විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

The Supreme court ruling and the future of religious freedom in USA




(2015 ජූලි 1))
විවාහයේ නිර්වචනය ගැන ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රෙෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දුන් තීන්දුව එරට කතෝලික සභාවටත්, කතෝලිකයනට හා සාම්ප්‍රදායික විවාහය පිළිගන්නා සියල්ලන්ටත් බාධක රැසක් මතු කරනු ඇතැයි එරට රදගුරු සමුළුව පවසයි. විශේෂයෙන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම තීන්දුව ගැටළු මතු කරනු ඇතැයි එම සමුළුව කියයි

එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්ත රාජ්‍ය සම ලිංගික යුවල් වලට විවාහ බලපත්‍ර නිකුත් කල යුතු බව විනිසුරු වරුන් 5න් 4ක තීන්දුවක් දෙමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. සියලු ප්‍රාන්තවල සිදුවන සම ලිංගික විවාහ පිළිගත යුතු බව ද අධිකරණය කියා සිටියේ ය. අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුවයි.

මෙම තීන්දුව අනුව සමලිංගික යුවලක් විවාහ වීමට ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරියකුට හෝ නිලධාරියකුට නොහැකි ය.සමලිංගික විවාහ සභා නීතියට පටහැනි බැවින් කතෝලික පුජකතුමකුට ඊට එකඟ විය නොහැකිවේ. මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නීතියෙන් දඬුවම් ලැබීමට හේතු වේ.

මේ සම්බන්ධයෙන් කතෝලික ප්‍රවෘත්ති ඒජන්සියට අදහස් දැක්වූ ඇමෙරිකානු කතෝලික රදගුරු සම්මේලනයේ ආගමික නිදහස පිලිබඳ කමිටුවේ සභාපති අති උතුම් විලියම් ලෝරි අගරදගුරු තුමා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස සම්බන්ධයෙන් මෙම තීන්ව මගින් කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැති බවයි.

"ආගම ඇදහීමේ නිදහස යනු මේ තීන්දුව ගැන ප්‍රසිද්ධ ස්ථානවල විවාද කිරීමට අපට ඇති නිදහස පමණක් නොවේ. කිසිදු අත්අඩංගුවකට ගැනීමකින්, ප්‍රචණ්ඩත්වයකින් හෝ වෙනත් ආකාරයක දඬුවම් ලැබීමකින් තොරව, පොදු යහපතට එකඟ වන ලෙස, විවාහය පිළිබඳව අප පිළිගන්නා  සත්‍යතාව ජීවත් කිරීමටත්, අපගේ සභා සේවාවලදී ඒ අයුරින් ක්‍රියා කිරීමටත් අපට ඇති නිදහසයි," යැයි එතුමා පෙන්වා දුන්නේය.


කතෝලික සභාව හා ඊට අයත් සේවා සංවිධාන, දස ලක්ෂ සඛ්‍යාත ජනතාවකට ප්‍රේමයෙන් හා අවධානයෙන් සේවය කරන බව අගරදගුරුතුමා පෙන්වා දුන්නේය. මෙම තීන්දුව මගින් එම සේවාවන් අනතුරට ලක්  කර තිබීමත් ආගමික නිදහස ගිලගනු ලැබ තිබීමත් අතිශයින් ලජ්ජා සහගත බව එතුමා කියා සිටියේය.

එක් එක් කතෝලික පුද්ගලයන්ට, පවුල්වලට, ව්‍යාපාරවලට හා දූත සේවාවලට මෙම තීදුවෙන් එල්ල විය හැකි බලපෑම කොතෙක්දැයි මෙතෙක් නිෂ්චිතව කිව නොහැකිය. එහෙත් එය අති විශාල විය හැකි යැයි අගරදගුරු ලෝරි හිමි අනතුරු ඇඟවීය. "විවාහය පිලිබඳ බයිබලීය ඉගැන්වීම කෙරෙහි විශ්වාසය තබන විශ්වාසයේ ජනතාවට අතිශය දැඩි දුෂ්කරතා හා අර්බුද රැසකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති" යයි එතුමා සඳහන් කළේය.

"ආගමික නිදහස භාවිත කිරීම යනු තම ආගමික ඇදහිල්ල නිදහසේ ක්‍රියාත්මක කරනඅතර පුළුල් ජන සමාජය සමග අන්තර් ක්‍රියා කිරීමයි. ශ්‍රෙෂ්ඨාධිකරණයේ බහුතරය සිය සාකච්ඡාවලදී මෙම  ආගමික නිදහස නොසලකාහැරීම ගැටළු රැසක් මතු කිරීමට හේතු වෙයි"

"කතෝලිකයන් සෙසු කණ්ඩායම් වල විශ්වාසයන්ට ගරු කරන අතර ස්වකීය ආගම නිදහසේ ජීවත්කිරීමට  ඇති අයිතිවාසිකම බලවත් ලෙස ආරක්ෂා කල යුතුය. කවර මිලක් ගෙවීමට සිදුවුවත් අපගේ විශ්වාසයට සාක්ෂි දැරීම සඳහා අපි සුදානමින් සිටිමු. අප එසේ කල යුත්තේ ප්‍රේමයෙන් එසේම සත්‍යයෙන් ද යුතුව" යැයි විලියම් ලොරි අගරදගුරුතුමා කියා සිටියේ ය.

"මෙය අපගේ විශ්වාසය නිසා අපට දඬුවම් විඳීමට සිදු වූ ප්‍රථම අවස්ථාව නොවේ," එතුමා සඳහන් කළේය."19 වන සියවසේ එවැනි අවස්ථා රැසක් ඇති වුනා. ඒවාට අපව විනාශ කිරීමට හැකි වූයේ නැහැ. මෙවරත් අප මේ තත්වයට මුහුණ දී ජය ගන්නවා."

මීට මාස කිහිපයකට කලින් කතෝලික රටක් වන අයර්ලන්තය ජනමතවිචාරණ තීරණයක් මගින් සමලිංගික විවාහ නීති ගත කළේය.

සභාව සහ සමලිංගික සම්බන්ධතා


බයිබලීය ඉගැන්වීම - විශේෂයෙන් සුබ අස්න (ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම්) - මත පදනම් වන කතෝලික සභාවේ සභා නීතිය තවමත් සමලිංගික සම්බන්ධතා සලකන්නේ "ස්වභාවයෙන්ම අයහපත්" (Intrinsically evil ) ලෙසය. ලොව පිළිගත් සභා නීති විශාරදයකු වන  අති උතුම් රේමන්ඩ් බර්ක් කාදිනල් හිමිපාණන් පවසන්නේ, ලෝකය කවර මතයක් දැරුවද කතෝලික සභාවට ක්‍රිස්තුන් වහන්සේ ගේ ඉගැන්වීම වලට  පටහැනිව ක්‍රියා කල නොහැකි බවයි. සභාවේ ආචාර ධර්ම හා සභා නීතිය පිලිබඳ ඉහලම ස්ථානය (අධිකරණය ) ලෙස සැලකෙන වතිකානයේ Supreme Tribunal of the Apostolic Signatura නම් ආයතනයේ  නායකයා ලෙස මීට කලින් කටයුතු කලේ එතුමා ය. ලොව පුරා සභා නීතිය පිලිබඳ වියතුන් බහුතරයකගේ අදහස ද ඊට සමානය.

එහෙත් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක පිහිටා කටයුතු කරන බව පෙනී යයි.

මේ බව ප්‍රථම වරට පැහැදිලි වුයේ දකුණු කොරියාවේ සිට එන අතර මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට උන්වහන්සේ දුන් පිළිතුරෙනි.සමලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් උන්වහන්සේ දරන ස්ථාවරය ගැන මෙම ප්‍රශ්නය යොමු කෙරින.  "යම් කෙනකු සමලිංගික නම්, එහෙත් ඒ තැනැත්තා යහපත් සිතින් සමිඳුන් සොයයි නම්, ඔවුන් විනිශ්චය කිරීමට මා කවරෙක් දැ ?" යි (“Who am I to judge?”) සුදොතුම් පියතුමා  ප්‍රශ්නයකින් ඊට පිළිතුරු දුන්නේය.එතුමාගේ මෙම ප්‍රකාශය LGBT ලෝකයට ලැබුණු ශක්තියක් බඳු විය.



මේ හේතුව නිසා ජනප්‍රිය සංස්කෘතියේ සඟරාවක් වන Rolling Stone සඟරාවද සමලිංගිකයන ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින The Advocate සඟරාව ද 2013 වසරේ මිනිසා ලෙස පාප් වහන්සේ නම් කර තිබිණ. බොහෝ විචාරකයන් තර්ක කලේ පාප්වහන්සේ සමලිංගික විවාහ සභා නීතිය තුළ පිළිගැනීමේ තත්වයකට පත් කරනු ඇති බවයි.

පවුල පිලිබඳ රදගුරු කතිකාව 

මේ අතර, ප්‍රැන්සිස් පාප්වහන්සේ එම ධුරයට පත් වී මාස කිහිපයක් ඇතුළත කැඳවන ලද පවුල පිලිබඳ අතිවිශේෂ රදගුරු මහ කතිකාව ද මෙම මාතෘකාවට වෙසෙස් සබඳතාවක් දරයි. එතුමා මෙම විශේෂ රදගුරු කතිකාව කැඳවුයේ නූතන පවුල මුහුණ දෙන අභියෝග හා ඒවාට සභාවේ එඬේරික ප්‍රතිචාරය ගැන සාකච්ඡා කිරීමටය.

නූතන ලෝක අභියෝග කාණ්ඩයට  ප්‍රධාන වශයෙන් ඇතුලත් වූයේ, අවිවාහක තනි මව්වරුන්  (Single mothers) හා ඔවුන් ගේ දරුවන්, දික්කසාදවු අයට හා ඔවුන් ගේ දරුවනට සක්‍රමේන්තු ලබා දීම වැනි ගැටළු සහිත කරුණු ය. එහෙත් ඒ අතරට සමලිංගික සම්බන්ධතා ගැන ද සාකච්ඡා කිරීමට කිසියම් ආකාරයක 'බලපෑමක්' සිදු වී තිබිණි. ඊට හේතුව බටහිර හා ඇමෙරිකානු රටවල යහපත් කතෝලික දෙමාපියන් ගේ ඇතැම් තරුණ දූ දරුවන් තමන් තුළ එබඳු ආකර්ෂණයක් ඇතැයි  පැවසීම නිසා, එම දෙමාපියන් අපහසුතාවටත් දුෂ්කරතාවටත් පත්ව සිටීමය. "මෙවැනි විටක මේ දරුවන් පවුලෙන් පිටමං කරන්න ද? ඔවුන්ට පල්ලි එන්න බැරිද? "ඔවුහු මහත් සංවේගයෙන් සභාවෙන් ඇසුහ.

කාට කෙසේ වෙතත්, ආජන්ටිනාවේ දී උද්‍යාන බංකුවක් මත හිඳගෙන ගණිකාවන්ට සමගි සන්ධානයේ සක්‍රමේන්තුව ලබා දීමට තරම් සංවේදී හදවතක් තිබු ප්‍රැන්සිස්  පාප්වහන්සේට නම් එම දෙමාපියන් ගේ කනස්සල්ල සහ දහම් සේවා අවශ්‍යතාව හොඳින් දැනිණ.  කිතු සමිඳුන් ගේ  ගේ මහා කුළුණු ගුණය (boundless mercy of God ) සැලකිල්ලට ගෙන සමලිංගික ආකර්ෂණය සහිත වූවන් දෙස වඩා මෘදු සිතකින් බැලීමේ ප්‍රතිපත්තියක්  රදගුරු කතිකාවේ දී ගෙන ඒමට එතුමන් සහ එතුමන් බඳු අදහස් දරන කණ්ඩායම් උත්සාහ කලේ ඒ නිසාය. එහෙත් දැඩි මතධාරීන් ගේ ස්ථාවරය නිසා අවසානයේ දී ඒ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි වුයේ නැත.

 මෙම තත්වය නිසා දෝ කතිකාවට පෙර සේම ඉන් පසුවද ශුද්ධෝත්ත්ම ප්‍රැන්සිස් පාප්වහන්සේ නිතර අවධාරණය කල තේමාවක් වුයේය. එනම් ක්‍රිස්තුන් වහන්සේ ගේ අපරිමිත වූ කරුණා දයා ගුණයයි. මෙම දයාව තුළ  ක්‍රිස්තුන් වහන්සේ කිසිවකු 'බැහැර ' නොකළ අතර සියල්ලන් වෙත සමීප වූ බවත් සියල්ලන් තම සමාජයට 'අන්තර් ග්‍රහණය' කරගත් බවත් එතුමා සිය දේශනා වලදී යළි යළිත් අවධාරණය කළහ. දුප්පතුන්, පීඩිතයන් ඇතුළු නුතන සමාජයත් සභාවත් 'බැහැර කරන' පුද්ගලයන් ජේසු සමිඳුන් සේ කරුණා දෑසින් හා කරුණාබර හදවතින් සභාව තුලට, පල්ලිය තුළට 'ඇතුලත්' කර ගැනීමේ අවශ්‍යතාව එතුමා පෙන්වා දෙමින් සිටියි.

කෙසේ නමුදු, විවාහය සම්බන්ධයෙන් පාප්වහන්සේ ශුද්ධ ලියවිල්ල (බයිබලීය පදනම ) හා සහා සම්ප්‍රදාය කේන්ද්‍රියව කටයුතු කරති. එසේම එඩිතරව එය උගන්වති. ගතවූ වසර පුරා එතුමා බදාදා  පොදු හමුවේ සිය ධර්මොපදේශ තේමාව ලෙස යොදා ගත්තේ පවුලයි. පියා, මව, දරුවන්, අඹු-සැමි සඹඳතා වැනි මාතෘකා රැසක් මත සාම්ප්‍රදායික හා  බයිබලීය පවුල ශක්තිමත් කරමින් එතුමා  සිය ධර්මෝපදේශ දේශනා පැවැත්වුයේ ය. එය කිසියම් ඉහල තලයකට ගෙන එමින් මීට සති දෙකකට පෙර සිය දේශනයේ දී "ගැහැණිය සහ පිරිමියා අතර ඇති ආදරයේ සෞන්දර්යය" ගැන උන්වහන්සේ භාවනා කළහ. මව (ගැහැණිය), පියා (පිරිමියා) සහ ඔවුන් ගේ ප්‍රේමයේ සන්නිවේදනය තුලින් බිහිවන දරුවන්ගෙන් සමන්විත පවුල හැරුණු කොට වෙනත් "පවුලක්' හෝ 'විවාහයක්'ගැන එතුමා ඉඟියකින් හෝ සංඥා කලේ නැත.

මේ අතර, මේ වසරේ පැවැත්වෙන පවුල පිලිබඳ රදගුරු හිමි වරුන් ගේ සාමාන්‍ය කතිකාවේ දී ඊට එක වන සභා පියවරුන් සභා නීති වලට පටහැනිව  විසඳුම් වලට එළඹීමෙන් වැලකි සිටිය යුතු යයි විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වෙමින් තිබිණ.මෙවැනි විවාද ඉහල යද්දී මිට මස කිහිපයකට පෙර පාප් වහන්සේ මෙසේ උපදෙස් දුන්නේය: "විවාද පසෙක තබා  කතිකාව වෙනුවෙන් යාච්ඥා කරන්න".

කතෝලිකයන් ගේ වගකීම 

එබැවින් ඉතිහාසයේ තමනට නොවැටහෙන මේ තීරණාත්මක ගැටලුව ගැන තීරණාත්මක විසඳුමක් ලබා ගැනීම සඳහා කතෝලිකයන් සිය ස්වර්ගීය නායකත්වය දෙස හැරිය  යුතුව තිබේ.

සිය ප්‍රථම මාධ්‍ය හමුවේ දී ප්‍රැන්සිස් පාප්වහන්සේ එහි සිටි මාධ්‍යවේදීනට මෙම මුලධර්මය පැහැදිලි කර දුන්හ. කතෝලික සභාව මානවයන්ගෙන් සමන්විත වුව ද එය දේව සැලැස්ම මත ගමන් කරන විශ්ව සංවිධානයක් බව එතුමා පැහැදිලි කළේය. මේ නිසා ලෝකය කලබලයෙන් ක්‍රියාකරන ඇතැම් කාරනා ගැන තීරණය කිරීමට පාප්වහන්සේ නමකට වුව ද නොහැකි බව එතුමා අවධාරණය කළේය. 

අතීතයේ (මෙන්ම අප දන්නා ඉතිහාසයේ දී ) අතිශය තීරණාත්මක අවස්ථාවල සභාව මත හා එය ගන්නා තීරණ මත අබිරහස්‍යමය ලෙස දේව හස්තය ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබින. නූතන පවුල සේම සමාජයට මහත් බලපෑමක් කරන මෙම ගැටලුව ගැන විවෘතව සංවාදයක දීමටත් ඒ අනුව මෙම ගැටලුවට ධර්ම සේවාමය (එඬේරික) විසඳුම් ලබා දෙන ආකාරයත් ගැන  දෙවියන්වහන්සේ ගේ අභිමතය ලෙස තීරණවලට එළඹීමට කතිකා පියවරුන්ට ශුද්ධාත්ම ආලෝකය ලබා දෙන්නැයි  ඉල්ලා යාච්ඥා කිරීම මේ මොහොතේ කතෝලීකයන් සතු වගකීමයි. 

(ඔබගේ සංවාද හා කොමෙන්ටු වලට විවෘතය.)


(CNA, NCR, Rolling Stone වැනි මුලාශ්‍ර ඇසුරිනි)

Comments

  1. සමලිංගික කියන්නේ කෙනෙකුට උපතින් ලැබෙන දෙයක්. ඒ නිසා ඒ මිනිසා එකට පලි නැහැ. අපි මේ ජනයා කෙරෙහි දායානුකම්පාවෙන් බැලිය යුතුයි. ඔහුනගේ අසරණ හැගිම් අපි තෙරුම් ගෙන හොඳ ඇසකින් අපි මොහුන් දෙස බැලිය යුතුයි. අද වන ව්ට සාන්ත සාබාව යම් තාක් දුරට මේ ප්‍ර්‍රශ්නය ලිහිල් කර සම මට්ටමකින් බැලිම මා අගය කරමී.

    ReplyDelete
    Replies
    1. සොදොම් සහ ගොමෝරා විනාශ කලේ මොකක් නිසාද, සමලිංගික පාපය උපතින් ලැබෙන එකක් නෙවෙයි, ඒක සාතන්ගේ ඇජෙන්ඩා එකක් විතරයි ..

      Delete
  2. සමලිංගික කියන්නේ කෙනෙකුට උපතින් ලැබෙන දෙයක්. ඒ නිසා ඒ මිනිසා එකට පලි නැහැ. අපි මේ ජනයා කෙරෙහි දායානුකම්පාවෙන් බැලිය යුතුයි. ඔහුනගේ අසරණ හැගිම් අපි තෙරුම් ගෙන හොඳ ඇසකින් අපි මොහුන් දෙස බැලිය යුතුයි. අද වන ව්ට සාන්ත සාබාව යම් තාක් දුරට මේ ප්‍ර්‍රශ්නය ලිහිල් කර සම මට්ටමකින් බැලිම මා අගය කරමී.

    ReplyDelete
  3. ජර්මනියේ හා පෝලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවත් පූජක ලිංගිකාපචාර වලට..ගොදුරු වෙලා. අද ඊයේ සිට නො වේ. නික්ලස් මාකස් හිටපු රදගුරු හිමි සිය ධූර සමයේ කීපවරක් ඉල්ලා සිටියා, සිය වසමේ පූජකවරුන් ගෙන්, 'බඹසර' රැකපල්ලා යනුවෙන්. ඒ ආශ්‍රයෙන් අප ලියූ ලිපියක් එතුමා ගේ බලවත් අවධානයට යොමුව තිබුනා. අද 2021.06.09. වන විට කොළඹ පදවියේ පූජකයෙකුට දිව්‍ය පූජා පැවැත්වීම තහනම් කරළා. රාගම, තේ වත්තේ, කාමරයක තනි කරළා. තව පතළ සිද්ධි එමටයි. සමහරුනට ලෝගු හැර විවාහ වෙන්නට සිදුවෙලා. නම් ගම් පවා අප වෙත ලැබී ඇත. පරිපාටි වලට සැඟවිලා, නැතහොත් තීන්දු ගත යුතු අය ගේ වැරදි අත මිට මොළවාගෙන චූදිතයන් ප්‍රසිද්ධියේ ජීවත් වනවා.

    සිරිල් එඬේරමුල්ල
    ශ්‍රී ලංකාව.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය