ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනයේ නම "වේ ප්‍රශංසා" ?

Have you guessed the Title of Pope's Environmental Encyclical?



(2015 ජුනි 1)
මේ ඇරැඹුණු ජුනි මාසයේ මැද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත් කිරීමට නියමිත පරිසර විශ්ව ලේඛනයේ නම කුමක්දැයි ඔබට අනුමාන කල හැකි ද?

වතිකාන අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වන ඇමෙරිකාවේ "නැෂනල් කැතලික් රිපෝටර්" පුවත් පත පවසන්නේ, පාප් වහන්සේ නමක් විසින් නිකුත් කෙරෙන මෙම ප්‍රථම පරිසර විශ්ව ලේඛනය, ලතින් බසින්   ‘Laudato Sii’ නමින් නම් කෙරෙනු ඇති බවයි. ‘Laudato Sii’ යනු පරිසර සාන්තුවරයා ලෙස සැලැකෙන ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් විසින් ලියන ලද මැවිල්ලේ පැසසුම් ගීතයෙන් උපුටා ගන්න ලද යෙදුමකි. එම පදය සිය ගීතයේ පුනරුක්තියෙන් යොදන ශු. ප්‍රැන්සිස් අසීසි තුමා හිරු, සඳු, තරු වැනි සියලු දේ මැවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි.

එම නම,  “Be Praised” හෝ “Praised Be” යනුවෙන් ඉංග්‍රීසි බසට පෙරැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව හෙළ බසින් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය "වේ ප්‍රශංසා" හෝ "ප්‍රශංසා වේ" හෝ ලෙස නම් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මෙම නම තවමත් නිල වශයෙන් තහවුරු කර නැත.

කෙසේ නමුත් "Sulla cura della casa comune" නම් උප සිරසක් ද  පරිසර විශ්ව ලේඛනයට තබා ඇති බව එම පුවත් පත  කියයි. වතිකාන ප්‍රකාශන නිවසේ ප්‍රධානී, සලේසියානු නිකායික  ගිසේප්පේ කොස්තා පියතුමා මේ බව සඳහන් කර ඇතැයි ස්පාඥ්ඥ මාධ්‍යවේදිනියක් උපුටා දක්වමින් පුවත් පත සඳහන් කරයි. "Sulla cura della casa comune" යන්නෙහි අදහස  On the care of the common home හෙවත් "සියල්ලන්ගේ පොදු නිවස රැක බලා ගැනීම" යන්නයි.

ලොව පුරා පරිසරවේදීන් හා පරිසර හිතකාමීන් ද, ජගත් සංවිධානය හා පරිසර ක්‍රියාකාරීහු ද  ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය නිකුත් වන තෙක් නොඉවසිලීමත් අපේක්ෂාවකින් සිටිති. විශ්ව ලේඛනයක් යනු පාප්වහන්සේ නමක් විසින් ලියා නිකුත් කෙරෙන ඉහලම ලියවිල්ලයි.මේ නිසා එයින් ලැබෙන ආධ්‍යාත්මික බලය, පරිසර සංරක්ෂණ ක්‍රියා මාර්ග සාර්ථක කරගැනීමට පිටුබලයක් කර ගැනීමට හැකි වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

‘Laudato Sii’ හෙවත් “Praised Be” යන්න උපුටා ගත් ශු. ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ "පරිසර පැසැසුම් ගීය ", පරිසරයට ආදරය කරන්නන් තුළ අපුර්ව චමත්කාරයක් මවයි. එහි අරුත් බර හා මිහිරි පද පෙළ ගයන්නාගේ හද ශාන්තියෙන් පුරවයි; බැතියෙන් පහන් කරයි. "හිරු සොයුරා හා සඳ සොයුරිය" වෙනුවෙනුත්,"වා සොයුරා හා දිය සොයුරිය " වෙනුවෙනුත් මැවුම්කරු දෙවිඳුනට එමගින් ප්‍රශංසා කරයි. ශු. ප්‍රැන්සිස් තුමා සොබා දහම හා කෙතෙක් බැඳී  සිටියේ ද යත්, එතුමන් දේශනා කරන විට කුරුල්ලන් එතුමා වටා ඇති තුරු මත හිඳ එතුමන්ට සවන් දුන්  බව  ප්‍රැන්සිස් ජීවිත කතාවේ සඳහන් වේ.

සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය පාප් ධුර නාමය තෝරා ගත්තේ ද ශු. ප්‍රැන්සිස් අසීසි තුමාගේ නම අනුවය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය