"ලොව පුරා කුසගිනි නිවීම න්‍යාය පත්‍රයේ අංක එක විය යුතුයි" : ආහාර සංවිධානයේ නියෝජිතයනට කියයි.

Ensure Food for All; Minimize waste; Change life styles : Holy Father tells FAO representatives 


(2015 ජුනි 11)
"ලෝකයේ - විශේෂයෙන් දකුණු දිග ලෝකයේ- කුසගින්න නිවීම ලෝක ආහාර සංවිධානයේ තේමාව විය යුතුයි"
"සැමට ආහාර " යන්න ලොව පුරා සියලු රටවල නායකයන් ගේ න්‍යාය පත්‍රයට ඇතුළු විය යුතුයි"
මානව ශ්‍රමයෙන් මිහිතලයේ වගාකර නෙලා ගන්නා ආහාර, කුසගිනි නිවීමට හැර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම වැරදියි. සියලු ආකාරයේ ආහාර අපතේ යැවීම නැවැත්විය යුතුයි."

ජුනි 11 වැනි දා බ්‍රහස්පතින්දා රෝමයේ පැවැති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන නියෝජිතයන් ගේ සමුළුව අමතමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කල දේශනයේ සාරාංශයයි ඒ.

සමස්තයක් ලෙස ගත්  කල, මෙම දේශනය, පාප් වහන්සේ විසින් මේ මස 18 වැනිදා නිකුත් කිරීමට නියමිත "වේ ප්‍රශංසා" නමැති පරිසර විශ්ව ලේඛනයට පෙර වදනක් ලෙස දැකිය හැකි යැයි වතිකාන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති.

"ආහාර නාස්තිය පිලිබඳ සංඛ්‍යා ලේඛන සංවේගජනක යැයි පාප්වහන්සේ සමුළු නියෝජිතයනට පැවසුහ. "ආහාර වලින් තුනෙන් එකක් අපතේ හරිනු ලබයි."කෘෂිකාර්මික නිෂ්පාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් කටයුතු සඳහා යොදා ගනු ලබන බව ඇසීම සිත් කලබල කරන සුළුය. ඇතැම් විට මෙආ යොදා ගන්නා  අරමුණ  යහපත් විය හැකිය. එහෙත් එමගින් කෘෂිකාර්මික  අස්වනු වල මුලිකම අරමුණ වන කුසගින්න නිවීම සිදුවන්නේ නැත"

පාප් වහන්සේ මේ ප්‍රකාශය කලේ  ජෛවී ඉන්ධන හා සත්ත්ව ආහාර වැනි වෙනත් කටයුතු සඳහා කෘෂිකාර්මික නිපැයුම් යොදා ගැනීම ගැන කතා කරමිනි."මේ මගින් ආහාර හිඟයක් ඇතිවී ලෝකයේ කුසගින්න අයහපත්  අතට හැරීමට ඉඩ තිබේ. පරිසරය දුෂණය නොකරන ඉන්ධන යොදා ගැනීම යහපත් අරමුණකි. එහෙත් එය කල යුත්තේ කුසගින්න දරුණු වීමේ වියදමින් නොවේ" යයි එතුමා අවධාරණය කලේ ය.

නාස්තිය අවම කිරීම 

ලොවපුරා (ආහාර) නාස්තිය හා අපතේ දැමීම අවම කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව ප්‍රැන්සිස් පාප්වහන්සේ ලෝක නියෝජිතයනට පෙන්වා දුන්හ. මෙහිලා සියල්ලන් විසින් පරිභෝජනය කෙරෙන සම්පත් ප්‍රමාණය අඩුකරමින්, ජීවිත රටාවේ වෙනසක් ඇති කර ගැනීමේ කාලය උදා වී ඇතැයි එතුමා පැවැසීය."අපි අපගේ ජීවිත රටාව වෙනස් කරගැනීම සඳහා තීරණාත්මක කැපවීමක් සිදුකරමු. ඇතැම් විට එවිට අපට අවශ්‍ය වනු ඇත්තේ අඩු සම්පත් ප්‍රමාණයකි. සරලබව හා සන්සුන් බව සංවර්ධනයට ප්‍රතිවිරුද්ධ දෙයක් නොවේ. ඇත්තෙන්ම එය සංවර්ධනයට අවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ"

මුදල් වෙළෙඳපොල හා කුසගින්න 

මුදල් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වයද කුසගින්නට බලපාන බව ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ. විශේෂයෙන්ම සහල්, තිරිඟු, ඉරිඟු සහ සොයා බෝංචි වැනි ආහාර පිලිබඳ වූ වෙළෙඳපොල අනුමානයන්, ඒවායේ මිල කෙරෙහි බලපායි."එබැවින් අප වෙනත් මගක් ගත යුතුය. භූමියෙන් ලබා ගන්නා නිෂ්පාදන වලට 'ශුද්ධවූ' වටිනාකමක් ඇති බව අපි අපට ඒත්තු ගැන්විය යුතු වෙමු. මන්ද ඒවා එක එක තැනැත්තන් ගේත්, පවුල්වලත්, ගොවීන්ගේත් ගොවි ජන කණ්ඩායම් වලත් දෛනික ශ්‍රමයේ ඵල නිසාය." ඔවුන්ගේ දෛනික වැඩ පවා කාලගුණය හා අස්වනු අහිමිවීම වැනි සාධක නිසා අද වනවිට අවිනිශ්චිත තත්වයට පත්ව ඇති බව පාප්වහන්සේ සිහිපත් කළහ.

ආහාර හා දේශපාලනය 

"කුසගින්න" (බටහිර ලෝකයේ) දේශපාලනයේ දී ජනප්‍රිය මාතෘකාවක් නොවන බව ශුද්ධෝත්තම පියතුමා පෙන්වා දුන්නේය. ඊට හේතුව එය ඡන්ද දිනා ගත හැකි මාතෘකාවක් නොවීමයි. එබැවින් ලෝකයේ  කුසගින්න නිවීම සඳහා සම්පත් හා මුදල් ආයෝජනය කිරීමේ උදාසීන කමක් පවතින බව එතුමා පැවසීය.

"දකුණු දිග (සංවර්ධනය වන) ලෝකයේ ගැටලුව වී තිබෙන්නේ දිනකට එක වේලක්වත් කුස පුරවා ගන්නේ කෙසේද යන්නයි. ඒ අතර උතුරුදිග (සංවර්ධිත) ලෝකයේ ජනතාව සිතන්නේ ආහාර වේල වඩාත් 'පෝෂිත' කරගන්නේ කෙසේද යන්න හා තමන් ගන්නා ආහාර අනුව අවශ්‍ය කරන ශාරීරික ව්‍යායාම කවරේ ද යන්න ගැනයි."

එහෙත් සිදුවිය යුත්තේ සියල්ලන්ට ආහාර ලැබීම සහතික කිරීම සඳහා සියලු බලවේග ඒක රාශි වී කටයුතු කිරීම බව ප්‍රැන්සිස් පාප්වහන්සේ අවධාරණය කළහ. " ඒ මගින් ආහාර සංරක්ෂණය යනු උතුරට ආහාර වල තෙල් හා මේද අඩු කිරීම හා ව්‍යායාම වැඩිකිරීමත් දකුණට අවම වශයෙන් එක ආහාර වේලක් වත් ගැනීමත් යන්න අපේ පොතෙන් ඉවත් වනු ඇතැ" යි උන්වහන්සේ සඳහන් කළහ.

 ඉකුත් 6 වැනිදා ආරම්භ වූ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 39 වන මහ සමුළුව 13 වැනිදායින් අවසන් වේ


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය