"සභාව අම්මා කෙනෙක්. ඇය නැන්දම්මා කෙනකු නොකරන්න"- පාප්වහන්සේ පියතුමන්ලාට දුන් පණිවිඩය

Holy Father's message to Priests: "Don't scare off God's people"

මාර්තු මාසයේ සවැනි පාවුළු ශාලාවේ පැවැති පියතුන්මලා ගේ  හමුවකට පාප්වහන්සේ පැමිණි අවස්ථාව


(2015 ජුනි 15)
ඉකුත් සති අන්තයේ ලෝක පුජාප්‍රසාදීවරුන්ගේ ධර්ම විවේකයක් (ඥාණකාන්තියක්) රෝමයේ දී පැවැත්විණි. රෝමයේ රදගුරුතුමන් වන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ද පියතුමන්ලා ගේ ආධ්‍යාත්මික හා එඬේරික මෙහෙවර පෝෂණය කිරීම අරභයා මෙහිදී දේශනයක් පැවැත්වූ හ. සිකුරාදා (ජුනි 13) සාන්ත පීතර බැසිලිකාවේ දී පුජකවරුන් ගේ ධර්ම විවේකයට එක්වූ පාප්වහන්සේ, විශ්වාසකයන් හා සම්බන්ධතාව, කිතුනු සභා අතර සම්බන්ධතා, පුජක අධිපති වාදය, ගිහියන් ගේ සේවාව හා ධර්ම දේශනා පැවැත්වීම යන කරුණු ගැන කතා කළහ. ('ධර්ම විවේකය' -Recollection or Retreat-  යනු කතෝලිකයන් විසින්  සිය ආධ්‍යාත්මික ජීවිතය දෙස එබී බලා, දෙවිඳුන් සමග සිය ජීවිතය නිසිමගට යොමුකරගැනීම සඳහා කලින් කලට සිදු කරනු ලබන  ආධ්‍යාත්මික අභ්‍යාසයකි.)

ජේසු නිකායිකයකු වන ප්‍රැන්සිස් පාප්වහන්සේ, ජේසු නිකායික දේශනාවාදී පියතුමන්ලා ගේ ශෛලිය අනුගමනය කරමින්, ඇතැම් විට සැහැල්ලුවෙන්, මෘදුව හා උපහාසය යොදා ගනිමින් ද, උපමා උපහැරණ ගෙනහැර දක්වමින් හා ගැඹුරින් හා ධ්‍යානශිලිව ද සිය දේශනය පවැත් වූ බව වතිකාන වාර්තා පවසයි.

"ජනතාව සභාවෙන් පලවා නොහරින්න. කරුණාකර, ජනතාව බියකර දෙව්මැදුරෙන් පලවා හැරීමෙන් වළකින්නැ" යි පාප් වහන්සේ ධර්මවිවේකයට ලොව සියලු රටවල් නියෝජනය කරමින් පැමිණි පියවරුන් ගෙන් ඉල්ලා සිටියහ."ජේසු සමිඳු පිළිබඳවත්, උන්වහන්සේ තුළ මුල් බැසගත් විශ්වාසයේ ප්‍රීතිය පිළිබඳවත්  ඔවුනට කතා කරන්න.ප්‍රේමය රූපාන්තරණය කරන (උන්වහන්සේ ගේ) ප්‍රේමය ගැන කතා කරන්න. ඒ මගින් ජේසු සමිඳුන්ට බැඳුනු හදවත් උන්වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරනු ඇත. එම ප්‍රේමය, වෛරයට හා මරණයට වඩා බලවත් ය; ඕනෑම ආකාරයක දරුණු, මනුශ්‍යඝාතක ත්‍රස්තවාදයකට වඩා බලවත්" යැයි උන්වහන්සේ පැවසුහ.

"අප කැඳවනු ලැබ සිටින්නේ ජේසු සමිඳුන් බඳු වීම සඳහාය. උන්වහසේ මෙන්, සීමාවක් කොන්දේසියක් නොමැතිව ප්‍රේම කිරීම සඳහා යැ" යි පියතුමන්ලා අමතමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ. "මා ඔබට ඇත්ත කියන්නට ඕනෑ. අම්මා විවාහ වී නොමැති නිසා හෝ දෙමාපියන් දික්කසාදයකින් පසුව යළි විවාහ වී සිටින අය නිසා හෝ අලුත උපන් ළදරුවකුට ප්‍රසාද ස්නාපනය (බෞතීස්මය) ලබා දීම ප්‍රතික්ෂේප කරන මීසම් සේවක පියවරුන් දුටු විට මට විශාල වේදනාවක් දැනෙනවා. එවැන්නක් කිරීමට පියතුමන්ලාට කිසිදු අයිතියක් නැහැ. කිසිවකුට හෝ ප්‍රසාද ස්නාපනය  (සක්‍රමේන්තුව) ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඔබට නොහැකියි. හොඳින් මතක තබා ගන්න. කිසිවකු බියකර පලවා නොහරින්න" යැයි පාප් වහන්සේ ඉල්ලා සිටියහ. "ජේසු සමිඳුන්ගෙන් තොරව හෝ දයා කරුණාවෙන් තොරව සභාවට පැවතිය නොහැකියි. එවැන්නක් සිදුවූ විට, එනම් පියතුමකු නිලධාරියකු ලෙස නීතියට පමණක් කීකරු වෙමින් ඒ මත තදින් එල්ලී සිටින විට, අම්මා කෙනකු වන සභාව බොහෝ කිතුනුවනට නැන්දම්මා කෙනකු බවට පත්වනු ඇත. සභාව මවක බව සෑම විටම සෑම විශ්වාසිකයකුටම දැනෙන්නට ඉඩ හරින්නැ" යි ද ප්‍රැන්සිස් පාප්වහන්සේ පියතුමන්ලාට උපදෙස් දුන්හ. "පුද්ගලයන් පරිවර්තනය කරන එසේම බෝවන ප්‍රේමයකින් ක්‍රියාකරමින්,සභාව සෙනෙහෙබර මවක් බව පෙන්වන්න. නීතියට, දැඩිව නවයේ සිට පහට, අකුරට වැඩකරන නිලධාරියකු නොවන්නැ" යි එතුමා පැවසීය.

ධර්ම දේශනා පැවැත්වීම ගැන ද ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පියතුමන්ලාට අනුශාසනා කළහ."අනේ දේව ජනතාවට අනුකම්පා කරන්න! ඔවුනට සම්මන්ත්‍රණ වැනි දීර්ඝ දේශනාවලට සවන් දෙමින් බොහෝ වෙලාවක් සිටිය නොහැකියි" පාප්වහන්සේ පැවසුහ. "ඔබගේ හදවතින් ඔවුන්ගේ හදවතට කතා කරන්න" උන්වහන්සේ සඳහන් කළහ.

පුජකවරුනට දැනෙන වෙහෙස ගැන ද පාප්වහන්සේ අනුශාසනා කළහ. දවස පුරා දැනෙන වෙහෙස මුදා හැරීමට ටෙලිවිෂන් තිරය ඉදිරිපිට වාඩි නොවන්නැයි එතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. "වෙහෙස නිවා ගැනීම සඳහා දිව්‍ය සත්ප්‍රසාද මංජුසාව තුළ වැඩවසන ඔබේ මිතුරා, ජේසු , මුණගැසෙන්න. නිදා වැටෙන්නේ නම්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ නිදා ගැනීමට වුව නොපැකිලෙන්න. පියෙකු  තමා ඉදිරියේ  නිදන පුතකු දෙස ප්‍රේමයෙන් බලා සිටින්නා සේ පියාණන් වහන්සේට ඔබ දෙස බලා සිටින්නට ඉඩ  හරින්න"

කිතුනු සභා අතර සංවාදය ගැන ද පාප්වහන්සේ සිහිපත් කළහ. මීට කලින් කිහිප වතාවක් පවසා ඇති ලෙස උන්වහස්නේ කියා සිටියේ, කිතුනුවන් අතර ඇති බෙදීම් අපචාරයක් බවයි. "පුජක අධිපති වාදය" (Clericalism) හෙවත් පියතුමන්ලා නිතරම නියෝග දෙන්නන් ලෙස ක්‍රියා කිරීමේ තත්වය ගැන ද උන්වහන්සේ යලි සිහිපත් කළහ." පුජක අධිපති වාදය අනතුරුදායක දුර්පරීක්ෂාවක්. පුජකවරුන් නිතර කැමතියි තමන් ගේ අධිපතිබව රැක ගන්න. තවත් පැත්තකින් ගිහියන් කැමතියි නිතරම පුජකවරුන් ගේ නියෝග මතම යැපෙන්න, මන්ද එය පහසු නිසා" යයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

"අපේ  ධර්මදානයේ  ප්‍රමුඛ හේතුව ජේසු සමිඳුන් ගේ ප්‍රේමයයි" පුජාප්‍රසාදී වරුන්ගේ ආධ්‍යාත්මිකත්වය වෙත යොමු වෙමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ. "උන්වහන්සේගෙන් ලබන සෙනෙහස හා ආදරයත් උන්වහන්සේ මගින් ගැලවීම ලැබීමේ අත්දැකීමත් මේ ධර්මදානයේ හේතුවයි."  එසකියෙල් දිවස්ප්‍රසාදී වරයාගේ පොතේ 16 වන පරිච්ඡේදය කියවන ලෙස පියතුමන්ලා දිරිමත් කල පාප්වහන්සේ මෙසේ  ද පැවසූහ:
"දෙවියන් වහන්සේට විරුද්ධව පව් කල ඊශ්රායෙල් ජනතාව ගැන කියවෙන මේ කතාවේ වැදගත් ම  කොටස එළඹෙන්නේ එහි අවසානයේ යි. එය අප සෑම කෙනකු ගේම ජීවිත අත්දැකීමේ සත්‍යයයි.දෙවිඳුන් ඉදිරියේ අප කෙතරම් පුංචි  දැයි අපට පෙනුණු විට, අප තුළ ශුද්ධ වූ ලැජ්ජාවක් ඇතිවෙයි. එහෙත් ජේසු සමිඳුන් අප පිළිගන්නේ සේවකයකු ලෙස නොවේ; උන්වහන්සේ ගේ ජනතාවට සේවය කරන මිතුරකු ලෙසය.ධර්මදානය සඳහාත් ජේසු සමිඳුන්ගේ පණිවිඩය ප්‍රකාශ කිරීම සඳහාත් අප තුළ ජවයක් ඇති කරන්නේ මේ ප්‍රේමය ය."

පාප් වහන්සේ සිය “Evangelii Gaudium” අපෝස්තලික ලේඛනයේ පිටපතක්  (එකිනෙක පියතුමන්ලාට අයත් භාෂාවලින්) ද දයාවේ වර්ෂය ප්‍රකාශයට පත් කිරීමේ ලිපියේ පිටපතක් බැගින් ද සෑම පියතුමකු අතටම දුන්හ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය