරය" යන්නයි. කෙටියෙන් කියතොත් ඔවුන් ගේ අරමුණ වී තිබුනේ වර්තමානයේ ලොව වටා සිය විශ්වාසය නිසා විවිධ හිංසා පීඩා වලට ලක්ව සිටින කිතුනුවන් වෙනුවෙන් යාච්ඥා කිරීමයි. ඒ ඔස්සේ කිතුනු එකමුතුව වෙනුවෙන් ක්‍රියාකාරී වීමයි. කතෝලික, ඔතදොක්ස්,ප්‍රොතෙස්තන්ත, ලුතෙරාන, බැප්ටිස්ට් ඇතුළු ප්‍රධාන ප්‍රවාහයේ කිතුනු සභා සාමාජිකයන් සේම ඉවන්ජලිකල් නිකාය නියෝජනයක් ද එහි තිබීම විශේෂත්වයක් වීය.

එක්සත්කමේ හෝ සමගි සන්ධානය වූ විවීධත්වයේ මාර්ගය

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ද ඔවුන් අතරට පැමිණ ඔවුන් ගේ යාච්ඥාවට හවුල් වුහ. ඔවුන්ට කතා කිරීමට පෙර උන්වහන්සේ ඔවුන් යාච්ඥාවෙහි මෙහෙයවූහ. "පියාණනි, අප සියල්ලන්ට  එක්සත්කමට මග පෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේ අපවෙත එව්ව මැනවැ"යි  එතුමා යාච්ඥා කළේය. සභාව තුළ විවිධ දූත සේවා, විවිධ තිලින දානය කරන සුදත් සුරිඳුන් අප සමගිය කරා ද මෙහෙයවන බව එතුමා පැවසිය. "එදා සභාවේ එක්සත් කම වෙනුවෙන් පියාණන්ට යාච්ඥා කල ජේසු සමිඳුන් අප සියල්ලන් 'එක්සත්කමේ හෝ සමගි සන්ධානය වූ විව්ධත්වයේ මාර්ගයෙහි' ගෙනයත්වා" යි ද එතුමා යාච්ඥා කලේ ය.

අනතුරුව ඔවුන් ඇමතු පාප්වහන්සේ "මරණයේදී අප එක්සත් කරනු ලබන්නේ නම්, ජීවිතයේ දී භේද භින්න වී සිටීමට අප කවුරුන්දැ"යි විමසුහ. සියලු කිතුනුවන් ලබා ඇත්තේ එකම බෞතිස්මයක් බැවින් හා සියල්ලන් උත්සාහ කරන්නේ එකම ක්‍රිස්තුන් වහන්සේව අනුගමනය කිරීමට බැවින් කිතුනුවනට එකට යාච්ඥා කල හැකි අතර ඔවුන් එසේ යාච්ඥා කල යුතු බවද පාප් වහන්සේ අවධාරණය කළහ.සියලු කිතුනුවන් ගේ එකමුතුව ශුද්ධාත්මයානන් ගේ ක්‍රියාවක් බව උන්වහන්සේ සිහිපත් කළහ. 

කිතුනු සභා අතර ඇති භේද ඉතිහාසයේ දී අප විසින් ම ඇති කර ගත්  දේ බව එතුමා පෙන්වා දුන්නේය: "ඉතිහාසයේ දී අප සෑම කෙනෙකු ගේ ම ක්‍රියා නිසා මේ බෙදීම් ඇති වුනා. ඒවා ඇති වුනේ විවිධ හේතූන් නිසා වූවත් , ඒවා යහපත් හේතූන් නොවේ. එහෙත් මේ බෙදීම් තව දුරටත් වලංගු නොමැති බව ශුද්ධාත්මයානන් වහන්සේ දැන් අපට පෙන්වා දෙමින් සිටිනවා. එසේම මේ භේද අපගේ සාක්ෂි දැරීමට ප්‍රවිරුද්ධව ක්‍රියා කරන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා. අප කරන සෑම කාර්යයක්ම - යාච්ඥා, දයාවේ ක්‍රියා, දූත සේවා හා බයිබලය කියවීම් වැනි සියල්ලම - අප එකට එකමුතුව කල යුතුයි. එසේ වූ විට ශුද්ධාත්මයානන් වහන්සේ ඉතිරිය කරනු ඇති " යි සුදොතුම් පියතුමා කියා සිටියේ ය.


නූතන ප්‍රාණපරිත්‍යාගිවරු 

ලෝකයේ විවධ ප්‍රදේශ වල තමන් කිතුනුවන් වීම නිසා වද හිංසාවලට ලක්වන්නාවූ හා ඝාතනයට ලක්වන්නාවූ කිතුනුවන් ගැන පාප් වහන්සේ සිහිපත් කළහ. ඔවුන්ට හිංසා කරන්නන් එසේ කරන්නේ ඔවුන් අයත් සභාව හෝ නිකාය බලා නොවන බව එතුමා පෙන්වා දුන්නේය.

" ප්‍රාණපරිත්‍යාගිවරුන්ගේ රුධිරය බෙදී සිටි කිතුනු සභා සමගි කරමින් තිබෙනවා. කිතුනුවනට පීඩාකරන්නන් ඔවුන් කතෝලික ද, ප්‍රොතෙස්තන්ත ද බැප්ටිස්ට් දැයි සොයා බලන්නේ නැහැ. ඔවුන් ක්‍රිස්තුන් වහන්සේට කැපවී ඇත් ද යන කාරණය පමණයි වැදගත්. කවර නිකායක වූවත් පොදු මුලකට අයත් බව ඝාතකයන් දන්නවා.යක්ෂයා ඔවුන් මෙහෙයවන නිසා කිතුනුවන් හඳුනා ගැනීම ඔවුනට අපහසු වන්නේ නැහැ."

සිරියාවේ දී හා ඉරාකයේ දී මෙසේ ඝාතනය කරන ලද විවිධ සභා වලට අයත් කිතුවන් ගැන එතුමා සිහිපත් කළේය. එතුමා කියා සිටියේ ඔවුන් "අපේ ප්‍රාණපරිත්‍යාගිවරුන් " බවයි 

සේවක නායකත්වය 

තමන් සේවකයන් බව කිසි විටෙකත් අමතක නොකරන්නැයි පාප්වහන්සේ  කිතුනු දන නායකයන් ගෙන් ඉල්ලා සිටියහ. 

තමන් අත්‍යවශ්‍යම තැනැත්තා බවත් තමන් නොමැතිව කිසිත් නොකළ හැකි බවත් කිතුනු ව්‍යාපාර වල නායකයන් හා නිර්මාතෘන් තුළට කාවැද්දීමට යක්ෂයා උත්සාහ දරන බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය. " ඒ වගේම, ජේසු නොවෙයි, තමන් මෙම ව්‍යාපාරය පාලනය කරන බවටද ඔබට පරික්ෂා ඇති විය හැකියි."

"මෙය කෙලින්ම කීම ගැන සමාවෙන්න. නායකයන්,කි දෙනෙක් මොනරුන් ද? බලය අප අහංකාරය වෙත ගෙන යනවා. අහංකාරය අප දුෂණය වෙත ගෙන යනවා" යි උන්වහන්සේ පැවසුහ. 

අධිකාරිවාදී හෝ ආත්මාර්ථකාමී ආකල්ප වලින් යුත් නායකත්වයක් ඇති ආගමික ව්‍යාපාර හෝ සංගම් යලිත් ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වයෙන් අලුත් විය නොහැකි බව එතුමා සඳහන් කළේය. 

ක්‍රියාකාරී වන්න 

කිතුනු සභා අතර සමගිය සඳහා ක්‍රියාකාරී වන්නැයි සුදොතුම් පියතුමා  සියල්ලන් ගෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි දැවැන්ත සමුළුවක උත්කර්ෂය ඉක්මනින් අමතක වී යන බව එතුමා පෙන්වා දුන්නේය. එබැවින් එකිනෙකා හෝ කුඩා කණ්ඩායම් මට්ටමින් කිතුනු සමගිය ඇති කිරීමට ක්‍රියාකාරී වන්නැයි පාප්වහන්සේ ඉල්ලා සිටියහ. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය