"ලෝකයේ සියල්ලන්ට ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවා. එත් විශාල ජනතාවක් තවමත් බඩගින්නේ" - ලෝක බලවතුනට අනතුරු ඇඟවීමක්

"The planet has enough food for all; But many go to bed hungry" 



(2015 මැයි 14)
"දෙවි සමිඳානන් වහන්සේ 'විනිශ්චයකාරයානන්' ලෙස ලෝකයේ බලවතුන් විනිශ්චය කරන දිනය පැමිණෙනවා. කුසගින්නේ සිටින සෑම එක් එක් තැනැත්තකුගේ ම කුසගිනි නිවීම තුළින් ලෝක බලවතුන් තමන්ට ආහාර ලබා දුන්නේ කෙසේද යන්නත්, පරිසරය විනාශයෙන් වලක්වා ගැනීමට ඔවුන් කලේ කුමක්ද යන්නත්, උන්වහන්සේ එදින විශ්චය කරනු ඇති."

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ  දැඩි වදන් භාවිත කලේ ඉකුත් 12 වන අඟහරුවාදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති විශේෂ දිව්‍ය පුජාවකදීය. මෙම දිවය පුජාව පැවැත්වුනේ ජාත්‍යන්තර කරිටාස් ව්‍යාපාරයේ 20 වැනි මහ සමුළුව ආරම්භ කිරීම නිමිත්තෙනි. "එක් මානව පවුලක්; සැමට ආහාර" යන තේමාවෙන් මැයි 12 වන දා සිට 17 වන දා දක්වා රෝමයේ දී එම සමුළුව පැවැත්වෙයි.

"කරිටාස්" යනු කතෝලික සභාවේ එක් ප්‍රධාන දයාවේ හස්තයකි. දුපත්කම තුරන් කිරීම, යුක්තිය හා සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම හා මානව ගෞරවය තහවුරු කිරීම යන අරමුණු යටතේ ක්‍රියාත්මක වන කරිටාස් සංවිධානය මේ වන විට ලොව පුරා සෑම රටකම පාහේ ක්‍රියාත්මක වෙයි. දුප්පත්කමනැති කිරීම  සහ කුසගින්න නිවීම සඳහාත් , ස්වභාවික ආපදා වලදීත් කතෝලික හා කතෝලික නොවන සෑම ජන කොටසකටම එහි දයාවේ දෑත් යොමුවේ.

" ලෝකයේ අද දවසේ බොහෝ ජනතාවක්  කුසගිනි නිවාගන්නේ බඩෙන් අඩක් පමණයි. තවත් විශාල ජනතාවක් කුසගින්නේමයි  නින්දට යන්නේ. ඒත් පොලොව මත ජීවත් වන සියල්ලනට ප්‍රමාණවත් තරම් ආහාර, මේ මිහිතලය මත තිබෙනවා. එහෙත් ඒ ආහාර සියල්ලන් සමග බෙදා හදා ගන්න ඒ තරම් කැමැත්තක් නැති බවයි පෙනී යන්නේ" යයි පාප්වහන්සේ පෙන්වා දුන්හ.

" සියල්ලන් වෙනුවෙන් අපි කෑම මේසයක් සුදානම් කල යුතුයි. එසේ කොට, සියල්ලන් වෙනුවෙන් කෑම මේසයක් අරින්නැයි ලෝකයෙන් ඉල්ලා සිටිය යුතුයි. සෑම කෙනකුගේ ම කුසගින්න නිවීම සඳහා කල හැකි සෑම දෙයක් ම අප කල යුතුයි" යැයි  ද උන්වහන්සේ අවධාරණය කළහ.


කරිටාස් සේවාවේ ආත්මය  ප්‍රේමයයි; පාලනය නොවේ. 


ලොව පුරා බොහෝ ජනතාවක් දුප්පත් කමින් හා කුසගින්නෙන් මුදා ගැනීමට ජාත්‍යන්තර කරිටාස් ආයතනය ඉටු කරන සේවාව ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පැසසුමට ලක්විය. එහෙත් කරිටාස් සංවිධානය හුදෙක් මානුෂවාදී සංවිධානයක් නොවන බව උන්වහන්සේ අවධාරණය කළහ.

 "කරිටාස් සංවිධානයේ සේවාවෙන් හෙළිදරව් වන්නේ, සෑම පුද්ගලයකු තුළම - විශේෂයෙන් දුප්පත් සහ දුක්විඳින ජනතාව තුළ - ජීවත්වන ජේසු සමිඳාණන් මුණ ගැසීමට කතෝලික සභාව තුළ ඇති දැඩි ආශාවයි." යැයි කරිටාස් නායකත්වය හා කාර්ය මණ්ඩලය තුල තිබිය යුතු ආකල්පය විස්තර කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස්  පාප් වහන්සේ පෙන්වා දුන්හ." කරිටාස් දුත මෙහෙවර අත් දකින්නන් තුළ තිබිය යුත්තේ තමන් ක්‍රියාධරයෙක්  හෝ නායකයෙක් යන ආකල්පය නොවේ. ඔවුන් තමන් දැකිය යුත්තේ ක්‍රිස්තුන් වහන්සේ ගේ සාක්ෂි කරුවකු ලෙසයි. තමන් ක්‍රිස්තුන් වහන්සේව සොයා යන අතර , ක්‍රිස්තුන් වහන්සේගේ  ද තමන්ව සොයන පුද්ගලයකු ලෙසය. ඔවුහු  ක්‍රිස්තුන් වහන්සේ ගේ ආධ්‍යාත්මික ජීව ගුණයෙන් ප්‍රේම කරති.ත්‍යාගශීලිත්වයේ ජීව ගුණයෙන් සෙනෙහස දක්වති. මෙම ප්‍රේමය අප තුළ රැගෙන නොයන්නේ නම්  අපගේ සියලු සැලසුම් ශුන්‍ය වෙයි.  එය අපගේ ප්‍රේමය නොවේ; උන්වහන්සේ ගේ (ක්‍රිස්තුන් වහන්සේ ගේ) ප්‍රේමයයි. වඩාත් හොඳට කියනවා නම්, උන්වහන්සේ ගේ (ක්‍රිස්තුන් වහන්සේ ගේ) ප්‍රේමයෙන් පිවිතුරු වී ශක්තිමත්  වන අපේ ප්‍රේමයයි. සියල්ලනට ආදරය කොට සියල්ලන් වෙනුවෙන් කෑම මේසයක් ඇරීමට අපට හැකියාව ලබා දෙන්නේ එම ප්‍රේමයයි" යයි පාප් වහන්සේ සඳහන් කළහ.

(CNA and Vatican Insider)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය