"සාමය කියන්නේ මොකක්ද?" - පුංචි කැකුළු මලක් පාප් වහන්සේ ගෙන් ඇසු ප්‍රශ්නය

"What is Peace?" - A little boy asks the Holy Father


(2015 මැයි 13)
"රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්"

ආචාර්ය අමරදේවයන් ගයන මේ මියුරු ගීය යළි මුවගට නැගුනේ, වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ පාප් වහන්සේ වටකරගෙන පිපී තිබූ දස දහසක් පුංචි කැකුළු මල් වල සිනා මල් දුටු විටය. ඔවුන් මේ "බොහෝ ඇසූ පිරූ තැන් ඇති සීයාගෙන්" ප්‍රශ්න ඇසූ හැටිත් එතුමනට සවන් දුන් සැටිත් විටෙක එතුමන් සමග සුරතල් වූ සැටිත් සිත් පහන් කරන සුළුය.

මේ ළමා කැල ඉතාලියේ  Fabbrica della Pace හෙවත් the Peace Factory හෙවත් "සාම කම්හල" නම් විශේෂ හවුලේ සාමාජිකයෝය.

"පීස් ෆැක්ටරිය" හෙවත් "සාම කම්හල" යනු අධ්‍යාපනය මගින් වාර්ගික හා ආගමික ඒකාබද්ධතාවයේත්, විවිධ ජාතීන්, ආගම් හා විවිධ සංස්කෘතීන් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීමේත්  ප්‍රයත්නයෙහි නියැලී සිටින පෙරමුනකි. එම පෙරමුණේ ළමයින් 7000ක් දෙනා ඉකුත් මැයි 11 වන දා මෙලෙස සවැනි පාවුළු ශාලවේ දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මුණගැසුණහ. මේ දරු දැරියන් සුදොතුම් පියාණන් පිළිගත්තේ "We are the World ..." නම් අරුත්බර ගීය ගායනා කරමිනි.

එහිදී මුලින් පෙරමුණේ නායකයන් ඇමැතූ පාප් වහන්සේ "සෑම ලමයකුම සහ තරුණයකුම සාදරයෙන් පිළිගෙන ඔවුනට ආදරය තුළ වර්ධනය වීම සඳහා අයුක්තියෙන්, අසාධාරණයෙන් හා ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර සමාජයක් ඇති කිරීමට සාම කම්හල ගන්නා ප්‍රයත්නයට' සිය ප්‍රශංසාව පල කළහ. "මේ,සාම කම්හල් වැඩි වැඩියෙන් බිහිවිය යුතු යුගයක්. එත් ඒ වෙනුවට 'යුද කම්හල්' බිහිවීම බොහෝ කනගාටුදායකයි" යයි උන්වහන්සේ සඳහන් කළහ.

ඉන් පසු ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ට සුපුරුදු ක්‍රමය අනුගමනය කරමින්  ළමයින් ගේ ප්‍රශ්න හා ගැටළු වලට පිළිතුරු දුන්නේ ය.


එක ළමයෙක් මෙසේ ඇසුවේය:" සාමය කියන්නෙ මොකක් ද?"

"සාමය කියන්නේ  අනිත් අයත් එක්ක - තමන් ගේ සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන්, අසල්වැසියන් එක්ක- ආදරයෙන් ජීවත් වෙන එක," පාප් වහන්සේ ඊට පිළිතුරු දෙමින් පැවසුහ."මෙහෙම ජීවත්වෙන්න අපට ආගම උදව් වෙනවා. ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියන එක හැම දහමකටම පොදු ඉගැන්වීමක්, " යි එතුමා අවධාරණය කළේය. "සෑම කෙනෙකුටම සාමයෙන් ජීවත් වෙන්නටත්, සාමයෙන් ඉදිරියට යන්නටත් උදව් වෙන්නේ මේ අසල්වැසි ප්‍රේමයයි." පාප්වහන්සේ පෙන්වා දුන්හ."සාමය කියන්නේ දවසින් දවස ආදරයෙන්, ප්‍රේමයෙන්, සෙනෙහසින් හදන්නට ඕනෑ යාත්‍රාවක්."

"මම මගේ අක්කා එක්ක වාද කරගන්නව වගේ, ඔබවහන්සේත් පවුලේ අයත් එක්ක රණ්ඩු කර ගන්නවද?" පුංචි දියණියක් පාප්වහන්සේ ගෙන් ඇසුවාය.

"අපි හැම කෙනෙක්ම වාද කර ගන්නව. රණ්ඩු කර ගන්නවා" එතුමා කීවේය. "එත් අපි කවදාවත් දවස අවසාන කරන්න හොද නැහැ, ආයෙත් සාමය ඇති කරගන්නේ නැතිව"

තවත් පිරිමි ළමයෙකු ඇසු ප්‍රශ්නය මෙයයි: "ඔබත් එක්ක සමාදාන වෙන්න අකමැතියි කියල කවුරු හරි කිව්වොත්, ඔබ මොනවද කරන්නේ?"

තමන් එම පුද්ගලයාගේ නිදහසට ගරු කරන බව ඊට පිළිතුරු දෙමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ."මම කවදාවත් ඒ පුද්ගලයා ගැන අමනාපයක් හිතේ තියා ගන්නෙ නැහැ. ඒ කෙනා ගෙන් පළිගන්නට හිතන්නේ නැහැ. සාමය ඇති කිරීමේ දී සෑම විටම - සෑම විටම - අත්‍යවශ්‍ය දේ අනෙක් තැනැත්තාට ගෞරව කිරීමයි" උන්වහන්සේ අවධාරණය කළහ.
(CNA)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය