" සක්‍රීයව දේශපාලනයේ යෙදෙන්න; එහෙත් කුණු නොවන්න." කිතුනු දේශපාලකයනට පාප්වහන්සේගෙන් මග පෙන්වීමක්

“Be in Active Politics; But be watchful not to get your hands or heart dirty.” Holy Father’s advice to Catholic politicians

ප්‍රැන්සිස් පාප්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී


(2015 මැයි 6)
"කතෝලිකයන් සක්‍රීය දේශපාලනයේ යෙදිය යුතුයි. ලොව තුළ  දකින්නට ලැබෙන්නේ අයුක්තියෙන් කුණු වූ දේශපාලනයක්. නුතන 'විසිකර දැමීමේ" සංස්කෘතිය නිසා ලොව තුළ  විවිධ අර්බුද පැන  නැගෙමින් තිබේ.  ඉතින්,  මා මගේ සඳලු තලයට වී ඒ දෙස බලා සිටිනවා ද?  නැහැ. සඳලු තලයට වී ඔබට බලා සිටිය නොහැකියි. ඔබ හරියටම එතනට ගොස් සටන් වැදිය යුතුයි."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති ඉතාලි කිතුනු දිවි සමාජයේ සහ ධර්මදුත ශිෂ්‍ය පෙරමුණේ නියෝජිත කණ්ඩායමක හමුවකට එක්  වෙමිනි. ජේසු නිකායික පියවරුන් විසින් මග පෙන්වනු ලබන මෙම කිතුනු ගිහි සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඉග්නේසියානු ආධ්‍යාත්මිකත්වය අනුවය. ඉග්නේසියානු ආධ්‍යාත්මිකත්වය යනු ජේසු නිකාය ආරම්භ කල ශු. ඉග්නේෂස් ලොයලා තුමා ඉගැන්වූ ආධ්‍යාත්මික ගමන් මයි. ජේසු නිකායික පියතුමකු වූ පාප්වහන්සේ ද කලක් ආජන්ටිනාවේ කිතුනු දිවි සමාජ අනුශාසක ලෙස කටයුතු කර තිබේ.

සිය ලියා  ගත් කතා පිටපත ඉවත් කල ප්‍රැන්සිස් පාප්වහන්සේ, ඒ වෙනුවට සහභාගී වුවන් ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කැමැත්ත පල කළහ. එක්  අයෙක් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කලේ ය: "ජේසු සමිඳුන් තුළ විශ්වාසයත්, වඩාත් යුක්තිසහගත, සාධාරණ හා  දයාන්විත ලෝකයක් ගොඩ නැගීමේ වගකීමත්  යන දෙක අතර ශක්තිමත් සම්බන්ධයක් ගොඩ නගන්නේ කෙසේ ද"

පාප් වහන්සේ ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ දේශපාලන ලෝකය තුළ  පොදු යහපත වෙනුවෙන් වැඩ කිරීමට කිතුනුවන්ට යුතුකමක් තිබෙන බවයි. මෙහි අදහස කතෝලික දේශපාලන පක්ෂයක් පිහිටුවීම නොවන බව එතුමා අවධාරණය  කලේ ය. "කතෝලිකයන් පියාණන් වහන්සේට වන්දනා කරන, පුත්‍රයාණන් වහන්සේ ගේ මාර්ගයේ ගමන් කරන,ශුද්ධාත්මයානන් ගේ දීමනාව ලබන ජන පවුලක්. එය දේශපාලන  පක්ෂයක් නොවේ," යයි එතුමා පෙන්වා දුන්නේ ය.

"එහෙත් කතෝලිකයන් සක්‍රීය දේශපාලනයට එක් විය යුතු යි. මන්ද එය ඉහලින්ම දයාව ක්‍රියාත්මක කල හැකි සමාජ ධාරාවයි.පොදු යහපත සඳහා කටයුතු කල හැකි වේදිකාවයි" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ.

කෙසේ නමුත් දේශපාලනයට එක් වීමට බලාපොරොත්තු වන කතෝලිකයා අවධානය යොමු කල යුතු සහ පරෙස්සම් විය යුතු දුර්වලතා  උන්වහන්සේ පෙන්වා දුන්හ:
"එහෙත් එය එතරම් පහසු දෙයක් නොවේ. විශේෂයෙන් ම,දුෂණයෙන් කුණු වී ඇති දේශපාලනය තුළ සිය කිතුනු කමට සාක්ෂි දැරීම කිසිසේත් පහසු නැත.ඇතැම් විට එය  සිය කිතුනු ප්‍රතිපත්ති වෙනුවෙන්  'ප්‍රාණ පරිත්‍යාගී වීමක්'  විය හැකි ය. තමන් ද දුෂණයෙන් අපවිත්‍ර නොවී ,අසාර්ථක වීමෙන් අධෛර්යයට පත් නොවී, පොදු යහපත වෙනුවෙන්, කුරුසිය රැගෙන යාමේ ප්‍රාණ පරිත්‍යාගී භාවයක් විය හැකිය."

දේශපාලනය තුළ කුණු නොවී සිය කතෝලික කම ජීවත් කරවීමේ අභියෝගය ප්‍රැන්සිස් පාවහන්සේ වැඩි දුරටත් විස්තර කළහ:
" මේ සියල්ලට මැදි  වී තමන් ගේ දෑතත් හදවතත් නොකිලිටිව තබා ගැනීම අමාරුයි. පාපයට නොවැටී ජීවත් වීමට ඔබට වරප්‍රසාද දෙන්නැ යි  සමිඳුන්ට යාච්ඥා කරන්න."

පාප්වහන්සේ ගේ උපදේශය, ලංකා දේශපාලනය හා කතෝලිකයා: සොලමන් ගේ විග්‍රහය


මේ වූ කලී  ලකාවේ දේශපාලනය වෙන කවර දාකටත් වඩා කුණු වී ඇති යුගයකි. විශේෂයෙන්ම දීර්ඝකාලීන යුද්ධයක සහ නීතියේ ආධිපත්‍යය පාගා දැමූ  ආඥාදායක පාලනයකින් පසුව, හොඳ කුමක්ද , නරක කුමක්ද, අයිතිවාසිකම කුමක්ද , පාපය කුමක් ද, සහය දිය යුත්තේ කුමකට ද, විරෝධය දැක්විය යුත්තේ කුමකටදැයි නිශ්චය කරගත නොහැකිව, ජාතිය අතරමංව, මංමුලාවී , අන්දබුතව, ව්‍යාකුලව සිටින බවක් දක්නට ලැබේ. සමාජයේ බහුතරයක කැමැත්ත මත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන  නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන හා රටට යහපත් ක්‍රියා මාර්ග, මුදල්, ජනබලය සහ මාධ්‍ය මෙහෙයවන සුළුතරයක් විසින් ගෙන යන වෛරී, අමනෝඥ ක්‍රියාමාර්ග මගින් පාගා පොඩිකර දමමින් තිබේ. රටේ පොදු යහපත වෙනුවෙන් නොව බලයෙන් අන්ධව ක්‍රියාකරන මෙම සුළුතරය නිසා රට සදාකාලික අඳුරකට ගොදුරු වීමේ අවදානම පවතියි.

මේ කනගාටු දායක තත්වය දෙස කතෝලිකයා ඔහේ බලා සිටිය යුතුද? ප්‍රැන්සිස් පාවහන්සේ ඊට පැහැදිලි පිළිතුරක් දී තිබේ. ඒ, "නැත" යන්නයි. කතෝලිකයා  පොදු යහපත ගොඩනැගීමට, යුක්තිය , සාධාරණත්වය ඇති කිරීමට සක්‍රීයව වැඩ කල යුතුය. එහෙත් එය කල යුත්තේ කතෝලික ඉගැන්වීම තුල පිහිටමිනි; කතෝලික සමාජ ධර්මය අනුව යමිනි.

දෙවැන්න, දේශපාලනයේ සහ සමාජ කටයුතුවල දැනටත් නිරතවන ( හා නිරත වන්නට බලාපොරොත්තු වන) අය පිළිබඳවයි. පාප්වහන්සේ  ගේ වචන ශ්‍රී ලංකාවේ සන්දර්භයට ගලපන කළ, බොහෝ විට දේශපාලනයේ සහ සමාජ ක්‍රියාකාරීත්වයේ  නිරත බොහෝ දෙනෙක් සිය කිතුනු අනන්‍යතාව අහෝසි කරගෙන සිටිති. කිතුනු අනන්‍යතාව යනු රදගුරු හිමිවරුන් සමග සමීප ඇසුර හෝ සිය දේශපාලන නායකයා සමග පෙරහරේ  (හෝ  තනිව) ගොස් පාප්වහන්සේ බැහැදැක පත්තරවල හෝ කටවුට් වල එම සේයාරූ ප්‍රදර්ශනය කිරීම හෝ මඩු මංගල්‍යයේ දී හා සන්තානම් මංගල්‍යයේ දී සුදු වතින් සැරසී මණ්ඩප වල ඉදිරිපස අසුන් අරා 'වැඩසිටීම'  හෝ නොවේ. කිතුනු හර්දය සාක්ෂියට අනුව ජීවත් වීමය; කිතුනු ප්‍රතිපත්ති ජීවත් කරවීමය.

කිතුනු දේශපාලකයන්ට  සිය පක්ෂවල නායකයන්  සිටිය හැකි වුව ද ,  තම කිතුනු අනන්‍යතාව නිසා තමන්ට සිටින්නේ එකම නායකයකු පමණක් බව  ඔවුන් අවබෝධ කරගත යුතු ය. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය. දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති වලට අනුගත වුවද කිතුනුවකු ගේ ජීවිත ප්‍රතිපත්තිය, ජීවිතයේ සෑම අංශයක් ම ආවරණය වන, දේව වචනය කැටි වූ  ශුද්ධ ලියැවීල්ලෙන් ද, කතෝලික ධර්මොපදේශයෙන් ද හැඩ  ගැසිය යුතු ය. කතෝලික දේශපාලකයකු යහපත-අයහපත , නීතිය-අවනීතිය , වරද-නිවරද නිශ්චය කල යුත්තේ තම නායකයා ගේ අභිමතය අනුව නොව, බාල කාලයේ සිට තමා පොහෝනි වී ඇති කිතුනු ඉගැන්වීම් අනුවය. ඒ අනුව තම පක්ෂය හෝ නායකයා කිතුනු ඉගැන්වීම වලට, පොදු යහපතට , යුක්තියට හා සාමයට එරෙහිව යන විට, තම කිතුනු කම වෙනුවෙන් සාක්ෂි දැරීමට කිතුනු දේශපාලකයා එඩිතර විය යුතුය. පාප් වහන්සේ ද කියන හැටියට, මෙය කිසිසේත් පහසු නොවේ. ඇතැම් විට, එය,  ඇතැම් දේශපාලන නායකයන් ගේ දැඩි කෝපයට හා උදහසට ද  හේතුවිය හැකිය. එහෙත් කිතුනු අනන්‍යාතාව එයයි. කිතුනුවකු ගේ අභියෝගය එයයි. පාප්වහන්සේ "ප්‍රාණපරිත්‍යාගී භාවය" යනුවෙන් අදහසේ කරන්නේ එය ය.

කතෝලික දෙශපාලකයකුට කිසිදු අයුතු ලාබයක් ලැබිය නොහැකිය. මත්ද්‍රව්‍ය, මත්පැන්, එතනෝල්, සූදු වැනි ජාවාරම්කාර දේශපාලකයින්ට තමන් කතෝලිකයන් යැයි පැවසිය නොහැකිය. පර පණ නැසීමට හෝ එසේ මනුෂ්‍ය ඝාතන කරන නායකයන්ට සහයෝගය දැක්වීමට ද කතෝලික දේශපාලකයන්ට නොහැකිය.රටේ ධනය සොරා කන චෞර දේශපාලන නායකයනට හෝ එසේ කරන සහෝදර දේශපාලකයන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට හෝ කිතුනු දේශපාලකයිනට නොහැකිය. එසේ කිරීම තම කිතුනු ප්‍රතිපත්ති පාවා දීමකි.කතෝලික දේශපාලකයකුගේ ප්‍රධානම ලාබය විය යුත්තේ පොදු යහපත ය. පොදු යහපත යනු කුමක් ද, එය ඉෂ්ට සිද්ද කරගන්නේ කෙසේ දැයි කතෝලික සමාජ ධර්මයේ පැහැදිලිව විස්තර කර තිබේ.

මීළඟ මැතිවරණයේ දී තම පක්ෂ නායකයන් කවර ( කතෝලික හෝ එසේ නොවන ) අපේක්ෂකයන් චන්දයට ඉදිරිපත් කලද, තමන් චන්දය ලබා දෙන්නේ කාටදැයි කතෝලික ජනතාව ද  බුද්ධිමත්ව  සහ කතෝලික හර්දය සාක්ෂියට එකඟව තීරණය කල යුතු ය. කතෝලිකයන් සිය චන්දය භාවිත කල යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයකු රජ කරවීමට නොවේ. යහපත  රජ කරවීමට ය. යහපත ( The  Good) දෙවිඳුන් ගේ ගුණාංගයකි. රටක් ඉදිරියට යන්නේ යහපත රජ කල විට ය. ප්‍රැන්සිස් පාප්වහන්සේ කියන අන්දමට, එය එතරම් පහසු නොවේ. එහෙත් අපහසු ද නොවේ.

(ප්‍රවෘත්ති මූලාශ්‍රය: National Catholic Reporter පුවත්පත )

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය