ජනාධිපති පූටින් හා පාප්වහන්සේ අතර හමුවක් - යුක්රේන අර්බුදය කෙරෙහි දැඩි අවධානය

Ukraine Crisis: The focal point in Putin-Pope Francis meeting 



(2015 ජුනි 10)
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා වතිකානයේ දී ඊයේ (10 බදාදා ) ශුධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසුණේය. මෙය ඔහු ශුද්ධෝත්තම පියතුමන් මුණගැසුණු දෙවන අවස්ථාවයි.

සාකච්ඡා වලින් පසුව වතිකානය විසින් නායකයන් දෙදෙනා අතර හමුව සම්බන්ධයෙන්  අසාමාන්‍ය ලෙස දීර්ඝ නිවේදනයක් නිකුත් කර තිබුනේ ය.

එහි සඳහන් වූයේ පාප් වහන්සේ හා රුසියානු නායකයා අතර සාකච්ඡා "ප්‍රතිපත්තිමය වශයෙන් යුක්රේනයේ පවත්නා ගැටුම්කාරී තත්වය හා මද පෙරදිග තත්වය කෙරෙහි පමණක් යොමු වී තිබූ"  බවයි. යුක්රේන අර්බුදයට විසඳුම් ලබා ගෙන "සාමය ඇති කිරීම සඳහා අවංක හා බලවත් උත්සාහයක යෙදෙන ලෙස "  පාප් වහන්සේ පූටින් මහතාට අවධාරණය කල බව එම නිවේදනය කියයි. එමෙන්ම, මේ වසර මුලදී ජර්මනියේ මින්ස්ක් නුවරදී ගිවිස ගෙන අත්සන් තැබුණු සාම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශව කැපවීමෙන් ක්‍රියා කල යුතු බවද පාප්වහන්සේ අවධාරණය කර තිබේ. මෙහිලා සියල්ලන්ට සංවාදයේ යෙදිය හැකි වාතාවරණයක් ගොඩනැගීමේ වැදගත්කම ද එතුමා පෙන්වා දුන් බව වතිකාන නිවේදනය සඳහන් කරයි.

ජනාධිපති පූටින් මහතා 1993 දී ප්‍රථම වරට  පාප් වහන්සේ හමුවී සාකච්ඡා කරන අවස්ථාව වනවිට, රුසියාව විසින් යුක්රේනයට අයත් ක්‍රීමියාව ආක්‍රමණය කර තිබුනේ නැත. එහෙත් මේ වන විට රුසියාව විසින් ක්‍රිමියාව ආක්‍රමණය කිරීමෙන් නොනැවතී  එම පළාත තම රටට  ඈඳා ගෙන තිබේ. ක්‍රිමියා බෙදුම්වාදීන්ට රුසියාව විසින් ආයුධ හා වෙනත් යුද ආධාර ලබා දෙන බවට ද චෝදනා එල්ල වී ඇත. යුද ගැටුම් නිසා නැගෙනහිර යුරෝපයේ 6000ක පමණ පිරිසක් මියගොස්  තවත් විශාල සංඛ්‍යාවක් අවතැන් වී තිබේ. මේ නිසා යුක්රේනයේ ඔතොඩොක්ස් ක්‍රිස්තියානි සභාවේ රදගුරු හිමිවරුන් ගෙන් ද රුසියාවට විරෝධය එල්ල වී තිබිණ. එබැවින් මෙවර ජනාධිපති පූටින් මහතා ප්‍රැන්සිස් පාප්වහන්සේ මුණගැසුනේ නව තත්වයන් යටතේය.

අර්බුදයෙන් පීඩාවට ලක්වී ඇති ජනතාවට මානුෂික ආධාර ලබා දීම සඳහා, ඔවුන් සිටින ප්‍රදේශ වලට ලඟා වීමට, මානුෂික ආධාර නියෝජිතයනට අවකාශ ලබා දීමේ වැදගත්කම ද පාප් වහන්සේ ජනාධිපති පූටින් මහතාට අවධාරණය කර තිබේ. දෙපාර්ශවය අතර නොසන්සුන්තාවන් ලිහිල් කිරීමේ අඛණ්ඩ හා ප්‍රගතිගාමී ක්‍රියා මාර්ගයකට සියලු පාර්ශව පිවිසීමේ අවශතාවද උන්වහන්සේ පෙන්වා දී ඇත.

රුසියානු ජනාධිපතිවරයා පාප්වහන්සේ හමුවීමට පැමිණියේ පැයකටත් වැඩි වෙලාවක් ප්‍රමාද වී ය. පුටින් මහතා පස්වරු 5 ට පාප් වහන්සේ මුණගැසීමට පැමිණීමට නියමිතව තිබුනත්, ඔහු එහි පැමිණෙන විට වේලාව පස්වරු 6.10 වී තිබිණ.

පාප් වහන්සේ ජර්මන් බසින් "Welcome" යයි පවසමින් ඔහු පිළිගත්තේය. ඊට වචනයෙන් නොව හිස සැලීමෙන් පිළිතුරු දුන් පූටින් මහතා පාප් වහන්සේට අතට අත දුන්නේය. දෙදෙනා අතර හමුව විනාඩි 50ක් පමණ පැවැතින.

සාකච්ඡාවෙන් පසුව ඔවුහු තිළිණ හුවමාරු කර ගත්හ. ජනාධිපති පුටින් මහතා පාප්වහන්සේට තිළිණ කලේ රන් නූලෙන් එම්බ්‍රොයිඩරි කරන ලද රුසියාවේ ක්‍රිස්තු ගැලවුම්කරුවාණන් ගේ ආසන දෙව් මැඳුරේ ආකෘතියකි. සෝවියට් සමයේ විනාශ කරන ලද මෙම දෙව්මැඳුර 1990 ගණන් වල යලි ඉදිකෙරුණු බව ඔහු පැවසුවේ ය.

ප්‍රැන්සිස් පාප්වහන්සේ ඉතාලි ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද "සාමයේ දේව දුතයාගේ" පදක්කමක් රුසියානු ජනාධිපතිවරයාට තෑගී කළහ.

"මේ සියලු යුද්ධ ජයගන්නා සාමයේ දේව දුතයායි. එම දේව දුතයා සියලු ජනතාව අතර සාමයත් සහයෝගයත් පිළිබඳව කතා කරනවා' යැයි එය ඔහුට දෙමින් උන්වහන්සේ පැවසුහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය