වතිකානය උභතෝකෝටිකයකට මැදි කල බොලිවියා ජනපති ගේ "දෑකැති - මිටි කුරුස" තිළිණය. (Video)

Hammer-sickle crucifix raises eyebrows during Pope Francis' visit to Bolivia

 බොලිවියා ජනපති පාප්වහන්සේට  "දෑකැති - මිටි කුරුස" තිළිණ කරමින්

(2015 ජූලි 10)
රාජ්‍ය නායකයකු දුන් තිළිණයක් හේතුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රථම වරට උභතෝකෝටිකයකට මුහුණ පෑමට ඊයේ (ජූලි 9 දා) සිදුවිය.

මෙය සිදුවූයේ ප්‍රැන්සිස් පාප් වහන්සේ බොලිවියාවේ රාජ්‍ය මාලිගයේ දී  එරට ජනාධිපති ඉවෝ මොරාලෙස් මහතා මුණගැසුණු අවස්ථාවේ දී ය. නායක දෙපොළ  අතර සාකච්ඡාවෙන් පසුව දෙදෙනා තිළිණ හුවමාරු කරන අවස්ථාව එළඹුණේ ය. ඒ මොහොතේ ජනාධිපති මොරාලෙස් මහතා පාප් වහන්සේට පිරිනැමූ තිළිණය දුටු, පාප් වහන්සේ ඇතුළු එහි සිටි සියල්ලන් ගේ "ඇස් උඩ ගිය බව" එරට සිටින වාර්තා කරුවෝ පවසති.

මොරාලෙස් මහතා පාප් වහන්සේට දුන් තිළිණය වූයේ දෑකැත්ත සහ මිටිය පදනම් වන ලෙස සැකසූ කුරුස ප්‍රතිමාවකි. ජනාධිපතිවරයා විස්තර කල ආකාරයට මේ ත්‍යාගයේ පසු බිම ඇසූ පිරිසගේ ඇස් කන් සියල්ල යලිත් උඩ ගියේය.

මෙම "දෑකැති-මිටි කුරුසිය" බොලිවියා ජනතාව  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කල අරගලයේ දී එහි පුරෝගාමියකු වූ ජේසු නිකායික ලුවිස් එස්පිනාල් පියතුමාගේ නිර්මාණයක් අනුව සැකසූවක් බව ජනාධිපතිවරයා කිවේය. එස්පිනාල් පියතුමා ජනතාවගේ  නිදහස වෙනුවෙන් ක්‍රියා කරමින් සිටිය දී  1980 දී ඝාතනය කරන ලද්දේය.

මෙහිදී සුදොතුම් පියතුමන් ජනාධිපතිවරයාට කවර පිළිතුරක් ලබා දුන්නේදැයි පැහැදිලි නැත. වතිකාන රූපවාහිනී කැමරාවක් ඒ මොහොතේ ඒ අසල තිබුනත්, එහි එන දෙබස පැහැදිලි නොමැති බව වතිකාන මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමා පවසයි.එස්පිනාල් පියතුමා විසින් මෙම කුරුසිය නිර්මාණය කරන ලද බව මොරාලෙස් මහතා පැවසූ විට "එය හරි නැහැ " ("No esta bien eso") යැයි පාප් වහන්සේ පැවසුවේ යයි එක් මාධ්‍යයක් වාර්තා කර තිබිණි. එහෙත් වෙනත් මාධ්‍යවේදීන් පවසන්නේ පාප්වහන්සේ ස්පාඥ්ඥ බසින් "මම ඒක දැනගෙන හිටියේ නැහැ" ("Eso no lo sabia") යැයි පැවසූ බවයි.

ලොම්බාඩි පියතුමා වාර්තා කරුවන්ට කියා සිටියේ එස්පිනාල් පියතුමා සෑදූ බව කියන මෙම  කුරුසිය ගැන තමා හෝ ජේසු නිකායිකයකු වන පාප් වහන්සේ අසා හෝ දැක නැති බවයි. ඒ නිසා එතුමා  "එය වැරදියි" කියනවාට වඩා තමා නොදැන සිටි බව ප්‍රකාශ කලේ යැයි සිතිය හැකි බව පියතුමා කිවේ ය.

කෙසේ නමුදු බොලිවියාවේ ජේසු නිකායිකයන් කිහිප දෙනකු සමග කතා කිරීමෙන් පසුව ලොම්බාඩි පියතුමා පැවසුවේ දක්ෂ සිත්තරකු හා නිර්මානශීලි කලාකරුවකු වූ එස්පිනාල් පියතුමා විසින් මෙම කුරුසිය නිර්මාණය කර ඇති බවයි. "බොලිවියාවේ දරුණු දේශපාලන නොසන්සුන්තාවක් හා ජනතා නැගිටීමක් තිබූ සමයේ බොලිවියානු ජනතාව සමග පාලකයන් සංවාදයක් ආරම්භ කල යුතු බවට තමන් තුළ වූ විශ්වාසය ප්‍රකාශ කිරීම සඳහා එස්පිනාල් පියතුමා මෙම කුරුසිය නිර්මාණය කර ඇතැ" යි එතුමා කියා සිටියේ ය. " ඒ හැරුණු කොට ඒ තුළ කිසිදු න්‍යායාත්මක බැඳීමක් නැහැ. එය කිසිසේත්ම විශ්වාසයේ මාක්ස්වාදී ප්‍රකාශනයක් නොවේ" ලොම්බාඩි පියතුමා සඳහන් කළේය.

"වර්තමාන ජනතාව ඊට කවර අර්ථකතනයක් දෙනු ඇත්දැයි අපට කිව නොහැකියි.කෙසේ නමුත් මෙය දෙව්මැදුරක නම් තබන්නේ නැහැ" එතුමා අවධාරණය කළේය.

(National Catholic Reporter)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය