"පාර්ලිමේන්තු මැතිවරණවලින් පමණක් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා නොවේ" බුරුමයෙන් නැගෙන කතෝලික නායකත්වයේ දිවැසිවර හඬ

"Can Elections alone bring about true democracy?" Asks the Church in Myanmar

2013 ඔක්තෝබර 28 වැනිදා අවුන් සාන් සු කි මහත්මිය වතිකානයේ දී පාප් වහන්සේ හමු වූ අවස්ථාව
(2015 ජූලි 24)
"පාර්ලිමේන්තු මැතිවරණ පැවැත් වූ පමණින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා නොවේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදා කර ගත හැක්කේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආගමික නිදහස හා විවිධ ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව තහවුරු කිරීම, සුළුතර ජනවාර්ගික කොටස් සමග සහජීවනයෙන් හා සාමයෙන් ජීවත්වීම මෙන්ම සෑම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමටත් රැකියාවක් කිරීමටත් අවශ්‍ය අවස්ථා උදා කිරීම වැනි මානව ගරුත්වය තහවුරු කෙරෙන කරුණු සාක්ෂාත් කර ගැනීමෙනි."

මෙම ප්‍රකාශය කරන්නේ මියන්මාවේ (බුරුමයේ) යැන්ගොන් පදවියේ අගරදගුරු අති උතුම් චාල්ස් මාවුං බෝ කාදිනල් හිමිපාණෝ ය. පන් ලක්ෂයක් පමණක් - එනම් සමස්ත ජනගහනයෙන් සියයට එකක් පමණක් - වන කතෝලික ජනගහනයක් වෙසෙන මියන්මා දේශයේ ඉතා පුංචි  කතෝලික සභාවේ නායකයා වන බෝ කාදිනල් හිමිපාණන් මෙම ප්‍රකාශය කර ඇත්තේ, ලබන නොවැම්බර මාසයේ පැවැත්වීමට නියමිත එරට ප්‍රථම "නිදහස්" මැතිවරණය හා රටේ ඉදිරි මග පිළිබඳව සිය අදහස් දක්වමින් එරට දේශපාලන නායකයන් හා ක්‍රියාකාරීන් වෙත යැවූ ලිපියක් මගිනි. කිතුවනුවන් අති සුළුතරයක් වෙසෙන රටක කිතුනු නායකයා විසින් නගන ලද මෙම දිවැසිවර හඬ වතිකානයේ මාධ්‍ය වල ද පල වී තිබුනේ ය. (අති උතුම් චාල්ස් මාවුං බෝ අගරදගුරු තුමන් කාදිනල් කණ්ඩායමට පත් කරන ලද්දේ ලෝකයේ පර්යන්ත වල පවතින සභාවලට  දැල් හෙලන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසිනි.  මියන්මාවේ ප්‍රථම කාදිනල් තුමා වන එතුමා එම තනතුරට පත් කිරීමට පෙර සිටම රටේ සිදුවන අවනීතික හා අයුක්තිසහගත ක්‍රියා සම්බන්ධයෙන් සිය දිවැසිවර හඬ අවදි කල යති වරයකු ලෙස ප්‍රණාමයට පත්ව සිටියි)

ශ්‍රී ලංකාව තවත් මාසයකට අඩු කාලයකින් තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙයි. ශ්‍රී ලංකාවේ නුතන සන්දර්භයට බෙහෙවින් සමාන තත්වයකින් යුත් මියන්මාවේ කාදිනල් තුමන් කරන මෙම අභීත ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ අනාගතය ගැන සුබ සිහින දකින නායකයන්ටත් ජනතාවටත්, රටක හර්දය සාක්ෂිය විය යුතු සියලු ආගමික නායකයන්ටත්  ආලෝකයක් සපයන බව පෙනේ.

මියන්මාවේ (බුරුමයේ) මහ මැතිවරණය මේ වසරේ නොවැම්බර 8 වැනි දා පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර තිබේ. පාර්ලිමේන්තුවට පමණක් නොව රටේ ප්‍රාදේශීය නියෝජිත සභාවලටත් එක වර මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනෙන මෙම අවස්ථාව ඉතිහාසයේ වැදගත් හා තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සියල්ලෝ සඳහන් කරති. 1960 ගණන් වලින් පසුව මිලිටරි ආඥාදායකත්වයකට නතු වූ බුරුමය, 2011 මාර්තු මාසයේ දී ජාත්‍යාන්තර ප්‍රජාවේ ප්‍රශංසා හා සහය මැද සිවිල් ආණ්ඩුක්‍රමයකට මාරු විය. එහෙත් මේ නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේ දී "සිවිල් ඇඳුමින් සැරසුණු ජෙනරාල්වරුන් ගේ " පාලනයද වෙනස් කිරීමට බුරුම ජනතාව සුදානමින් සිටිති.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මෙම මැතිවරණයට තරග කිරීමට සුදානමින් සිටියි. රටේ පාලන බලය අල්ලාගෙන සිටි හමුදා නිලධාරීන්ගෙන් සැදුම් ලත් එක්සත් සහෝදරත්ව හා සංවර්ධන පක්ෂය (USDP) හා නොබෙල් සාම සම්මාන ලාභී අවුන් සාන් සූ කී ගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NLD) එම පක්ෂ දෙකයි.

මෙය රටට ඓතිහාසික අවස්ථාවක් බවට මියන්මාවේ බොදුනු බහුතරය දරන මතය එරට  ජනගහනයෙන් අති සුළුතරයක් නියෝජනය කරන, එරට කතෝලික සභාව ද දරයි. එහෙත් හුදෙක් මහ මැතිවරණයක් පැවැත්වූ පමණින් රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාවේ දැයි සභා නායකත්වය ප්‍රශ්න කරයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවිමට මානව අයිතිවාසිකම්, ආගමික නිදහස, ජන වාර්ගික සංහිඳියාව හා සහජීවනය, අධ්‍යාපන හා රැකියා අවස්ථා බහුල වීම වැනි මූලික කරුණු ද සපිරි තිබීම අවශ්‍ය නොවන්නේ දැයි එම නායකත්වය විමසයි.

රටේ පොදු යහපත අරමුණු කරගත් මියන්මා කතෝලික සභාවේ මෙම අදහස් යැන්ගොන්  පදවියේ අගරදගුරු චාල්ස් බෝ කාදිනල් හිමිපාණන් විසින් එරට නායකයන් වෙත ඉදිරිපත් කර තිබේ.

කාදිනල් චාල්ස් බෝ හිමිපාණන්


රටේ නුතන තත්වය ගැන විග්‍රහ කරන කාදිනල් බෝ හිමි "කඩුපත්  හතකින් රටේ හදවත සිදුරු කොට තුවාල කර" ඇති බව පවසයි. "පවුල් අතලොස්සක් විසින් ජාතික ධනයෙන් අති විශාල කොටසක් හිමිකර ගනිමින් ක්‍රියාත්මක වන ඥාතිවාදී ධනවාදය; සංවාදය තුළින් ගැටුම් නිරාකරණය කරගැනීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ප්‍රචණ්ඩ ක්‍රියා හා හිංසනයට යොමු වීම; ගොවීනට සිය ඉඩම් සඳහා ඇති අයිතිය දිගටම අහෝසි කර ඇති අසාධාරණ අණ පනත්; මත්  ද්‍රව්‍ය හා මිනිස් ප්‍රවාහන ජාවාරම පදනම් කරගත් සාපරාධී ආර්ථිකය; සුළුතර ජනවාර්ගික කොටස් වලට වෙනස් කොට සැලකීම; ස්වාභාවික සම්පත් විනාශය හා දුප්පත් ජනතාවට අධ්‍යාපන හා රැකියා අවස්ථා විරල වීම " එම කඩු හත බව එතුමා පෙන්වා දෙයි.

එබැවින් "සමස්ත ජාතියටම දෙමාපියන් වන්නැයි මම ඔබට ආයාචනා කරමි" යි කාදිනල් අගරදගුරුතුමා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියි. "බුරුමයේ සම්ප්‍රදායන් අනුව 'ජනතාවගේ දෙමාපියන්' ලෙස සෑම පුද්ගලයකුගේ ම යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් නායකයන් වෙත පැවරී තිබේ."

වසර 50ක ආඥාදායක පාලනය නිසා මියන්මාවට උරුම වූ දේ  පිලිබඳ ලොමුදැහැගන්වන එසේම සිත් කම්පා කරන  සංඛ්‍යා ලේඛන ද කාදිනල් තුමා ඉදිරිපත් කර තිබේ. ඇතැම් ප්‍රදේශවල දරිද්‍රතාව 70% ද ඉක්ම යන බව එතුමා පෙන්වා දෙයි. දුප්පත්කම හා හිංසනය නිසා රටින් පලා යන්නන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් තිබේ. 200,000ක පමණ ජනතාවක් රට තුළම අවතැන් වී සිටින අතර තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුරුමය අවට රටවල සරණාගතයන් වී සිටිති. "දේශපාලන නායකයන් ඔවුන්ගෙන්  ජනතාව අපේක්ෂා කල දේ ඉටු කර නොමැත. ඒ වෙනුවට ලාභය පමණක් අපේක්ෂා කරන ආර්ථිකයක් තුළ ඔවුන් ඥාතිවාදී ධනවාදයක ආරක්ෂකයන් බවට පත් වී තිබේ" යයි බෝ කාදිනල් තුමා ගේ ලිපියේ සඳහන් වෙයි. 

"රටේ හදවතට රිදුම් දෙන තවත් තුවාලයක් වන්නේ අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් සුළුතර කණ්ඩායම්වලට එරෙහිව මහා පරිමාණයෙන් පතුරුවා හරින වෛරය හා නොරිස්සුම්සහගත බවයි. නිදසුනක් ලෙස එක්  ජාතිවාදී කණ්ඩායමක් විසින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුනට එරෙහිව එල්ල කෙරෙන බිහිසුනු  ප්‍රචණ්ඩත්වය පෙන්වා දිය හැකිය. රට තුළ පවතින සුළුතර වාර්ගික විවිධත්වය සලකා සන්ධීය ආණ්ඩුක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කිරීම ගැන සංවාදයක් පවතින්නේ මෙම තත්වය නිසා යැ"යි මියැන්මාවේ  කාදිනල් තුමා ඉතා ප්‍රබල හා ඍජු වචනවලින් සිය ලිපියේ සඳහන් කරයි.

එතුමා වැදගත් හා බරපතල ප්‍රශ්න කිහිපයක් බුරුම දේශපාලන නායකත්වය හමුවේ තබයි: "ජනවාර්ගිකත්වය හා ආගම පදනම් කර ගනිමින් රටවැසියන්ට වෙනස් කොට සැලකීමේ තත්වය පිටුදැකීමට තරම් ශක්තියක් දේශපාලන නායකත්වයට තිබේ ද? සමානාත්මතාව පිළිගනිමින් එය පදනම් කරගත් එක්සත් ජාතියක් ගොඩ නැගීමට ඔවුන්ට හැකි වේ ද?"

සෑම පුද්ගලයකුගේ ම මානව හිමිකම් වලට ගරු කිරීම, නීතිය ඉදිරියේ සමානත්වය සහ එක්සත් කම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමය. අමිහිරි ආඥාදායක පාලනයකින් පසු ප්‍රජාතන්ත්‍රවාදයට පා තැබීමට සුදානම් වන, එහෙත් ඥාතිවාදයෙන්, සූරාකෑමෙන් හා හිංසනයෙන් කිලිටි වූ මියන්මාවේ දේශපාලකයින්ට කාදිනල් චාල්ස් බෝ හිමිපාණන් ලබා  දෙන්නට උත්සාහ කරන්නේ එම පණිවිඩය ය. 

ශ්‍රී ලංකාව හා සසඳන කල මෙය අප රටේ තත්වයට කෙතරම් ගැලපේ ද?

(Vatican Insider)
  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය