හිමාලයෙ'ව් පර්වත සෙලවිය හැකි ජේසු සමිඳුන් කෙරෙහි විශ්වාසය ..........

"Faith: The virtue that frees and saves...."



(2015 ජුනි 30)
"විශ්වාසය යනු මෙයයි: ජේසු සමිඳුන්ගෙන් ගැළවීමේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා උන්වහන්සේ ස්පර්ශ කිරීමයි"

පසුගිය ජුනි 28 වන ඉරිදා දහවල් සාන්ත පීතර චතුරශ්‍රයේදී  පැවැති  තුන්කාල ආරාධනා යැදුමට  පෙර ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය දේශනය ආරම්භ කලේ එලෙසයි. එදින එතුමන්ගේ දේශනාවේ තේමාව වූයේ කිතු දහමේ ප්‍රධාන ගුණදහම් තුනෙන් පළමුවැන්න වන  විශ්වාසයයි.

ශු. මාක් තුමන් ගේ සුබ අස්නේ එන මහා ලේ  රෝගී කාන්තාවට සුවය ලැබීම සහ ධර්ම ශාලා නිලධාරි ජායිරස් ගේ  දියණිය මරණයෙන් නැගිටවීම යන සිද්ධි දෙක පදනම් කර ගනිමින් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කෙළේය.(මාක් සුබ අස්න 5:21-43)

දොළොස් වසරක් මහා ලේ රෝගයෙන් පෙළෙමින් සිටි  කාන්තාව ජේසු සමිඳුන් ගේ වස්ත්‍රයට පමණවත් අත තැබුවොත් තමාට සුව වෙතැයි විශ්වාසයෙන් උන්වහන්සේ ගේ වස්ත්‍රයට ඇත තැබුවාය. "එය එසේම වූවා " සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "(රෝගයෙන්) නිදහස් වීමට, විමුක්තිය ලැබීමට ඇති අවශ්‍යතාව විසින් එඩිතර වීමට ඈ පොලඹවනු ලැබුවා. ඇගේ එම විශ්වාසය ස්වාමීන් වහන්සේගෙන් සුවය  'උදුරා ගත්තා' යැයි අපට පැවැසිය හැකියි."

ජේසු සමිඳුන් එම කාන්තාවගේ ක්‍රියාව දැන ගත් පසු ඇයට පැවසුවේ "දියණිය, ඔබගේ ඇදැහිල්ල ඔබ සුවපත් කළේය. ශාන්ත සිතින් යන්න" යනුවෙනි. සුබ අස්නේ එම වචන වලින් ඔබ්බට ගිය පාප්වහන්සේ, " සමිඳුන් ගේ මේ වදන් පියාණන් වහන්සේගේ ඇමතුමේ ප්‍රතිරාවයක් වැනියි. 'දියණිය, ඔබ ශාපලත් හෝ බැහැර කරන ලද තැනැත්තියක් නොවේ. ඔබ මගේ දියණියයි' යයි ජේසු සමිඳුන් දුන් සුවය තුළින් පියාණන් වහන්සේ ඇයට පවසන්නට ඇති. එසේම අපත් විශ්වාසයෙන් සමිඳුන් වෙත යනවිට දෙවියන් වහන්සේ එම වචනම  ප්‍රතිරාවය නගනු ඇති.'ඔබ මගේ දුවයි, ඔබ මගේ පුතායි. ඔබට සුවය ලැබේ. ඔබට සමාව ලැබේ.' "

පාප්වහන්සේ ඊළඟට අවධානය යොමු කලේ එම සිද්ධියට පසුව එන ධර්මශාල ප්‍රධානියකු වූ ජායිරස් ගේ12 හැවිරිදි  දියණිය මරණයෙන් උත්ථාන කිරීමේ සිද්ධිය වෙතටයි.මෙහි එන ජායිරස් ගේ වචන වලින් පිළිබිඹු වන්නේ ඔහු ජේසු සමිඳුන් කෙරෙහි තබා තිබූ දැඩි විශ්වාසය යැයි ශුද්ධෝත්තම පියතුමා පෙන්වා දුන්නේය ඊට ජේසු සමිඳුන් ගේ ප්‍රතිචාරය, "බිය නොවන්න; විශ්වාසයෙන් සිටින්න" යන්නයි."උන්වහන්සේ අපවත් නිතර දිරිමත් කරන්නේ 'බිය නොවන්න.විශ්වාසයෙන් සිටින්න' යයි පවසමින්' යැයි පාප්වහන්සේ පැවසුහ.

"සුවපත් කිරීමක් හා මරණයෙන් නැගිටුවීමක් යන මේ සිද්ධි දෙකටම කේන්ද්‍රීය වන්නේ එකම අදහසකි: එනම් විශ්වාසයයි" යයි සුදොතුම් පියතුමා විස්තර කළේය. "පණිවිඩය පැහැදිලියි. එය එක්  ප්‍රශ්නයකින් සාරාංශ කල හැකියි: ජේසු සමිඳුන්ට සුවපත් කළහැකි බවත් මරණයෙන් උත්ථාන කල හැකි බවත් අප විශ්වාස කරනවා ද? සමස්ත සුබ අස්නම ලියා ඇත්තේ මෙම විශ්වාසයේ ආලෝකයෙනි: එනම් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වූ සේක. උන්වහන්සේ මරණය පරාජය කල සේක. මෙම ජයග්‍රහණය නිසා අපි දු යළි උත්ථාන කරනු ලබන්නෙමු යන ඇදහිල්ලේ ආලෝකය යැ"යි එතුමා පැවසීය.

මානව ඉතිහාසය තුළ ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්තානය ක්‍රියා කරන්නේ නවෝදයේ සහ බලාපොරොත්තුවේ මුලධර්මයක් ලෙස බව පාප්වහන්සේ පෙන්වා දුන්හ. "අපේක්ෂා භංගත්වයට පත් වූ හෝ  දිවි තොර කර ගැනීමට තරම් වෙහෙසට පත්වූ කිසියම් කෙනෙකු ජේසු සමිඳුන් හා උන්වහන්සේ ගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය කරන්නේ නම් එම තැනැත්තාට යළි ජීවත් විය හැකිය. විශ්වාසය යනු ජීවනයේ බලවේගයකි. එය අපගේ මනුෂ්‍යත්වයට පුර්ණත්වය ලබා දෙයි. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා පිළිගැනීමට ලක් විය යුතු ය. මන්ද එවැන්නන් සෑම විටම - සෑම අවස්ථාවකම - ජීවිතය හා ජීවත්වීමේ වටිනාකම ප්‍රවර්ධනය කරන නිසා ය. එසේ කල විට සෑම කෙනෙකුටම , විශේෂයෙන් සමාජයේ දුර්වල ජන කොටසට , අප මුදාලන්නාවූත් නිදහස් කරන්නාවූත් දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය ඇත දැකිය හැකි වනු ඇත" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කළහ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය