නිර්මලා කන්‍යා සොයුරිය සදා ජීවිතයට නික්ම යයි

Sr. Nirmala of Calcutta called to Eternal Rest


(2015 ජුනි 23)
භාග්‍යවන්ත කල්කටාවේ සාන්ත තෙරේසා මව් තුමියට පසුව දයාවේ සොයුරියන් ගේ නිකායේ නායිකාව වූ නිර්මලා කන්‍යා සොයුරිය ගේ අභාවයෙන් ඉන්දියාව සංවේගයට පත්ව සිටියි.

කලක් ගිලන්ව සිටි 81 හැවිරිදි නිර්මලා සොයුරිය රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මීට දින කිහිපයකට පෙර කල්කටාවේ දයා සේවා නිවසකට ගෙන එනු ලැබුවා ය. එහිදී ඇය ඊයේ  (ජුනි 23අඟහරුවාදා) ස්වර්ගස්ථ වූ බව එම නිකාය ප්‍රකාශ කළේය.

"ඉතා දයාබර වුත් අප සියල්ලන්ට ඉතා සමීප වුත් නිර්මලා සොහොයුරිය ගේ අභාවය හේතුවෙන් මුළු මහත් ඉන්දියාවත් විශේෂයෙන් කල්කටා අගරදගුරු පදවියත් මහත් ශෝකයට පත්ව සිටින" බව එම පදවියේ අනු නායක ඩොමිනික් ගෝමස් පියතුමා කියා සිටියේය.

නිර්මලා සොයුරිය ගේ දේහය කල්කටාවේ සියල්දා කලාපයේ සාන්ත ජුවාම් දෙව්මැදුරේ තැන්පත් කර තිබින.එහි සිට අද (බදාදා) එම දේහය කල්කටාවේ පිහිටි දයාවේ සොයුරියන් ගේ මව් නිවෙසට ගෙනයාමට නියමිතය. එහි දී ඉන්දියාවේ වේලාවෙන් අද ප.ව. 4 ට පැවැත්වෙන දිව්‍ය පුජාවෙන් පසුව, සාන්ත ජුවාම් සුසාන  භුමියේ දී අවසන් කටයුතු සිදු කෙරේ.

1934 ඉන්දියාවේ (වත්මන් ඉන්දියාවේ ජාර්ඛාන්ද් ප්‍රාන්තයේ අගනුවර වන) රාන්චියේ දී ඇය උපත ලැබූවේ නේපාලයේ සිට පැමිණි බ්‍රාහ්මණ පවුලක වැඩිමහල් දියණිය ලෙසය.ඇයගේ උපන් නම කුසුම් විය. ගැහැණු ළමයින් අට දෙනකු සහ පිරිමි ළමයින් දෙදෙනකුගෙන් යුත් පවුලේ ඇය ලොකු අක්කා  වුවාය. කුඩා කළ කුසුම් ගේ පියා ඇය කිතුනු පාසල් වල අධ්‍යාපනයට යොමු කළේය.

කල්කටාවේ වීදි වල තෙරේසා මව් තුමිය ඉටුකළ මානුෂවාදී කිතුනු දයා සේවාවට යොවුන් කුසුම් ගේ සිත ඇදී ගියේය. ඇය කිතු දහම වැළඳ ගත්තාය. ඒ සමගම ඈ තෙරේසා  මව් තුමිය ගේ දයාවේ නිකායට එක් වූයේ නිර්මලා යන පැවිදි නාමයෙනි.  තෙරේසා මව් තුමිය අසලින්ම නිතරම සිට එතුමියගේ හදවත හඳුනාගෙන සිටි නිර්මලා සොයුරිය, 1997 දී එතුමිය සග සැපත් වීමට මාස කිහිපයකට පෙර නිකායේ ප්‍රධාන මව්තුමිය ලෙස පත් කරගනු ලැබුවාය. 2009 පැවැති නිකායේ පොදු මහ සමුළුවේදී සෞඛ්‍ය හේතුන් නිසා තව දුරටත් නිකායේ නායකත්වය දැරීම එතුමිය ප්‍රතික්ෂේප කලාය. වත්මන් නිකාය නායිකා මේරි ප්‍රේම පියෙරික් සොයුරිය එම තනතුරට තෝරා ගනු ලැබුවේ ඒ අනුවය.

 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කොන්ග්රෙස් පක්ෂ නායක රහුල් ගාන්ධි සහ බටහිර බෙංගාලයේ මහා ඇමතිවරයා ඇතුළු නායකයන් රැසක් එතුමිය වෙනුවෙන් සොව පළකරමින් නිවේදන නිකුත් කර තිබේ.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය