"සාමය මිනිසා පිලිබඳව දෙවිඳුන් ගේ සිහිනයයි" අළු යට ගිණි ඇති බොස්නියාවට දුන් පණිවිඩය

"Peace is God's dream, his plan for the world": Pope says in Sarajevo



(2015 ජුනි 9)
"සාමය ලෝකය වෙනුවෙන් දෙවිඳුන් ගේ සිහිනයයි."
"සාමය යුක්තිය ඉටුකිරීමේ ඵලයයි"
"ජේසු සමිඳුන් කීවේ සාමය ඇති කරන්නෝ ආශීර්වාද ලද්දෝය' කියා මිස 'සාමය ගැන දේශනා කරන්නෝ ආශීර්වාද ලද්දෝය' කියා නොවේ"

මතක ද බොස්නියාව?  එකම රටේ ජනවාර්ගික කොටස් අතර ඇවිලුණු යුද ගින්නෙන් ආදරය දැවී,මානව භක්තියත් සමග විනාශ වෙමින් තිබූ දේශය? 1992 සිට 1995 දක්වා, වෛරයේ බලශක්තියෙන් පන පෙවුණු වෙඩි හඬින්, බෝම්බ හඬින් සේ ම, යුද්ධයේ ගොදුරු බවට පත්වුනු තම ප්‍රියයන් වෙනුවෙන් හඬා  වැලපෙන මිනිසුන්ගේත් ගැහැණුන්ගේත් වැලැපිල්ලෙන් කම්පනයට පත්ව තිබූ රට? ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙර කියූ ප්‍රකාශ කලේ, යුද ගිණි නිවී ගියත් තවමත් අළු යට ගිණි පවතින එම රටේ දී ය.

යුද්ධයේ අවසානයෙන් පසු බොස්නියා-හර්සගොවිනාව බවට පත් වූ එරටට ශුද්ධෝත්ම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සෙනසුරාදා (ජුනි 6 දා) අපෝස්තලික චාරිකාවක් සඳහා පැමිණියහ. එහි ගතකල පැය 11 ක කාලය තුළ එතුමා  එරට දේශපාලන නායකයන්, කතෝලිකයන්, අන්තර් ආගමික නායකයන් සහ දේශයේ තරුණ නියෝජිතයන් මුණ ගැසුනේ ය. පළමු ලෝක යුද්ධය ආරම්භ වූ ස්ථානයත් 1992 - 1995 බොස්නියා යුද්ධයත්, ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම්  යන ත්‍රිවිධ ලබ්ධිකයන් එකට ජීවත් වීමත්  නිසා "යුරෝපයේ ජෙරුසලෙම" යන විරුදය ලද බොස්නියාවේ අගනුවරදී පාප් වහන්සේගේ පණිවිඩය එකක්ම විය. එනම් සාමයයි.


පාප් වහන්සේ දිව්‍ය පුජාව පැවැත්වූයේ සරයේවෝ හි 'කෙසෝවෝ ස්ටේඩියම්' නම් සුවිසල් එළිමහන් ක්‍රීඩාංගනයේ දීය. 1984 ශිශිර ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණේ මෙම ක්‍රීඩාංගනයේ දී ය. බොස්නියා යුද්ධයේ දී මිය ගිය සියලු පාර්ශව වලට අයත් සෙබළුන් හදිසියේ මිහිදන් කල සොහොන් කිහිපයක් ද සහිත මෙම බිම යුද්ධයත් සාමයත් ගැන කියන අපූරු සංකේතයක් වැන්න. පාප් වහන්සේ දිව්‍ය  පුජාව සඳහා පැමිණියේ, එම මිනී වලවල්ද පසුකරගෙනය.

"සාමය ලෝකය ගැන දෙවියන් වහන්සේ ගේ සිහිනයයි. සාමය මානව වර්ගයා පිළිබඳව උන්වහන්සේ ගේ සැලැස්මයි.එය මානව ඉතිහාසයත් සමස්ත මැවිල්ලත් වේනුවෙන් වූ  උන්වහන්සේ ගේ සැලැස්මයි" යැයි දිව්‍ය පුජාවට එක වූ හට දහසක පමණ කිතුනු - නොකිතුනු ජනතාව අමතමින් පාප් වහන්සේ කියා සිටියහ. "එහෙත් දෙවියන් වහන්සේ ගේ මෙම සැලැස්මට මිනිසාගෙනුත් නපුරේ දූතයාගෙනුත් නිරන්තරයෙන් විරෝධය එල්ල වෙන" බව එතුමා පෙන්වා දුන්නේ ය.   

"දෙවිඳුන් ගේ තිළිණයක් වන සාමය, උන්වහන්සේ හා මිනිසා අතර වන සමගි සන්ධානයේ ඵලයකි. මිනිසාට සාමයේ නිර්මාපකයන් බවට පත් විය හැක්කේ අප දෙවියන් වහන්සේ හා සමගි සන්ධාන වන තරමට" යැයි එතුමා අවධාරණය කළේය. 

යුද්ධයේ සහ සාමයේ යථාර්ථයත් ගැටුමත් පාප් වහන්සේ මෙහිදී විස්තර කළහ. "අපේ ජීවිත කාලයේ දී පවා, සාමය සඳහා වූ තදබල ආශාවත් සාමය සඳහා වන කැපවීමත් ලෝකයට බලපෑමක් වී ඇති, තැනින් තැන දක්නට ලැබෙන සන්නද්ධ ගැටුම්වල යථාර්ථයත්  සමග එකිනෙක ගැටෙයි.එම යුද්ධ වූ කලී තනි තැන ටික ටික කෙරෙන තුන්වැනි ලෝක යුද්ධ ලෙස පෙනුන ද ජන සන්නිවේදන මාධ්‍ය විසින් දැවැන්ත යුද්ධමය වාතාවරණයක් මවනු ලබා තිබේ.

යුද්ධය සංස්කෘතීන් හා ජන සමාජ අතර ගැටුමක් නොව ඉන් ඔබ්බට යන්නක්  බව එතුමා පෙන්වා දුන්නේ ය. "යුද්ධය යන්නේ අර්ථය දරුවන්, කාන්තාවන් හා වයස්ගතවූවන් සරණාගත කඳවුරුවලට ගෙනයාමය. යුද්ධයේ අරුත ජනතාව බලහත්කාරයෙන් අවත කිරීමයි; නිවාස, ගොඩනැගිලි, කම්හල් හා මහාමාර්ග විනාශ කිරීමයි; සියල්ලටම වඩා, යුද්ධය යන්නහි තේරුම අසංඛ්‍ය වූ ජීවිත සංඛ්‍යාවක් බිඳ වැටීමයි." එසේ කී පාප් වහන්සේ මිට දශක දෙකකට ඉහත සරයේවෝ නගරය යුද්ධයෙන් ගිනි ගෙන තිබූ සමයේ ජනතාව විඳි දුක් වේදනා සිහිපත් කළහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය