"සොබා දහම ආරක්ෂා කිරීමෙහි ලා ආගමික නායකයන් ගේ භූමිකාව වැදගත්" - විද්‍යාඥයන් හා පරිසරවේදීහු පෙන්වා දෙති

“World's religions ‘play a very vital role’ in protecting creation,” - Affirms Vatican Conference on Climate Change 


ජගත් සංවිධාන මහ ලේකම්වරයා වතිකාන පරිසර සමුළුව අමතමින්. Credit - National Catholic Reporter 


(2015 මැයි 5)
කාලගුණ විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා සහය ලබාදෙන්නැයි එකසත් ජාතීන් ගේ මහ ලේකම් බන් කී මූන් මහතා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගෙන් ඉල්ලා සිටියි. ගෝලීය උණුසුම්වීම හේතුවෙන් ලෝකයට විඳීමට සිදු වී ඇති ස්වාභාවික ආපදාවලට විසඳුම්  සෙවීමට  ජගත් සංවිධානය ගන්නා ප්‍රයත්නයන්ට, ආචාර ධාර්මික ශක්තියක් ලබා ගැනීම සඳහා, පාප්වහන්සේ ගේ පාරිසරික ව්ශ්ව ලේඛනය නිකුත් වන තෙක් තමා නොඉවසිල්ලෙන් බලා සිටින බව ද ඔහු සඳහන් කරයි. බන් කී මූන් මහතා මේ බව කියා සිටියේ ඉකුත් අප්‍රේල් 28 වන අඟහරුවාදා වතිකානයේ දී පැවැති එක් දින පරිසර සම්මන්ත්‍රණය අමතමිනි.

පාප් වහන්සේ ගේ විශ්ව ලේඛනයට විද්‍යාඥයන්, පරිසර ක්‍රියාධරයන් හා ජන නායකයන් ගේ ක්‍රියාකාරී  සහාය ලබා ගැනීමේ අරමුණින් යුක්තිය සහ සාමය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාව විසින් මෙම සමන්ත්‍රණය සංවිධාන කරන ලදී.ඊට අනුග්‍රාහකත්වය දැක්වුයේ පාප්වහන්සේ ගේ විද්‍යා ඇකඩමියයි. එහි තේමාව "මිහිතලය ආරක්ෂා කරන්න - මාන වර්ගයා ගේ උතුම් බව සුරකින්න: පරිසර විපර්යාස සහ ධරණීය සංවර්ධනයේ ආචාර ධාර්මික මානයන්"  යන්නයි.

මූන් මහතා සම්මන්ත්‍රණයට සහභාගී වීමට කලින් ප්‍රැන්සිස් පාප්වහන්සේ පෞද්ගලිකව මුණගැසී සාකච්ඡා  කළේය. පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය සහ මේ වසරේ  පැවැත්වෙන ජගත් පරිසර සමුළුව එම අදහස් හුවමාරුවට මාතෘකා වූ බව දෙපාර්ශවයේ ආරංචි  මාර්ග පවසයි.

පාප් වහන්සේ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූයේ නැත.

පරිසර විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා ලොව පුරා දේශපාලන  නායකයන්ගේත් රාජ්‍ය නොවන සංවිධාන වලත් සහය තමන්ට ලැබී ඇතැයි මූන් මහතා කීවේය. තමන් පාප්වහන්සේ මුණ ගැසීමට පැමිණියේ, දැන් තමන්ට ඒ සඳහා ආචාර ධාර්මික ශක්තියක් අවශ්‍ය බැවින් යයි ඔහු සඳහන් කලේය. "ආගමික නායකයන් විද්‍යාඥයන් විය යුතු යැයි මා සිතන්නේ නැහැ. එහෙත් වඩාත් අවශ්‍ය වන්නේ, එසේම , වඩාත් වැදගත් වන්නේ ජන මතය ඒකරාශී කිරීම සහ ජනතාවට නායකත්වය දීමයි.මෙම කාර්යයෙහි ලා ආගමික නායකයන්ගේ භූමිකාව වැදගත් " වන බව ඔහු සඳහන් කලේ ය.

සම්මන්ත්‍රණය ඇමතු යුක්තිය සහ සාමය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ ප්‍රධානී පීටර් ටර්ක්සන් කාදිනල් හිමිපාණන් කියා සිටියේ මානවයන් මිහිමවට සලකන ක්‍රමයේ මූලික වෙනසක් සිදුවිය යුතු බවයි. "අද අපේ නොසැළකිලිමත් කම නිසා අපි මිහිතලයේ මූලධාර්මික සීමාවන් අතික්‍රමණය කරමින් සිටිමු. අපට මහත් ප්‍රතිලාභ අත්කර දුන් තාක්ෂණයම දැන් අපට මහත් විපත්තියක් ගෙන එමින් තිබේ."
"ස්වාභාවික ලෝකයට  එරෙහිව අපරාධයක් කිරීම පාපයක්"  යයි ඕතොඩොක්ස් සභාවේ නායක බර්තොලොමියු පේත්‍රියාක් තුමන් කල ප්‍රකාශය උපුටා දැක්‌  වූ කාදිනල් ටර්ක්සන් හිමිපාණන් කියා සිටියේ, මානව හදවත් හා සිතිවිලි වලත්, හුරු පුරුදුකම් සහ දිවි පෙවෙත් වලත්, පුර්ණ වෙනසක් මිනිසුන් තුළ ප්‍රගුණ කිරීමෙහිලා, ආගමික නායකයන් ප්‍රමුඛත්වය ගත යුතු බවයි.

සම්මන්ත්‍රණය අවසානයේ සමුළු ප්‍රකාශනයක් නිකුත් කෙරිනි. "මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් වන පරිසර විපර්යාස විද්‍යාත්මක යථාර්ථයකි' යි ඊට සහභාගී වූ විද්‍යාඥයන් , පරිසරවේදීන් හා ආගමික නායකයෝ එම ප්‍රකාශනයේ පවසති."එහි ඒකාන්ත දුර්වලවීම මානව වර්ගයාගේ ආගමික ක්ෂේත්‍රයේ අවධානය නිවාර්යයෙන් ම යොමු විය යුතු සාධකයකි. සොබා දහම ආරක්ෂා කිරීමට ජනතාව පෙළඹවීමෙහි ලා ලෝකයේ ආගම්වලට ඉටු කල හැකි කාර්ය භාරය අති මහත් යැ" යි ඔවුහු එම නිවේදනය මගින් අවධාරණය කරති.

මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන ලෝකය උණුසුම් වීම සෙල්සියස් අංශක දෙකකින් පහතට හෙලීමේ ක්‍රියාකාරී හා අධිෂ්ඨානශීලී පියවර ගන්නැයි මේ වසර අවසානයේ පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට  සහභාගී වන ලෝක නායකයන් ගෙන් තැන ඉල්ලා සිටින බව ද එම   නියෝජිතයෝ කියා  සිටිති.

(National Catholic Reporter) 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය