" 'ඇයි?' කියා දෙවිඳුන් ගෙන් අහන්න" - පාප් වහන්සේ රෝගී හා ආබාධිත ළමා කැළට කියති

"Don't be afraid to ask God 'Why'"- Pope tells suffering children 



(2015 ජුනි 1)
"ඇයි ළමයින් රෝග වලින් දුක් විඳින්නේ?"
"ඇයි දහස් සංඛ්‍යාත ජනතාවකට මරු කැඳවමින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක ගේ ජීවිත අවුල් කරමින් භුමිකම්පා, සුනාමි වැනි විපත් සිදුවන්නේ?"
"ඇයි ඒවායින් බොහෝ විට අහිංසකයන් විපතට පත්වන්නේ?"

මානව ඉතිහාසය පුරා යළි යළිත් දෝංකාර දෙමින් ඇසෙන "ඇයි " ප්‍රශ්නයි ඒ.

දරුණු රෝග හා ආබාධ වලින් දුක් විඳින ළමා කණ්ඩායමක් හා ඔවුන් ගේ දෙමාපියන්  ඉදිරියේ, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සති අන්තයේ මේ ප්‍රශ්නය යලි සිහිපත් කළහ.

"ඇයි ළමයින් දුක් විඳින්නේ?" යැයි උන්වහන්සේ විමසුහ. "කුරුසිය ඉදිරියේ දණින් වැටී යාච්ඥා කරන ඇතැම් අවස්ථාවල,කුරුසිය දෙස බලාගෙන, දෙවි පියාණන්ගෙන්  මේ ප්‍රශ්නය අහන්නට පුළුවන්: 'ඔබවහන්සේගේ පුතනුවන් මෙසේ දුක් විඳින්නේ ඇයි'?" මොහොතක් නිහඬව සිටි එතුමා මෙසේ කීවේය: "කුරුසියේ අභිරහස මෙයයි."

" 'ඇයි?' යන ප්‍රශ්නය දෙවිපියාණන් ගෙන් අසන්නටත්, එම ප්‍රශ්නයෙන් දෙවිපියාණන්ට අභියෝග කිරීමටත් බිය වන්නට එපා," යයි එතුමා දරුවනට පැවසීය. "උන්වහන්සේ දෙන පිළිතුර 'මගේ පුතාත් දුක් වින්දා' යන්න වුවත්, එම ප්‍රශ්නය අසන්නට බිය වන්නට එපා."
"එහෙත් පිළිතුර මෙයයි: ඔබගේ ශක්තිය, එනම් දෙවියන් වහන්සේ ගේ දයාබර බැල්ම, ඔබ සමගයි" යැයි පාප් වහන්සේ විස්තර කළහ.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙලෙස උපදෙස් දුන්නේ, මැයි  29 වන සිකුරාදා, සිය නිවස වන සාන්තා මාර්තා නිවහනේ පුංචි දෙව්මැඳුරේ දී  දරුණු රෝග හා ආබාධ සහිත මෙම ළමා කණ්ඩායම හමු වූ අවස්ථාවේ දීය. ඔවුන් කැටුව ඔවුන් ගේ දෙමාපියන් හා "යුනිටාල්සි ලසියෝ" ස්වේච්ඡා සංවිධානයේ සේවක පිරිසක්  ද පැමිණ සිටියහ. ආබාධ සහිත දරුවන් විවිධ වන්දනා ස්ථාන වලට රැගෙන යාමට මෙම ස්වේච්ඡා සංවිධානය ප්‍රවාහන පහසුකම් සපයයි.

මෙම ළමයින් ගෙන් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු හතත් 14 ත් අතර අය වූ නමුදු  ළදරුවෝ කීපදෙනෙක් ද ඒ අතර වූ හ.

දුක් වේදනා පිළිබඳ අබිරහසට ඇතුළු විය හැක්කේ, දේව ධර්මය ඉගෙන ගැනීමට වඩා, පියාණන් වහන්සේ සමග ප්‍රේමයෙන් ඒකාබද්ධ වීමන් යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ.

"ගැඹුරින් දේව ධර්ම වේදය හදාරා ඇති පාප් වහන්ස්ටත් මෙම ප්‍රශ්නයට පිළිතුරක් නොමැත්තේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන්.නැහැ. ශුද්ධවූ ත්‍රිත්වය, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ, දේව වරප්‍රසාදය වගේම ළමයින් ගේ දුක් විඳීමත් අබිරහසක්. යම් කෙනකුට එම අබිරහසට ඇතුළු විය හැක්කේ දෙවියන් වහන්සේ අප වෙත ප්‍රේමයෙන් බලන්නේ නම් පමණක්" යැයි  ද පාප් වහන්සේ සඳහන් කළහ.

සිය දරුවන් ගේ මෙම ගමනේ දී ඔවුන් සමග අත්වැල් බැඳගෙන යන දෙමාපියන්ගේ ප්‍රේමය  පාප් වහන්සේ මහත් සේ අගය කළහ. මෙම  "කුරුසිය" ඔවුන් ධෛර්යයෙන් රැගෙන යන ආකාරය  ආදර්ශවත් බව උන්වහන්සේ සඳහන් කළහ. මෙම දරුවන් කුස තුළ සිටිය දී ඔවුන් ගබ්සා කරන ලෙස ඇතැමෙකු උපදෙස් දුන්න ද තමන් එය ප්‍රතික්ෂේප කල බව මව්වරු කිහිප දෙනෙක් එහිදී පැවසුහ.

"පුද්ගලයකු මරා දැමීම කවදාවත්, කවදාවත් ප්‍රශ්නයකට විසඳුමක් නොවෙයි, " යැයි ඔවුනට ප්‍රශංසා කරමින් පාප් වහන්සේ අවධාරණය කළහ. එවැනි විසඳුම් සමාන වන්නේ මාෆියා කල්ලිවල විසඳුම් වලට බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
(CNA)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය