"කිතුනුවන් ගේ දෑත් අපවිත්‍ර විය යුතුයි" පාප්වහන්සේ පවසති. හැබෑටම?

"Christians must get their hands dirty in order to do good" - Holy Father says




(2015 ජුනි 29)
"මට බොහෝ වෙලාවට මේ ගැන  හිතෙනවා.අපේ දෑත් කිලිටි කර නොගෙන යහපත් වැඩක් කරන්න අමාරුයි. එසේ නොකලහැකිම යැයි මා කියන්නේ නැහැ. අමාරුයි. ජේසු සමිඳුන් ගේ දෑත් කිලිටියි. එත් උන්වහන්සේ සමීපයි. ඒ වගේ කිතුනුවන් ගේ දෑත් කිලිටි විය යුතුයි."

මෙසේ පවසන්නේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ය. "හැබෑටම?" යැයි අපේ මුව විවර වනු ඇත. අපේ ඇස් බැමි ඉහල යනු ඇත.

ඉතින් අපත් අපවිත්‍ර වෙනවා නොවේ ද? ඇත්තය. කිතුනු අපිත් අපේ දෑතින් පමණක් නොව ඇතැම් විට සියොලඟීන්ම අපවිත්‍ර වෙමු. විශේෂයෙන්ම ඇතැම් (කිතුනු) දේශපාලකයන්, රජයේ නිලධාරීන්, විනිශ්චයකාරවරුන්,කළා කරුවන්, නීතීඥයන්, පමණක් නොව මාධ්‍යවේදීන් පවා දෑත් කිලිටි කර ගනිති. ඒ අල්ලස, දුෂණය, වංචාව, සුරාව, සූදුව හා මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතනය වැනි පව් කසල කිසිදු හිරිකිතයක් නැතිව අත ගෑමෙනි.

පාප්වහන්සේ පවසන්නේ එවැනි කිළුටක් ගැන නොවේ. "දෙවියන් වහන්සේට ප්‍රසන්න" කිළුටක් ගැනය. එනම් "කිතුනුවන් ගේ දෑත් යහපත් දේ කිරීමෙන් අපවිත්‍ර විය යුතු" බවය

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ ක්‍රිස්තු ආදර්ශය සිහිපත් කලේ ඉකුත් සිකුරාදා (ජුනි 26) සාන්තා මාර්තා නිවහනේ පුංචි පල්ලියේ පැවැති දිව්‍ය පුජාවේදීය. එදින උන්වහන්සේ ගේ දේශනාවට නිමිත්ත වූයේ ශු. මතෙව් සුබ අස්නේ එන ක්‍රිස්තුන් වහන්සේ ලාදුරු රෝගියකු සුවපත් කිරීමේ ප්‍රේමයේ පෙළහරයි. (ලාදුරු රෝගියෙක් තමා සුවපත් කරන්නැයි ජේසු සමිඳුන්ගෙන් ඉල්ලයි. ජේසුන් වහන්සේ ඔහු ස්පර්ශ කොට, "පවිත්‍ර වන්නැයි" ඔහුට පවසති. ඒ සමගම, මෝසස් ගේ නීතිය ප්‍රකාර පුජකයන් ඉදිරියේ පෙනී සිට සිය පවිත්‍ර බව ඔප්පු කරන්නැයි  උන්වහන්සේ ඔහුට උපදෙස් දෙති.)

මතෙව් සුවිශේෂයේ එන මෙම ප්‍රාතිහාර්යය ජේසු සමිඳුන් කලේ ජුදෙව් නීතිය පිලිබඳ ආචාර්ය වරුන් ඉදිරිපිට බව පාප්වහන්සේ පැවැසුහ. එම නීතිවේදීන් එකල ලාදුරු රෝගය සැලැකුවේ "අපවිත්‍ර, කිලිටි" රෝගයක් හැටියටය. ලාදුරු රෝගය එකල සැළැකුණේ මරණ දඬුවමක් ලෙස බව පාප්තුමා  සිහිපත් කළේය. එබැවින් එවැනි රෝගියකු සුවපත් කිරීම යනු තැනැත්තකු මරණයෙන් නැගිටවීමක් ලෙස ගණන් ගැණින.

(කර්තෘ සටහන: නාසරෙතයේ ජේසු සමිඳුන් ජීවත්ව සිටි යුගයේ ලාදුරු  රෝගයට ප්‍රතිකාරයක් සොයාගෙන තිබුනේ නැත. එය අතිශය පිළිකුල් සහගත රෝගයක් ලෙස පිළිගෙන තිබිණ. රෝගය බෝවීම වැලැක්වීම සඳහා මෙම 'පිළිකුල් සහගත' රොගීහු  සමාජයෙන් පිටමං කරන ලදහ. මරණයට කැපවුවන් වැනි ඔවුන් ජීවත් වූයේ නගරයට ඈතින් පිහිටි තැන්නකය. මෙම 'කිලිටි' රෝගීනට සමාජයට ඒම තහනම් කර තිබුනේ ය. මීට දශක පහකට පමණ ඉහත තිරගත වූ, තවමත් ලෝක සිනමාවේ දැවැන්ත කෘතියක් සේ සලකන "බෙන් - හර් " චිත්‍රපටය නැරඹුවේ නම් ක්‍රිස්තු වර්ෂ තිස් ගණන් වල ලාදුරු රෝගීන් ගේ ඉරණම ගැන අවබෝධයක් ලබා ගත හැකි ය.)

මෙලෙස ලාදුරු රෝගීන් සමාජයෙන් 'බැහැර' කරන ලද්දන් වූ බව ශුද්ධෝත්තම පියතුමා පෙන්වා දුන්නේය. "එහෙත් ජේසු සමිඳුන් මෙම ලාදුරු රෝගියා වෙත දෑත දිගුකොට, අප එවැන්නන් වෙත කෙතරම් සමීප විය යුතුද යන්න පෙන්වා දෙනවා" යැයි එතුමා කිවේය.

"ජනතාවට සමීප නොවී අපට ජන පවුලක් විය නොහැකියි. ජනතාවට සමීප නොවී අපට සාමය ඇති කිරීමට හෝ යහපත් ක්‍රියාවක් කිරීමට හෝ නොහැකියි" එතුමා අවධාරණය කළේය. " 'ඔබ සුවපත්' යයි ඉතා පහසුවෙන් ඔහුට පැවැසීමට ජේසු සමිඳුනට ඉඩ තිබුනා. එහෙත් ඒ වෙනුවට උන්වහන්සේ කලේ ඔහුට සමීප වී සිය අතින් ඔහු ස්පර්ශ කිරීමයි. එමගින් උන්වහන්සේ ද 'අපවිත්‍ර' වීමයි. කිලිටි වීමයි.  ජේසු සමිඳුන් ගේ අබිරහස මෙයයි: උන්වහන්සේ අපට සමීප වීම සඳහා අපගේ කිලිටිබව, අපගේ පාපය සහ අපගේ බැහැර කරනු ලැබීම උන්වහන්සේ මතට පවරා ගනියි" යයි ශුද්ධෝත්තම පියතුමා පැහැදිලි කලේ ය.

ලාදුරු රෝගියා සුවපත් කිරීමෙන් නොනැවැතී ජේසු සමිඳුන් ඔහුගෙන්  යමක් ඉල්ලා සිටි බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස්  පාප්වහන්සේ  පෙන්වා දුන්හ. එනම් " මේ පිළිබඳව කිසිවෙකුටත්  නොකියන්න. එහෙත් මෝසස් ගේ නීතිය ප්‍රකාර පුජකයන් ඉදිරියේ පෙනී සිට පඬුරක් ඔප්පු කරන්න" යන ඉල්ලීමයි. "ජේසු සමිඳුන් සිය දෑත් අපවිත්‍ර කරගන්නවා පමණක් නොවේ. තමන් සභාව තුළටත් සමාජය තුළටත් යළි ඇතුළත් කර ගැනීම සඳහා පුජකයන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඔහුට උපදෙස් දෙනවා. මෙහි අරුත කුමක් ද?" පාප් වහන්සේ ප්‍රශ්න කලහ." ජේසු සමිඳාණෝ කිසිදු පුද්ගලයකු බැහැර නොකරන සේක. ඒ වෙනුවට පව්කාර අප ඇතුළත් කරගැනීම (අන්තර්ග්‍රහණය කර ගැනීම) සඳහා තමන් වහන්සේව බැහැර කර ගන්නා සේක."



ජේසු සමිඳුන් කල මෙම දයාවේ පෙළහරට අවට සිටියවුන්ගෙන් ලැබුනු ප්‍රතිචාර පාප් වහන්සේ ඊලඟට විස්තර කළහ. සමහරෙක් උන්වහන්සේ ගේ වචනය විශ්වාස කර උන්වහන්සේ අනුගාමී වුහ. තවත් පිරිසක් දැඩි හදවත් වලින් උන්වහන්සේ කල දේ බලා සිටියහ. ඔවුහු මේ ක්‍රියාව උන්වහන්සේ විවේචනය කිරීමටත් හෙලා දැකීමටත් යොදා ගත්හ. තවත් පිරිසක් උන්වහන්සේ කලදේ අනුමත කර එතුමන් වෙත සමීප වීමට කැමැත්ත තබුනත් එසේ කිරීමට ධෛර්යයක් තිබුනේ නැත. "මෙවැන්නන්ට ක්‍රිස්තුන්  වහන්සේ තමන් ම සමීප වී සිය දෑත දිගුකරන සේකැ"යි ශුද්ධෝත්තම පියතුමා කියා සිටියේ ය.

මෙහි එන දෙවැනි පණිවිඩය ද පාප්වහන්සේ විස්තර කළහ.
"ජනතාවට සමීප වීමට අප දන්නවා ද? සමාජයෙන් බැහැර කරන ලද්දවුන් වෙත සමීප වී ඔවුන් ස්පර්ශ කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අප තුළ තිබෙනවා ද? කිතුනු ජන පවුලේ අරුත මෙයයි. එසේම අප හැම කෙනකුම - රදගුරු හිමිවරුන්, පූජකවරුන්, පැවිද්දන් හා අප හැමෝම- අපෙන් ඇසිය යුතු ප්‍රශ්නය එයයි" යැයි පාප් වහන්සේ අවධාරණය කළහ.

නූතන ශ්‍රී ලංකා දේශපාලන, සමාජ ආර්ථික සන්දර්භය තුළ ද බොහෝ දෙනෙක් "බැහැර කරනු ලැබ" සිටිති. දුප්පත්කම, රෝගී හෝ ආබාධිත බව වැනි හේතු පමණක් නොව, අයුක්තිය, අවනීතිය මෙන්ම රටේ ජාතික ආධ්‍යාත්මය ආබාධිත කර ඇති ජාතික හා  ආගමික අන්තවාදය මෙලෙස බොහෝ පිරිසක්  බැහැර කරනු ලැබීමට ප්‍රධාන හේතු වී තිබේ.

පාප් වහන්සේ පවසන්නේ,එවැන්නන් යලි අන්තර් ග්‍රහණය කරගැනීමට නම් කිතුනුවා ඔවුනට සමීප විය යුතු බවය. ඔවුන් "ස්පර්ශ" කල යුතු බවය. එසේ කිරීමට නම් සිය ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ කල සේ  රැල්ලට එරෙහිව ගොස් නිවරැදි දේ, යහපත් දේ කිරීමට තරම් එඩිතර කමක් කිතුනුවා සතුව තිබිය යුතු ය. එසේ කරන විට විවිධ "හංවඩු" වදිමින් සිය අත් කිලිටි කර ගැනීමට අයකුට සිදුවිය හැකිය. එහෙත්, ආර්ජන්ටිනාවේ දී  රැල්ලට එරෙහිව යමින් මෙම දේශනාව ජීවත් කළ  ප්‍රැන්සිස් පාප්වහන්සේ  පවසන්නේ සැබෑ කිතුනුකමේ අභියෝගය හා මිනුම් දණ්ඩ එය බවය.


(Rome Reports; Vatican Radio)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය