"දුප්පතුන්, පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින පුජකවරුන් කොමියුනිස්ට් කාරයන් නොවේ; ඔවුන් සැබෑ කිතුනුවන්" - පාප් වහන්සේ ගෙන් දුප්පත්කමේ දේවධර්මයට සාරාංශයක්

"Concern for the Poor is sign of Gospel; not a red flag of Communism"- Pope explains the "Theology of Poverty"




(2015 ජුනි 22)
"දුප්පත් සභාවක් දුප්පතුන් සඳහා වන සභාවක්" යැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූ දා සිට, කතෝලික සභාවේ සාම්ප්‍රදායික මිනුම් දඬු වෙනස් කරන  ලෙස උන්වහන්සේ වෙතින් අභියෝග ගලා එමින් තිබේ.  තම සුඛ විහරණ තුළ ගැලී සිටින්නට කැමති පූජකවරුන්ට හා රදගුරු හිමිවරුනට එවැනි අභියෝග වහ කදුරු සේ තිත්ත වීම නිසා,පාප්වහන්සේ කුමක් කීවත්, ඔවුන් නොඇසූ කන්ව සිටිය ද ලොව පුරා කිතුනු නොකිතුනු සියලු ජනතාවට එම ඉගැන්වීම් ක්‍රිස්තු සමිඳුන් ගේ හඬ යළි ප්‍රතිරාව වීමක් සේ ආනන්දයට හේතුවක් වී තිබේ.

දුප්පතුන් හා පීඩිතයන් සමග ඔවුන් වෙනුවෙන් සේවය කරන පියවරුන් හා රදගුරු හිමිවරුන් දෙස මෙතෙක් කතෝලික නායකයන් බැලුවේ සැක සහිතව ය. කතෝලික සමාජ ධර්මයේ එන "දුප්පතුන් සඳහා වරණය" (Option for the Poor) තෝරාගනිමින් සමාජයේ පීඩිත පන්තිය වෙනුවෙන් සේවය කරණ පුජකතුමන් "කොමියුනිස්ට්වාදීන්" ය යන ආකල්පයක් කතෝලික නායකත්වය තුළ තිබිණී. එබැවින් එවැනි පියතුමන්ලාට පල නොකියා පලා බෙදන තත්වයක් ද තිබුණේ ය. ප්‍රැන්සිස් පාප්වහන්සේ ක්‍රිස්තු ධර්මයේ හදවත වන ශුද්ධ ලියවිල්ලෙන් ගලා එන ජේසු සමිඳුන් ගේ ම ඉගැන්වීම් මත පිහිටා එවැනි මත වෙනස් කරමින් සිටිති.

ඉකුත් අඟහරුවාදා (ජුනි 16) උදාසන සාන්තා මාර්තා නිවහනේ පුංචි පල්ලියේ පැවැති දිව්‍ය පුජාවේ දේශනයේ දී ද පාප්වහන්සේ එවැනි අභියෝගාත්මක ප්‍රකාශයක් කළහ.

දුප්පත්කම ගැන අවධානය යොමු කිරීම හෝ දුප්පතුන්ට තමන් සතු ධනය හෝ දේපොළ පරිත්‍යාග කිරීම  ක්‍රිස්තු ධර්මය මිස කොමියුනිස්ට් වාදය නොවන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස්  පාප් වහන්සේ පැවසුහ.

"ඇතැම් ජනතාව මෙසේ කියනවා අපට අසන්නට ලැබෙනවා" පාප් වහන්සේ සිය දේශනාව අරඹමින් පැවසුහ." 'අසවල් පියතුමා දුප්පතුන් ගැන කතා කරනවා ඕනෑවට වැඩියි. මේ රදගුරුතුමා දුප්පතුන්ට සේවය කරනවා වැඩියි. අර පැවිදි සොහොයුරිය, අසවල් කිතුනුවා පුප්පතුන් වෙනුවෙන්, ඒ අය එක්ක හරි හරියට වැඩ කරනවා. ඒ අය කොමියුනිස්ට් කාරයො වෙන්න ඇති. එහෙම නේද?,  කියා  ජනතාව කියනවා."

"එහෙත් දුප්පත්කම ගැන කතා කිරීම යනු ක්‍රිස්තියානිකමයි. එය ක්‍රිස්තු ධර්මය යි. එය කොමියුනිස්ට් වාදය නොවේ." උන්වහන්සේ අවධාරණය  කළහ.

"දුප්පත්කම නිශ්චිතවම සුබ අස්නේ (ක්‍රිස්තුන් වහන්සේ ගේ පණිවිඩයේ) හදවත යි. අප දුප්පත්කම සුබ අස්නෙන් ඉවත් කළහොත් ජනතාවට ජේසු සමිඳුන් ගේ පණිවිඩයේ කිසිවක් තේරුම් නොයනු ඇතැ" යි  එතුමා පෙන්වා දුන්නේ ය.

"පුර්ණ කිතුනුවකු වීම යනු, ආධ්‍යාත්මික ජීවගුණය, ඇදහිල්ල, දේව වචනය, ප්‍රඥාව සහ උද්‍යෝගය වැනි ක්‍රිස්තුන් වහන්සේ සිය ශ්‍රාවකයනට ඉගැන්වූ සහ ප්‍රදානය කළා වූ ගුණධර්ම වලින් පොහොසත් වීමයි. එහෙත් මෙවැනි 'ගුණධර්මවලින් පොහොසත්' වීමේදී  එක දෙයක් වීම සහතිකයි. එනම් මෙතරම් "(ගුණ දහම්) වස්තුවක් හදවතේ" තිබෙන විට, එයින් ඔබගේ 'පසුම්බියට' බලපෑමක් සිදු වීමයි.මන්ද ඇදැහිල්ල ඔබගේ පසුම්බියට ලඟා නොවේ නම්, එය අව්‍යාජ ඇදැහිල්ලක් නොවේ" යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ.

" 'දුප්පත්කමේ දේවධර්මයට' පදනම වන්නේ ජේසු සමිඳුන් සිය 'දිව්‍ය පොහොසත්කම' තුළ දුප්පත් වීමේ සිද්ධාන්තය යි.උන්වහන්සේ තමන් වහන්සේව පහත්  කර ගෙන මානව වර්ගයා ගේ ගැලැවීම උදෙසා තමන් වහන්සේවම පූජා කල" බව එතුමා පෙන්වා දුන්නේ ය."එබැවින් 'සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය' යන ජේසු සමිඳුන් වදාළ භාග්‍ය වාක්‍යයෙන් කියවෙන්නේ, කෙනෙකු තමන් ජේසු සමිඳුන් ගේ දුප්පත්කමින් පොහොසත් කර ගැනීමත්, ක්‍රිස්තුන් වහන්සේ වෙතින් නොවන පොහොසත්කම් වලින් පොහොසත් වීම ප්‍රතික්ෂේප  කිරීමත් යන කාරනා දෙකයි."

දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටීම නිසා  'කොමියුනිස්ට්කාරයකු' ලෙස විවේචනයට ලක්ව,පසුව ඔවුන් වෙනුවෙන් පන පිදීමට සිදු වූ භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමා 



කිතුනුවකු ගේ දානය හෝ දයාවේ ක්‍රියාව, දෙවිඳුනට ප්‍රසන්න වන අව්‍යාජ කිතුනු ක්‍රියාවක් වන්නේ කෙසේ ද යන කාරණය ද පාප්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. එය එතුමා මේ දේශනාවේදී එල්ල කල දැඩිම අභියෝගය ලෙස සඳහන් කල හැකිය."කිතුනුවකු ගේ දයාවේ ක්‍රියාව සාමාන්‍ය පුණ්‍ය ක්‍රියා ඉක්මවා, ඒවායින් ඔබ්බට යන දෙයක්. සාමාන්‍ය පුණ්‍ය ක්‍රියාව යහපත් දෙයක්. එහෙත් එය කිතුනු විශ්වාසකයන්  විසින් වැළඳ ගත යුතු 'දුප්පත්කම' නොවේ. කිතුනු දුප්පත්කම යනු මෙයයි: 'මම මා සතු දෙය  දුප්පතුනට දෙනවා.මා දෙන්නේ මට වැඩිපුර තිබෙන දේ හෝ ඉතිරිවන දේ හෝ නොවේ. මගේ ජීවත් වීමට අවශ්‍ය දේයි" යැයි එතුමා එය පෙන්වා දුන්නේය.

"කිතුනුවන් එසේ කරන්නේ, එබඳු පරිත්‍යාග මගින් තමන් පොහොසත් වන බව දන්නා නිසාය.දුප්පතුන් තමා පොහොසත් කරන බව දන්නා නිසාය. දුප්පත් කෙනෙකු මාව පොහොසත් කරන්නේ කෙසේ ද? මන්ද, තමන් වහන්සේ දුප්පතුන් තුළ සිටින බව ජේසු සමිඳුන් ම වදාළ නිසයි" යැයි දුප්පතුන් වෙනුවෙන් පුජා වීමේ දේව ධාර්මික පදනම විග්‍රහ කරමින් එතුමා සඳහන් කෙළේය.

"කෙනෙකු තමන්ව ලෞකික දෙයින් ඉවත්කරගන්නා තරමට, ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් තුල ක්‍රියාකරන අතර, ඔවුහු  ක්‍රිස්තු සමිඳුන්ගෙන් පොහොසත් වෙති.මා දුප්පතුනට දෙන විට ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් තුළ ක්‍රියා කරමින් මා පොහෝණි කරති. දානය මගින් තමන් පොහොසත් වීම ගැන පෙන්වීමට ජේසු සමිඳුන් අප වෙත තබා ගිය සංකේතය නම්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ ක්‍රිස්තුන් වහන්සේ අපගේ භෝජනය බවට පත් වන සේක."

දුප්පතුන් වෙනුවෙන් සේවය කිරීම,දේව ධර්මයේ කේන්ද්‍රස්ථානය වන්නේ කෙසේදැයි  ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙසේ සාරාංශ කළහ:"දුප්පත්කමේ දෙව්දහම න්‍යායක් නොව සුබ අස්නේ හදවත වන්නේ මේ නිසාය.එය නිශ්චිතවම මෙම අබිරහසයි. ක්‍රිස්තුන් වහන්සේ තමන්වම පහත කරගෙන, බැහැපත් කරගෙන, අවමානයට පමුණුවාගෙන, අප පොහොසත් කිරීම සඳහා තමන් වහන්සේ දුප්පත් වීමයි"



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය