සියල්ල අහිමිව නොරටක අවතැන් වූ ඉරාක කිතුනුවන් ගේ නොසැලෙන විශ්වාසය: ඉරාක පැවිදි සොයුරියක් විස්තර කරයි

“Forget not Christians of Iraq” Pope reminds the anguish of Iraqi Christians

ඉරාක කිතුනුවන් එදා
(2015 මැයි 17)
"සරනාගතව සිටින ඉරාක කිතුනුවන්  අමතක නොකරන්න. ඔවුන් ආරක්ෂා කිරීමටත් ඔවුනට උදව් කිරීමටත් පියවර ගන්න"
මේ, පාප් වහන්සේ ඉකුත් දා වතිකානයේ දී ජාත්‍යන්තර කරිටාස් ව්‍යාපාරයේ නියෝජිතයනට දුන් පණිවිඩයයි.

ඈත...ඈත... ඈත... අතීතයේ සිට ඉරාකය සිය මව්බිම කරගත්, එරට සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් වූ ඉරාකයේ කිතුවන්ට අද අත් වී තිබෙන ඉරණම ඔබ දන්නවා ද? මුලින්ම තම මව් බිම තුළ සරණාගතයන් වූ ඔවුහු, මේ වන විට එම භූමියෙන් පලවා හරිනු ලැබ, තම ගේ දොර, ඇඳුම් පැළඳුම්, හරක බාන, ගොවිතැන් බත් සියල්ල අහිමිව, වෙනත් රටක් තුළ සරණාගතයන් බවට පත්ව සිටිති. එසේ තනි වූ ඔවුන් ලෝක බලවතුන් විසින් ද අමතක කර දමා තිබේ.ඔවුනට මේ ඉරණම අත් වූයේ අයිසිස් (ISIS) හෙවත් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදී ත්‍රස්තවාදීන් ඉරාකයේ කිතුනු ගම් බිම් අල්ලාගෙන ඔවුන් පලවා හැරීමෙන් පසුවය. ඔවුනට සියල්ල අහිමි වුවද ඔවුන් සතුව,  ජීවිතය විනාශ කර හෝ ඔවුන්ගෙන් පැහැරගත නොහැකි එක වස්තුවක් ඉතිරිව තිබේ  එනම් ඔවුන් ගේ විශ්වාසයයි.

ඉරාක ජාතික දොමිනිකාන නිකායික ඩයනා මොමෙකා පැවිදි සොයුරි යඑය  පවසන්නේ මෙසේය: "අපට සියල්ල නැති වුනා. එහෙත් වටිනාම වස්තුව - එනම් විශ්වාසය - අප සතුව තිබෙනවා. ඇත්තෙන් ම අපට පහර වදින තරමට, අපේ විශ්වාසය වර්ධනය වෙනවා...."
ඩයනා සොයුරිය මේ බව කියා සිටියේ ඇමෙරිකානු කොන්ග්‍රෙස් මණ්ඩලයේ විදේශ කටයුතු පිලිබඳ කාරක සභාව අමතමිනි.

ඩයනා සොයුරියට සවන් දෙන්න. ඉරාක ජනතාව අත්විඳින දුක වේදනාව අවබෝධ කරගන්න. ප්‍රධාන වශයෙන් යාච්ඥාවෙනුත්, කල හැකි වෙනත් ක්‍රම වලිනුත් ඔවුනට උදව් කරන්න.

අයිසිස් ත්‍රස්තවාදීන් විසින් එලවා දමනු ලැබීමෙන් පසු අවතැන් වුවන් ජීවත් වූයේ බොහෝ දුක්ඛිත තත්ත්ව යටතේ බව ඈ පැවසුවාය. පවුල් ජීවත් වුනේ භාණ්ඩ ප්‍රවාහනය කරන බහලුම් (කන්ටේනර) තුළය. දෙමාපියනට රකියාවලුත් දූ දරුවනට අධ්‍යාපනයත් අහිමි වී තිබිණි. එහෙත් මේ විපත්ති හමුවේ ජනතාවගේ  ජීවගුණය විනාශ වූයේ නැත. ඇත්තෙන්ම සිදු වූයේ එය තව තවත් ශක්තිමත් වීම යැයි ඩයනා සොයුරිය කීවාය.
ඉරාක කිතුනුවන් අද


"අපව අවතැන් කරනු ලැබුවා. එහෙත් දෙවියන් වහන්සේ ගේ හස්තය තවමත් අප සමගයි කියා අපට දැනෙනවා.මේ අන්ධකාරය මැද, මේ දුක් වේදනා මැද, දෙවියන් වහන්සේ තවමත් අප ඔසවා ගෙන සිටින බව අපට දැනෙනවා.මෙවැනි දුෂ්කරතා මැද දෙවිඳුන්ගේ වැඩසිටීම දැනීම ශුද්ධාත්මයානන්ගේ තිළිනයක් කියලයි අපට හිතෙන්නෙ."

ඩයනා සොයුරිය උතුරු දිග ඉරාකයේ මොසුල් නුවර සේවය කරමින් සිටි  දොමිනිකාන නිකායික කන්‍යාරාමයට  2009 දී ත්‍රස්තවාදීහු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එතනින් අවතැන් වී සිටියදී නිකායේ ප්‍රධාන මව්තුමිය එරට ආණ්ඩුවේ උදව් ඉල්ලා සිටියා ය. එය නොලැබුණු විට ඔවුහු කරාකොෂ් ප්‍රදේශයට පැමිණියහ.

පසුගිය වසරේ දී (2014) අයිසිස් හෙවත් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට ඔවුන් මැදි වූයේ  එහි ජීවත්වෙමින් සිටියදී ය. අයිසිස් අන්තවාදීන් සිරියාවේ සහ ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් සිය පාලනයට නතු කර ගනිමින්, ඔවුන් ගේ දැඩි නීති රීති එම ප්‍රදේශය පුරා ව්‍යාප්ත කරන විට, ඩයනා සොයුරිය ඇතුළු කිතුනුවනට කිසියම් තීරණයක් ගැනීමට සිදුවිය. එම ප්‍රදේශවල තව දුරටත් ජීවත් වන්නේ නම් එක්කෝ අයිසිස් අන්තවාදීන් ගේ දහම වැළඳ ගත යුතු විය. නැතහොත් ප්‍රදේශයෙන් පලා යා යුතු විය. මේ අතර අයිසිස් ත්‍රස්තවාදීහු කිතුනු දේවස්ථාන සහ කිතුනුවන්ගේ දේපොළ විනාශ කළහ. අවසානයේ දී නිනිවේ තැන්නේ ජීවත් වූ කිතුනුවෝ සිය ගම බිම් අත හැර පලා ආහ. මේ වන විට මොසුල් ප්‍රදේශයේ කිතුනුවන්  කිසිවෙක් නැතැයි ඩයනා සොයුරිය කියයි. කිතුනුවන් සිය දෙනෙක් පමණ අයිසිස් ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටිති. 

මෙවර ඔවුන් පැමිණියේ ඉරාක කුර්දිස්තානයට ය.

අතීත කතාව 

ඉරාක ක්‍රිස්තියානි ජනතාව ක්‍රිස්තුන් වහන්සේ ගේ අපෝස්තුලු වරුන් ගේ සමයේ සිට අඛණ්ඩව පැවැත එන, දැනට ලෝකයේ ජීවත් වන පැරණිම කිතුනු ජන කොට්ඨාශවලින් එකක් බව ඉතිහාසඥයෝ පවසති. ඒ අතරින් අති බහුතරයක් ඇරමයික් බස කතා කරන අසීරියානු ජාතිකයෝ ය. ආර්මේනියානු සුලුතරක් ද ඒ අතර  වෙති. බැග්ඩෑඩ්, බස්රා,මොසුල්, අර්බිල් සහ කිර්කුක් ප්‍රදේශවල ද,උතුරේ නිනිවේ තැන්නේ ද ඔවුහු ජීවත් වූහ.

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ දී මෙම ජනතාව වෙත කිතු දහම ගෙන එන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ම ශ්‍රාවකයන් වූ ශු. තෝමස් අපෝස්තුලු තුමන් සහ ශු.ජූඩ් තද්දෙයුස් අපෝස්තුලු තුමන් විසිනි. 

මේ ඓතිහාසික බැඳීම නිසා සිය සාම්ප්‍රදායික ගම් බිම් හැර යාමට මෙම කිතුනුවන් කැමති නැත. ඔවුන් ගේ අපේක්ෂාව වී ඇත්තේ කෙදිනෙක හෝ යලි තමන් ජීවත් වූ ගම ප්‍රදේශ වලට යාමයි.  

යලිත් වර්තමාන කතාවට 

" මා අයිසිස් සංවිධානයේ කුරිරු හැසිරීමට ගොදුරු වූ එක කුඩා පුද්ගලයකු පමණයි" ඩයනා මොමෙකෝ පැවිදි සොයුරිය සිය ලිඛිත ප්‍රකාශය ඇමෙරිකානු කොන්ග්‍රෙස් කමිටුවට ඉදිරිපත් කරමින් කියා සිටියා ය.

ඩයනා සොයුරු තුමිය කොන්ග්‍රෙස් කමිටුව අමතමින්


"මෙහි පැමිණීම මට බොහෝ දුෂ්කර කටයුත්තක් වී තිබුනා. පැවිදිවරියක ලෙස, බොහෝ දෙනෙකු ගේ අවධානයට ලක් වීමත් මාධ්‍ය වල අවධානයට ලක් වීමත් මට කිසි සේත් හුරු දේවල් නොවේ. එහෙත් මේ තොරතුරු ප්‍රකාශ කිරීම මගින්, මා ඔබගෙන් අයැද සිටින්නේ, පොදු මානුෂිකත්වයේ නාමයෙන් අපගේ ජනතාවට උපකාර කරන ලෙසයි" යැයි ඈ ආයාචනා කලාය.

 "ඔව්හු අප ගේ සංස්කෘතික උරුමයන් වූ සියවස් ගණන් ඉපැරණි තාපසාරාම,දෙව්මැදුරු, සිද්ධස්ථාන හා වෙනත් පුජනීය ස්ථාන විනාශ කළහ.මෙලෙස සංස්කෘතික උරුමයන් විනාශ කිරීමේ අදහස 'නුඹලාට ඉතිහායක් නැහැ; නුඹලා තවදුරටත් ජනතාවක් නොවේ' යන්නයි.අපට සියල්ල නැතිවී ගොස් තිබේ. අද කුර්දිස්ථානයේ ජීවත් වන කිතුනු අප සෑම කෙනෙකු ගේ ම මානව ගෞරවය අපට අහිමිව ගොස් තිබේ.කෙනෙකුට තම ගෙදර අහිමි වූ විට ඔහුට සියල්ල අහිමි වෙයි. ඔවුනට සිය උරුමය, සංස්කෘතිය, අනන්‍යතාව යන සියල්ල අහිමි වෙයි" ඩයනා සොයුරිය හැඟුම් බරව කීවාය.

ඉරාක කිතුනුවන්ට කුර්දි දේශ සීමාවෙන් ඇතුළුවීමට අවසර දීම ගැන ඔවුන් කුර්දිස්ථාන ආණ්ඩුවට ස්තුතිවන්ත වන බව පැවිදි සොයුරිය කීවා ය. ඔවුනට ආධාර උපකාර කුර්දි රජයෙන් නොලැබේ. එහෙත් කුර්දි කිතුනුවන්ගෙන් ඉරාක කිතුනුවන්ට විවිධ ආධාර උපකාර ලැබේ. කෑම බීම, ඉඳුම් හිටුම් ආදියට එම ආධාර උපකාර සීමා වී ඇත. ඊට හේතුව  ඊට වැඩි දෙයක්  කිරීමට ඔවුන් අපොහොසත් වීමයි.

 "කිතුවන් ඉරාකයෙන් ඉවත් වී වෙනත් රටකට නොයන්නේ ඇයි ? එහෙම ගියා නම් ප්‍රශ්නය ඉවරයි' යැයි ඇතැම් අය ප්‍රශ්න කරන බව ඩයනා පැවිදි සොයුරිය ඇමෙරිකානු කොන්ග්‍රෙස් මණ්ඩලයට පැවසුවා ය. "ඒත් අපි අපේ රට හැර දමා යන්නේ ඇයි ? එසේ කිරීමට අප කලේ කුමක්ද? " ඈ විමසුවාය.

"ඉරාක ක්‍රිස්තියානින්, මේ භුමියේ ප්‍රථම ජනතාවයි. අපේ ආදි මුතුන් මිත්තෝ ද මෙබඳු ම විවිධ වද හිංසා වලට ගොදුරු වූහ. එහෙත් යුග ගණනාවක් පුරා මානව වර්ගයාට සේවය කල සංස්කෘතියක් රැකගෙන, වර්ධනය කරමින්, ඔවුහු මේ භූමියේම වාසය කළහ. මෙම භුමිය හැරදා නොගියහ," සොයුරිය පෙන්වා දුන්නා ය.

"අප ජීවත් වූ භුමියේ අප ගත කල ජීවිතවලට යළි  හැරී යාම  මිස, ඊට වැඩි යමක් අපි  බලාපොරොත්තු නොවෙමු. යළි ගෙදර යාමට වඩා වැඩි දෙයක් අපට ඕනෑ නැත" යයි ඩයනා මොමෙකෝ පැවිදි සොයුරිය සඳහන් කළා ය.  

පාප් වහන්සේ ගේ ආයාචනය 

ඉකුත් සතියේ ජාත්‍යාන්තර කරිටාස් ආයතනයේ සිව් වාර්ෂික මහ සමුළුව නිමිත්තෙන්  සාන්ත පීතර බැසිලිකාවේ පැවැති දිව්‍ය පුජාවේදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාක කිතුනුවන් වෙනුවෙන් යලිත් ආයාචනයක් කළහ. දිව්‍ය පුජාව යනු "දීව්‍ය සත්ප්‍රසාදයේ මේසය" බම සිහිපත් කළ උන්වහන්සේ මෙසේ පැවසුහ:

" 'දිව්‍ය සත්ප්‍රසාදයීය  මේසය' ගැන කතා කරන විට, තම ශරීරයටත් තම ආත්මයටත් ආහාර ලබා ගැනීමට ඇති අයිතිවාසිකම ප්‍රචණ්ඩ ලෙස උදුරා ගන්න ලද අපගේ දයාබර සොහොයුරන් සහ සොහොයුරියන් ද අමතක කල නොහැකිය.ඔවුහු  ඔවුන් ගේ ගෙවල් වලිනුත් දේවස්ථාන වලිනුත් එලවා දමනු ලැබ සිටිති.එම ගෙවල් හා දේවස්ථාන විනාශ කරනු ලැබ තිබේ. මෙම ජනතාවත්, එසේම, නොපිළිගත හැකි මෙම අයුක්‌ති සහගත ක්‍රියාත් අමතක නොකරන ලෙස මම යළිත් ඔබට ආයාචනා කරමි."


සොලමන් ගේ සටහන 

කිතුනු සහෝදරයන් සහෝදරියන් රැසක් උන්හිටි තැන්  නැතිව සරනාගතව සිටින යුගයක,  ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝකයේ ප්‍රදේශ රැසක කතෝලික සභාවේ අපි දෙව්මැදුරු මහා මන්දිර බඳුව ප්‍රතිසංස්කරණය කිරීම්, සුඛෝපභෝගී නිවහන්  හා නව යුගය හා උරෙනුර ගැටෙන විව්ධාකාර ඉදිකිරීම් සිදුකරමින් සිටිමු. බෙර, නැට්ටුවන් හා දැවැන්ත සැරසිලි මැද උත්සව මහා ඉහලින් සමරමින් සිටිමු.

සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ලෝකයට යලි යලිත් සිහිපත් කර දෙන ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න සමිඳුන් දේශනා කල අවසාන තීන්දුවේ දේශනාවයි. " මම කුසගිනිව ඉටියෙමි,........පිපාසව සිටියෙමි, .........සිරගතව සිටියෙමි..... ආදී වශයෙනි. උන්වහන්සේ ගේ සමයේ යුද්ධ වලින් සරනාගත වුවෝ නොසිටියහ. එහෙත් අද උන්වහන්සේ ගේ හඬ අපට ඇසේ....."මම සරනාගතව සිටිමි......"

දෙවැන්න ධනවතා සහ ලාසරස් ගේ උපමාවයි. මේ උපමාවේ එන ධනවතා "නීති පතා දේව මාලිගාවට ගිය, සබත අකුරටම ඉටුකළ හොඳ ජුදෙව්වෙක් වෙන්නට ඇති. එත් ඔහු නිරයට ගියේ එකම හේතුවක් නිසා. ඔහුට තමන්ගේ එළිපත්තේ දුක් විඳපු ලාසරස්ව හඳුනා ගන්නට නොහැකි වූ නිසා..." යැයි පාප් වහන්සේ පෙන්වා දෙති.


බාහිර ආටෝපයටත්, නුතන සමාජ තරගයටත්, රැල්ලටත් ගොරු වූ අපට, අපේ එළිපත්තේ කුස ගින්නේ පිපාසයෙන්, සරනාගතව , සිරගතව සිටින ජේසු සමිඳුන් හඳුනාගත නොහැකි වෙලා ද?  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය