'දුප්පත් සභාවක්': පාප්වහන්සේ දුප්පත් කම සමග සටන් කරන ලතින් ඇමෙරිකා රටවල් තුනක සංචාරයක

Pope Francis to highlight "Poor Church" mission in Latin America

පාප්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටින බොලිවියා ජනතාව


(2015 ජූලි 5)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ අද (ජූලි 5 ඉරිදා) ලතින් ඇමෙරිකාවේ අපෝස්තලික සංචාරයක් ආරම්භ කරති. මෙය ලතින් ඇමෙරිකානු ජනතාව බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ගමනකි.සතියක් ගතවන මෙම සංචාරයේදී එතුමා ඉක්වදෝරය, බොලිවියාව සහ පැරගුවේ යන රටවල ජනතාව හමුවීමට නියමිතය. ආජන්ටිනාව ඊට යත නොවූවත් ලතින් ඇමෙරිකාව මෙය දකින්නේ පාප්වහන්සේ ගේ "ගෙදර පැමිණීමක් " ලෙසය.එතුමා  ලතින් ඇමෙරිකානු ජනතාවත් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නත් ඉතා හොඳින් හඳුනන, එම කලාපිය ජනයාට 'අපේ කෙනෙක්' සේ සමීප වී සිටින් ආධ්‍යාත්මික නායකයකු වීම  ඊට හේතුවයි.  එතුමන් ගේ මෙම අපෝස්තලික ගමනේ දී කලාපය මුහුණ දෙන අභියෝග කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාප්වහන්සේ ලෙස පත් වීමේ සිද්ධියේ සිට ලොව මවිත කරමින් සිටින මෙම ප්‍රථම ලතින් ඇමෙරිකානු පාප්වහන්සේ , නොබෝ දා ලතින් ඇමෙරිකානු දේශපාලනයට දැඩි ලෙස බලපාන රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. එනම් කියුබාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමේ සම්මුතියක් ඇතිකර ගැනීමේ ප්‍රයත්නයේ අතරමැදියා ලෙස කටයුතු කිරීමයි. සැප්තැම්බරයට යෙදී ඇති එතුමන් ගේ කියුබා-ඇමෙරිකා සංචාරයේ දී එම ප්‍රයත්නය ගැන පුළුල් ලෙස සාකච්චා වනු ඇති නමුත් කලාපයේ සමාජයීය ප්‍රශ්න ගැන මෙම ලතින් ඇමෙරිකා සංචාරයේ දී එතුමන් ගේ අවධානය යොමු වනු ඇත.

ඉක්වදෝරය, බොලිවියාව සහ පැරගුවේ යන එක් එක් රටවල එතුමා දෙදිනක් බැගින් ගත කරනු ඇත. එම කාලය තුළ එතුමාට  එම රටවල විවිධ ජනකොටස්, එනම්, දේශපාලකයන් පමණක් නොව, සමාජයේ පර්යන්තවල සිටින කොන්කරන ලද පිරිස් ද හමුවීමට ඉඩ ලැබෙන ආකාරයෙන් එතුමාගේ කාලසටහන සකස් කොට තිබේ.

නිදසුනක් ලෙස ඉක්වදෝරයේ දී ප්‍රැන්සිස් පාප්වහන්සේ වැඩිහිටි නිවෙසක් බැහැදැකීමට නියමිතය. බොලිවියාවේ සිරගතවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් බැහැදැකීම ද එතුමන් ගේ චාරිකාවට ඇතුලත් වෙයි. පැරගුවේ අගනුවර වන එසන්ෂන් හි දී දරිද්‍රතාවයේ  සංකේතයක් බඳු ප්‍රදේශයක ජනතාව මුණගැසීමට ද පාප් වහන්සේ බලාපොරොත්තු වෙති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමෙරිකාවේ කතෝලික මාධ්‍යවේදිනියක්  වන රෝසි ස්කැමල් පවසන්නේ, "මෙවැනි ජනතාව බැහැ දැකීම මගින් 'දුප්පත් සභාවක්' ගොඩනැගීමේ සිය මෙහෙවර අවධාරණය කිරීමට පාප්වහන්සේ උත්සාහ දරන" බවයි. මෙය එතුමන් ගේ මෙහෙවරේ ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති තේමාවක් බව ඇය පෙන්වා දෙයි. රෝමයේ සිය අසල්වාසියේ සිටින දුප්පත් සහ 'ගෙදරක් නැති ප්‍රජාවට' විව්ධාකාරයෙන් උදව් වීම මගින් පාප් වහන්සේ ඊට නිදසුන් ලබා දී ඇති බව ද ඇය සඳහන් කරයි.

කතා පිටපතින් පිටත කතා කිරීමට ප්‍රසිද්ධියක් දරන ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම සංචාරය තුළ දී පිටපත සම්පුර්ණයෙන් ඉවත් කොට, තමන් දැන හඳුනන ජනතාවට ඔවුන් ගේ ම ස්පාඥ්ඥ භාෂාවෙන් ඍජුව කතා කරනු ඇති බව වතිකාන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ මගින් ඔවුන් ගේ ගැටළු ඍජුව ආමන්ත්‍රණය කිරීමට එතුමනට අවකාශ ලැබෙනු ඇත. (කර්තෘ සටහන: පිලිපීනයේ දි ද එතුමා ස්පාඥ්ඥ බසින් කතා කල අතර, සිය අදහස් හදවතින්ම ඉදිරිපත් කිරීමට මේ මගින් හැකි වීම නිසා එරට ජනතාවට බොහෝ සමීප වීමට එතුමාට හැකිවිය. ශ්‍රී ලංකාවේ දී - කුමන වැරදි උපදෙසක් මත හෝ- ඉංග්‍රීසියෙන් කතා කිරීමට සිදුවීම නිසා පිටපතටම ඇලී සිටීමට පාප්වහන්සේට සිදු විය. මේ නිසා ලංකාවේ දී "සැබෑ ප්‍රැන්සිස්" පාප්වහන්සේ ඉස්මතු නොවීය යන්න විචාරක මතයයි.)

ජන ගහනයෙන් සියයට 93ක් කතෝලිකයන් වන පැරගුවේහි පුජකවරුන් ගේ විනය එතුමන් ආමන්ත්‍රණය කරනු ඇති එක් විෂයයකි. පැරගුවේ සහ බොලිවියාව ගිලගෙන ඇති දරිද්‍රතාව තවත් මාතෘකාවකි. ලෝක බැංකු වාර්තා අනුව පැරගුවේ ජනතාවගෙන් සියයට 23 ක් ද බොලීවියා  ජනගහනයෙන් සියයට 45ක් ද දරිද්‍රතාවයෙන් පෙළෙති.ඉක්වදෝරයේ දී ප්‍රැන්සිස් පාප්වහන්සේ පරිසර සංරක්ෂණය පිළිබඳව ද එරට ජනතාවට කතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය