ආයෝජන අරමුදලක් පිහිටුවීමේ ක්‍රියාමාර්ගය පාප්වහන්සේ ප්‍රතික්ෂේප කරති

Holy Father rejects the setup of an investment fund


වතිකාන බැංකුවේ ඇතුලත දර්ශනයක්.Credit: Press photo IOR


(2015 මැයි 24)
ආයෝජන අරමුදලක් පිහිටුවීමට වතිකාන බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගයක් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රතික්ෂේප කරති.

"ආගමික කටයුතු ආයතනය" (IOR ) යන නිල නාමයෙන් හැඳින්වෙන වතිකාන බැංකුව, තැන්පතු කළමනාකරණය සඳහා වන SICAV ආයෝජන අරමුදලක්  පිහිටු වීමට තීරණය කර තිබිණ. එහි සභාපති ජාන් බප්ටිස්ටේ ද ෆ්රාන්සු මහතා තීරණය කර තිබුනේ එම අරමුදල ලක්සෙම්බර්ග් නුවර බැංකුවක ආරම්භ කිරීමටයි. ඔහු ගේ එම යෝජනාවට  වතිකාන බැංකුවේ ගිහි අධිකාරී මණ්ඩලයේ ද  අනුමැතිය ලැබී තිබිණි.  මෙවැනි අරමුදලක් පිහිටුවීමේ අරමුණ වී තිබුනේ වතිකාන බැංකුවේ කළමනාකරුවන්ට එහි තැන්පතු වලින් කොටසක් කළමණාකරණය කිරීමේ හැකියාව ලබා දීමයි. ලක්සෙම්බර්ග් යුරෝකලාපය තුළ පිහිටා තිබීමත් එම රාජ්‍යය විසින් ආකර්ශනීය බදු සහන ලබා දීමත් නිසා අරමුදල ක්‍රියාත්මක වන ප්‍රදේශය ලෙස ලක්සෙම්බර්ග් තෝරාගෙන තිබිණ.

අරමුදල සඳහා වන යෝජනාවට වතිකාන බැංකුවේ අධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු සභාපති ෆ්රාන්සු මහතා විසින් ස්පාඥ්ඥ ජාතික කාදිනල් සාන්තොස් එබ්රිල් කස්ටිලියෝ හිමිපාණන් ගේ නායකත්වයෙන් යුත් කාදිනල් කොමිෂන් සභාව වෙත එය භාර දෙනු ලැබිණ. කාදිනල් කොමිසමේ හිමිවරුන් එය අධ්‍යයනය කර ඇති අතර, දැනගන්නට ඇති ආකාරයට, එතුමන් විසින් එම යෝජනාවට අකමැත්ත පල කර ඇතැයි "වැටිකන් ඉන්සයිඩර්" ප්‍රවෘත්ති අඩවිය පවසයි. පසුව උන්වහන්සේලා එය ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට භාර දී තිබේ. වතිකාන බැංකුවේ කටයුතු ගැන දැඩි විමසිල්ලෙන් පසුවන පාප්වහන්සේ ආයෝජන අරමුදල් යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

 ආයෝජන අරමුදල් අදහස පාප්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, මෙවැනි ඇතැම් මුල්‍ය උපක්‍රම වෙතින් මුළුමනින් ඉවත්ව සිටීමට ශුද්ධාසනයේ ඇති දැඩි අධිෂ්ඨානය සංකේතවත් කරන්නක් යයි එම අඩවිය පෙන්වා දෙයි. ලක්සේම්බර්ග් හි අරමුදලක් ක්‍රියාත්මක කිරීම මගින් වතිකාන බැංකුවේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය හා සුපරීක්ෂණය වඩාත් සංකීර්ණ කෙරෙනු ඇත.

"ආගමික කටයුතු ආයතනය" හෙවත් (IOR ) යන නිල නාමයෙන් ද වතිකාන බැංකුව යන  ප්‍රසිද්ධ කෙටි නමින්  ද හැඳින්වෙන මෙම ආයතනයේ කාර්ය භාරය ලොව පුරා සභාවේ විවිධ අවශ්‍යතා සඳහා මුල්‍යාධාර සැපයීමයි. එහෙත් එම ආයතනයේ පවතින අති රහසිගතභාවය හා පාරදෘශ්‍ය නොවන මරියා මාර්ග නිසා එය ලෝක මුල්‍ය අංශවල දැඩි විවේචනයට ලක්ව තිබුනේය.  සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ විශ්‍රාම ලැබීමට ආසන්න කාලයේ  වතිකාන බැංකුවේ අපචාරයක් හෙළිදරව් වීම නිසා බොහෝ දෙනකු අවධාරණය කලේ එහි පුර්ණ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බවයි. සුදොතුම් පියාණන් වශයෙන් තේරී පත් වූ අලුතම, නව පාලක මණ්ඩලයක් පිහිටුවා ඕස්ට්‍රේලියාවේ කාදිනල් පෙල් හිමිපාණන් යටතේ එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රැන්සිස් පාප්වහන්සේ පියවර ගත්තේ ඒ අනුවය.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කලින් අදහස් කර තිබුනේ වතිකාන බැංකුව සම්පුර්ණයෙන් වසා දැමීමටයි. මේ ගැන තමා කල්පනා කරමින් සිටින බව බ්‍රසීලයේ සිට ආපසු එන අතරේ  වාර්තා කරුවන් ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේ ය.

එහෙත් එය වසා දැමීම කල නොහැකි වූයේ සංවර්ධනය වන රටවල් බොහොමයක කතෝලික සභාවේ කටයුතු වලට එහි ආධාර අවශ්‍යව තිබූ බැවිනි. පාසල්, රෝහල්, ආධාර මධ්‍යස්ථාන සහ දෙව්සත්හල් වැනි ගොඩනැගිලි සෑදීම සඳහා එම සභාවලට ආධාර අවශ්‍යව තිබේ. එබැවින් බැංකුව වසා දමනු වෙනුවට පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට පසුව තීරණය කෙරින. මෙහිදී අවධාරණය කෙරුනේ අතිශයින් පාරදෘශ්‍ය ආයතනයක් ලෙස IOR ආයතනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයි. එබැවින් එම අරමුණ ක්‍රියාත්මක වීම කෙරෙහි පාප් වහන්සේ දැඩි අවධානයෙන් පසුවෙති.

මේ අනුව IOR ආයතනය (වතිකාන බැංකුව ) දිගටම පවතිනු ඇති නමුදු එය වෙනත් බැංකු මෙන් ඇතැම් (නීත්‍යානුකුල) මුල්‍ය උපක්‍රම භාවිතයෙන් ඉවත්ව සිටිනු ඇත.

වතිකාන බැංකුව හා කතෝලික සභාව මුදල් කෙරෙහි දක්වන ආකර්ෂණය ගැන වරක් දේශනාවක දී අදහස් දක්වූ පාප් වහන්සේ කියා සිටියේ "පේදුරු තුමාට බැංකු ගිණුමක් නොතිබූ" බවයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය