"කිතුනු ජීවිතය = සෙසු අය සමග, සෙසු අය සඳහා , සෙසු අය තුළ ජීවත් වීම"

"Christian life is living with, for and in others": Holy Father explains the meaning of Trinitarian living 

(2015 ජුනි 2)
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පාප්ධුරයේ කේන්ද්‍රීය තේමාව, ශු. ජොහාන් තුමා ලියූ ලිපියේ එන "දෙවියන් වහන්සේ ප්‍රේමය වන සේක," යන්න බව යළි යළිත් අවධාරණය වෙමින් තිබේ. දෙවියන් වහන්සේ ප්‍රේමය බැවින් අපට ප්‍රේම කරන අතර අප ද එකිනෙකාට ප්‍රේම කල යුතුය. එම "ප්‍රේමය" යන වදන, සෙනෙහස, දයා කරුණාව, සමාව දීම හා සියල්ල බෙදා හදා ගැනීම වැනි ක්‍රියා මගින් ජීවත් කල යුතුය යන්න ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ඉගැන්වීමයි.

ඉකුත් මැයි 31 වන දා සැමරුණු ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍ය දිනයේ උන්වහන්සේ මෙම තේමාවේ තවත් පැතිකඩක් පෙන්වා දුන්හ.

"ශුද්ධවූ ත්‍රිත්වයේ හෙළිදරව් වීම තුළ දෙවියන් වහන්සේ අපට පෙන්නුම් කරන්නේ උන්වහන්සේ ගේ පරාර්ථකාමී ප්‍රේමය සහ ඒකත්වයයි. උන්වහන්සේ විසින් අප ද කැඳවනු ලැබ සිටින්නේ, අප ගේ ජන සමාජය තුළ එම ගුණාංග වැඩි වර්ධනය කිරීමටයි" යැයි පාප් වහන්සේ පැවසුහ.

ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය නිමිත්තෙන් ඉරිදා දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී වනදනා කරුවන් අමතමින් පාප් වහන්සේ මේ බව කියා සිටියහ.ලොව නන් දෙසින් පැමිණි වන්දනා කරුවෝ 50,000 ක් පමණ මේ අවස්ථාවට එක්වී සිටියහ.

ත්‍රිත්වීය ජීවිතය පිළිබඳව හෙළිදරව් කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ විසින්ම බව ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ

"ශුද්ධ වූ ත්‍රිත්වය යනු, එකිනෙක තැනැන්වහන්සේ සමග ඒකීය වන, සෙසු තැනැන්වහන්සේ වෙනුවෙන් ඒකීය වන, සෙසු තැනැන්වහන්සේ තුළ ඒකීය වන දිව්‍ය තැනැන්වහන්සේ ගේ සහභාගිත්වයකි. මෙම සහභාගිත්වය දෙවියන් වහන්සේ ගේ ජීවිතයයි. මෙම සහභාගිත්වය, ජීවමාන දෙවියන්වහන්සේ ගේ ප්‍රේමයේ ජීවිතයේ අබිරහසයි," යනුවෙන් පාප් වහන්සේ ශුද්ධවූ ත්‍රිත්වයේ විශ්වාස ධර්මීය ඉගැන්වීම පැහැදිලි කළහ. "ත්‍රිත්වය සේ ම, අපත් කැඳවනු ලැබ සිටින්නේ, සෙසු අයගෙන් තොරව, සෙසු අයට වඩා ඉහලින් හෝ සෙසු අයට එරෙහිව ජීවත් වීමට නොව, සෙසු අය සමග, සෙසු අය තුළ, සෙසු අය වෙනුවෙන් ජීවත් වීමට" යැයි එම ඉගැන්වීම මානව ජීව්තයට සම්බන්ධ වන අයුරු උන්වහන්සේ පැහැදිලි කළහ.

ත්‍රිත්ව මංගල්‍යය යනු අපගේ පැවැත්ම ආරම්භ වූ ස්ථානයත්, අප යලිත් හැරී යන ස්ථානයත් භාවනා කිරීමට උචිතම  දිනය බව පාප් වහන්සේ සඳහන් කළහ. එසේම තවත් වැදගත් කරුණක් වන්නේ, ත්‍රිත්වීය සහභාගීත්ව ජීවිතය අපගේ ද ජීවිත රටාව බවට පත් කර ගැනීම බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

"සෙසු අය සමග සහ සෙසු අය වෙනුවෙන් ජීවත් වීම යනු හුදෙක් සුබ අස්නේ (ක්‍රිස්තුන් වහන්සේ ගේ ) සුන්දර පණිවිඩය පිළිගැනීම හා ඊට සාක්ෂි දැරීම පමණක් නොවේ.සෙසු අය සමග අන්‍යෝන්‍ය ආදරයෙන්  හා සෙනෙහසින් ජීවත් වීමත් මේ මගින් අදහස් කෙරෙනවා. ආදරයෙන් ජීවත් වීම යනු දුක,සතුට ඇතුළු තමන්ට හැකි සෑම දෙයක්ම බෙදා හදා ගැනීම, තමන් කල වරදට සමාව ඉල්ලා සිටීම, තමන්ට වරද කල අයට සමාව දීම, විවිධ අය සතු කුසලතා සහ විවිධ අයගේ සේවා අගය කිරීම" වැනි සෙසු අය වෙනුවෙන්, ඒ අය තුළ ජීවත් වීමේ ක්‍රියා බවද ප්‍රැන්සිස් පාප් වහන්සේ පැහැදිලි කළහ.

"කෙටියෙන් පවසන්නේ නම් දෙවියන් වහන්සේ අපට පවරා ඇත්තේ,ත්‍රිත්වයේ  කාන්තිමත් ප්‍රභාව පිළිබිඹු කරන්නා වූ ද, නිරන්තරයෙන් පවුලක් ලෙස ජීවත් වන්නා  වූ ද ප්‍රේමයේ සාංඝික සභාවක් ගොඩනැගීමේ වගකීමයි. ඒ මගින් වචනයෙන් පමණක් නොව අප තුළ ජීවත් වන දෙවිඳුන් ගේ බලයෙනුත් ධර්මදානයේ නිරත වීමට අපට හැකියාව ලැබෙනු ඇතැ"යි පාප් වහන්සේ පෙන්වා දුන්හ.



"කිතුනු ජීවිතය අත්‍යවශ්‍යයෙන් ම ත්‍රිත්වීය ජීවිතයකි.ශුද්ධාත්මයානන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ඉගැන්වීම ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා  අපට මග පෙන්වති. පියණන් වහන්සේව අපට පෙන්වා දීමට ලොවට පැමිණි ජේසු සමිඳුන්,  උන්වහන්සේ වෙතට යාමට නොකඩවා අපට මග පෙන්වමින්, පියාණන් හා අප සමගිසන්ධානයට පත් කරන"   බව උන්වහන්සේ කියා සිටියහ.

තුන්කාල ආරාධනා යැදුමට පෙර දේව මාතාවන වන මරිය වහන්සේ ගැන මෙනෙහි කල ප්‍රැන්සිස් පාප් වහන්සේ, මරිය තුමිය ශුද්ධ වූ ත්‍රිත්වය විසින් මවන ලදුව උන්වහන්සේ ගේ ප්‍රේමය ලැබුවා පමණක් නොව, එදිනෙදා ලෝකය තුළ දක්නට ලැබෙන සලකුණු තුළින් දෙවිඳුන් ගේ පණිවිඩ අවබෝධ කර ගැනීමට ද අපට මග පෙන්වන බව සඳහන් කළහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය