සාමය පිලිබඳ නව අපේක්ෂා ඇතිකරමින් වතිකාන-පලස්තීන සම්මුතියට අත්සන් තැබේ (Video)

Vatican, Palestine sign treaty, protecting religious liberty and highlighting peace

අල්-මල්කි මහතා සම්මුතියට අත්සන් තබමින්


(2015 ජුනි 27)
වතිකාන රාජ්‍යය සහ පලස්තීන රාජ්‍යය අතර සවිස්තර සම්මුතියකට අත්සන් තැබේ. මැදපෙරදිග සාමය ඇතිකිරීම හා ආගමික නිදහස සුරක්ෂිත කිරීම යන දෙවදෑරුම් කරුණු ඉලක්ක කර ගනිමින් මෙම සම්මුතිය සකස් වී තිබේ. 

සම්මුතියට අදාළ කෙටුම් පතට ඉකුත් මැයි 13 වනදා දෙපාර්ශවය එකඟත්ව පලකළේය. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පාප්වහන්සේ වතිකානයේ දී හමුවූ අවස්ථාවේ දී මෙම එකඟත්වයට එලැඹින. ඊට  අත්සන් තැබීම  වතිකානයේ දී ඊයේ (ජුනි 26 සිකුරාදා) සිදුවිය. 

වතිකානය වෙනුවෙන් ඊට අත්සන් කරන ලද්දේ රාජ්‍යයන් සමග සම්බන්ධතා පිලිබඳ ලේකම් (වතිකාන රාජ්‍යයේ විදේශ ඇමැති ) අති උතුම් ජෝන් ගැලහර් අගරදගුරු හිමිපාණන් විසිනි. පලස්තීනයේ විදේශ ඇමැති රියාද් අල්-මල්කි මහතා එම පාර්ශවය වෙනුවෙන් අත්සන් කළේය. 

පලස්තීන-වතිකාන සම්මුතිය, පලස්තීන රාජ්‍යය තුළ ආගමික නිදහස පිළිගනියි. එසේම,කතෝලික සභාවේද එහි ආයතනවල හා පලස්තීනය තුල සිටින කාර්ය මණ්ඩලවල අයිතිවාසිකම් හා වගකීම එහි විස්තර කර තිබේ. ආගමික නිදහස සහ හර්දය සාක්ෂියේ නිදහස,කතෝලික සභාවට සිය සේවාවට, ඇදහිල්ලට,ඇති නිදහස, නෛතික තත්වය, වන්දනා ස්ථාන, සමාජ හා දයා සේවා පවත්වාගෙන යාම වැනි කරුණුද ඊට ඇතුලත් වේ. 

ඊශ්‍රායෙලය හා පලස්තීනය අතර පවතින ගැටුමට විසඳුම, එකිනෙක අසල  සාමයෙන් ජීවත්වන රාජ්‍ය දෙකක් ඇති කිරීම බව දෙපාර්ශවය මෙමගින් යලිත් එකඟත්වයට පැමිණ ඇත.  

මෙම සම්මුතිය අත්සන් තබනු ලබන්නේ පලස්තීන රාජ්‍යය සමග බව අත්සන් කිරීමෙන් පසුව අදහස් දැක්වූ ජෝන් ගැලහර් අගරදගුරු තුමා කියාසිටියේය."මේ  මගින් පෙන්නුම් කරන්නේ ගතවූ වසර කිහිපයක කාලය තුළ පලස්තීන අධිකාරිය ලබාගෙන ඇති ප්‍රගතියයි. එම ප්‍රගතියට ප්‍රතිචාර වශයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ සහාය ඊට ලැබිණ. පලස්තීන අධිකාරිය එක්සත් ජාතීන් ගේ ඡන්ද බලය රහිත නිරීක්ෂක මට්ටමේ රාජ්‍යයක් ලෙස පිළිගැනීමට 2012 නොවැම්බර 29 වැනිදා එක්සත් ජාතීන් එකඟත්වය පලකිරීමෙන් ම එය තහවුරු වන" බව එතුමා පෙන්වා දුන්නේය.

මෙම සම්මුතිය දිගු කල තිස්සේ පවත්නා ඉශ්රායෙල්-පලස්තීන ගැටුම අවසන් කිරීමට උත්තේජකයක් වේවායි ගැලහර් අගරදගුරු හිමි ප්‍රාර්ථනා කළහ. "දෙපාර්ශවයේම ජනතාවට වේදනා ගෙන එන මෙම ගැටුමට නිශ්චිත විසඳුමක් ගෙන ඒමට හැකි වේවායි අපි පතමු. කලක සිට ප්‍රාර්ථනා කරන රාජ්‍යයන් දෙකේ විසඳුම හැකි ඉක්මනින් යතාර්ථයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු" යි එතුමා සඳහන්  කළේය.

මෙම සම්මුතිය මගින් වතිකාන රාජ්‍යය ප්‍රථම වරට පලස්තීනය රාජ්‍යයක් වශයෙන් පිළිගෙන ඇති බව පලස්තීන විදේශ ඇමැති අල්-මල්කි මහතා කියා සිටියේය. "එය වූ කලී පලස්තීන ජනතාවට තමන්ගෙන වූ ස්වාධීන රාජ්‍යයක් තුළ නිදහස හා ගෞරවය සහිතව ස්වයං නිර්ණ අයිතිය භුක්ති විඳීමට ඇති අයිතිය පිළිගැනීමකි. අන්තර් ජාතික නීතියට අනුකුලව රාජ්‍යයන් දෙකක් මත පදනම්ව කලාපය තුළ යුක්තිය හා සාමය ගොඩනැංවීමේ දැක්මට ද මෙයින් පිටිවහලක් ලැබේ" යයි ඔහු පෙන්වා දුන්නේය.

 කිතු දහම උපන් ස්ථානය ලෙසත් ඒක දේව දහම් වල තෝතැන්න ලෙසත් පලස්තීනයට ඇති විශේෂ ගෞරවනීය ස්ථානයද අල්-මල්කි මහතා සිහිපත් කළේය. පලස්තීන ජාතිකයන්ගේ ජීවිත පොහෝණි කිරීමට දායක වන්නකු ලෙස කතෝලික සභාවේ දායකත්වය සම්මුතිය මගින් තහවුරු වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය