"ප්‍රැන්සිස් පාප්වහන්සේ සෑම කෙනෙකුවම අස්ථාවර කරනවා " - ආජන්ටිනා අගරදගුරු තුමකු ගේ අත්දැකීම

“It's not enough to love Pope Francis; you must live his teachings” – Argentinean Archbishop

"පුදැදුරු බවේ විප්ලවීය වෙනස": අති උතුම් හොර්හේ කාදිනල් බොර්ගොග්ලියෝ, බෝවෙනෝස් අයරෙස් අගරදගුරු හිමිපාණන්,තම පේළි නිවාසයේ කුස්සියේ තම කෑම වේල උයාගනිමින්.

(2015 මැයි 12)
"ප්‍රැන්සිස් පාප්වහන්සේට භක්ත්‍යාදරයක් දැක්වුවාට මදි. එතුමාට එවැනි ගෞරවයක්  තිබෙනවා නම් කතෝලිකයන් කල යුත්තේ එතුමන් ගේ ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමයි; ජීවත් කරවීමයි. ඇත්තෙන් ම පාප්වහන්සේ සියල්ලන්ට අභියෝග කරනවා වෙනස් වන ලෙස. ජීවිත රාමුවේ විප්ලවීය මාරුවක් ඇති කරගන්නා ලෙස. එතුමාගේ දේශනාවලිනුත්, විශ්ෂයෙන් ම එතුමා නිකුත් කල ප්‍රථම අපෝස්තලික ලිපියෙනුත් දෙන අභියෝගය සහ ආරාධනය එයයි." මෙසේ පවසන්නේ ආජන්ටිනාවේ අගරදගුරුතුමකු වන වික්ටර් ෆර්නැන්ඩස් හිමිපාණෝය. එතුමන් මෙසේ කියා සිටියේ එතුමන් විසින් ලිය ලද " Evangelii Gaudium අපෝස්තලික ලිපියට කෙටි මාර්ගෝපදේශයක්" නම් කෘතිය සම්බන්ධයෙන් වතිකාන පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය.


  " ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය ප්‍රථම අපෝස්තලික ලිපියෙන් දෙන උපදේශය මෙයයි: 'අවදිවෙන්න; ක්‍රියා කරන්න.' ඒත්  පෙනෙන්නට තිබෙන්නේ, ජනතාව ද්විතියික කාරනා ගණනාවක පැටලිලා තාමත් නිදි වගෙයි" අති උතුම්  වික්ටර් ෆර්නැන්ඩස් අගරදගුරු හිමිපාණෝ පෙන්වා දෙති.

Evangelii Gaudium හෙවත් "සුබ අස්නේ ආනන්දය", ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රථම අපෝස්තලික ලිපියයි.මෙම ලේඛනයේ අඩංගු ඉගැන්වීම් සභාව බැරෑරුම්ව යොදා ගතහොත්, සභා ප්‍රජාවන් තුළ සුවිශේෂ වෙනසක්, නවෝදාවක්, නව ජීවනයක් සහ ජවයක් ඇති වනු ඇතැයි අගරදගුරු ෆර්නැන්ඩස් හිමි කියා සිටියේය.

අගරදගුරු වික්ටර් ෆර්නන්ඩස් හිමිපාණෝ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අදහස් සහ දැක්ම ගැන මනා අවබෝධයක් ඇත්තෙකි. ලතින් ඇමෙරිකා සභාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කල එම කලාපිය රදගුරු හිමිවරුන් ගේ සුප්‍රකට ඇපරිසීඩා ප්‍රකාශනය සකස් කළ කර්තව්‍යයේ කර්තෘ වරයා ලෙස  එවකට කාදිනල් හොර්හේ බොර්ගොග්ලියෝ හිමිපාණන් ගේ කටයුතු කරද්දී, එතුමන් ගේ සමීප වියත් සගයකු ලෙස (එවකට) ෆර්නැන්ඩස් පියතුමා කටයුතු කළේය. එසමයේ එතුමා ආර්ජන්ටිනා පොන්ටිෆිකල් විශ්ව විද්‍යාලයේ අධිනේතෘ ලෙස සේවය කරමින් සිටියේ ය.

පොතක් නොවෙයි - වැඩ පිළිවෙලක්


"සුබ අස්නේ ආනන්දය " අපෝස්තලික ලිපිය යනු අධ්‍යනය කිරීමට හෝ  ප්‍රබෝධයක් ලබාගැනීමට හෝ අර්ථ නිරුපනය සඳහා හෝ වූ ග්‍රන්ථයක් නොවන බව ෆර්නන්ඩස් අගදගුරු හිමි සිය මාර්ගෝපදේශයේ පෙන්වා දෙයි. "එය සියලු කතෝලිකයන් සහ සියලු ප්‍රජාවන්ට ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙලකි' යි එතුමා අවධාරණය කරයි.  ඒ පිළිබඳව අගරදගුරු තුමා මෙසේ ද සඳහන් කරයි:

" 'සුබ අස්නේ ආනන්දය' ලේඛනය හුදෙක් වෙනස් කල යුතු යම් දෙයක් ගැන කියන්නක් නොවෙයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ ' නූතන ලෝකයට ධර්මදානය කිරීම සඳහා අපි සියල්ලම පරිවර්තනය කල යුතුයි' කියායි. එසේම වෙනස් නොවන දුත සේවා තත්වයකට කැපවිය යුතු බව ද උන්වහන්සේ පවසනවා. කතෝලිකයන් සහ කතෝලික සභාව ජනතාවට සමීප වීමට නම්, එමෙන්ම ජනතාවට කරුණාව දැක්වීමට නම්, ඔවුන් සමස්තයක් වශයෙන් තමන් වෙතම යොමු වීම අත්හැරිය යුතුයි. ස්වයං කේන්ද්‍රීය භාවය සහ මමංකාරයෙන් ඉවත් විය යුතුයි. එයයි පාප් වහන්සේ ගේ ඉගැන්වීම." යැයි ෆර්නැන්ඩස් අගරදගුරු හිමි අවධාරණය කළේය.

එහෙත් ගැටලුව නම් බොහෝ දෙනෙකු ප්‍රැන්සිස් පාප් වහන්සේ ට දැඩි භක්ත්‍යාදරයක් දක්වන නමුත් එතුමන් ගේ ඉගැන්වීම් ජීවත් කිරීමට උත්සාහ නොදැරීම බව අගරදගුරු තුමා පෙන්වා දුන්නේ ය. මේ හේතුවෙන් පාප් වහන්සේ පත්වී වසර දෙකකට වැඩි කාලයක් ගත වූවත්, කිසිවක් වෙනස් නොවී, තවමත් එසේම පවතින බව එතුමා කියා සිටියේය. "සභාව සහ පාප්වහන්සේලා විටින් විට නිකුත් කල ලිපි ලේඛන ජීවත් කරවීමටත්, එදිනෙදා ජීවිතයට යොදා ගැනීමටත් කතෝලිකයන්ට දුෂ්කරවී  තිබෙන්නේ, එම ලිපි ලේඛනවල අන්තර්ගත මූලික පණිවිඩය ග්‍රහණය කරගන්නවා වෙනුව, සභාව ද්විතීයික  කාරණා ගැන විවාද කරමින් සිටින නිසා. මෙම ගැටලුව 'සුබ අස්නේ ආනන්දය' ලේඛනයේ දී වඩාත් බරපතල වී තිබෙනවා. ඊට හේතුව පාප්වහන්සේ එය නිකුත් කලේ තම පාප් ධුර කාලයේ වැඩ පිළිවෙල හැටියට නිසා " යැයි එතුමා පෙන්වා දෙයි.

"අස්ථාවර කරන" පාප්වහන්සේ

ප්‍රැන්සිස් පාප්වහන්සේ සෑම  කෙනෙකුවම 'අස්ථාවර කරන' කෙනෙක් යැයි වික්ටර් ෆර්නන්ඩස් අගරදගුරු තුමා පවසයි. "උන්වහන්සේ  වගේම අදහස් ඇති අයවත් උන්වහන්සේ අස්ථායී කරනවා..මන්ද,  උන්වහන්සේ සෑම කෙනෙකුගෙන් ම නව ජීවිත රටාවක්  ඉල්ලා සිටිනවා. ජීවිත රටාවේ වෙනසක් ඉල්ලනවා. මෙය කවර අන්දමේ වෙනසක්  ද?  එය, අප අපගේ කාලයත්  ශක්තියත්  යොදා ගන්නා ආකාරය වෙනස් කිරීමක් අවශ්‍ය වන  අන්දමේ වෙනසක්. කෙනෙකුගේ පෞද්ගලික ජීවිත රටාවේම මාරුවක් මෙම වෙනසට  අවශ්‍ය වෙනවා. කෙනෙකුට තමාට වඩා අවාසනාවන්ත අයගේ තත්වයේ සිට ලෝකය බලන්නට ඇති හැකියාවත් ඊට ඇතුළත්."

ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය  ලේඛන සහ දේශනාවලින් මගින්  සභාවටත් ජනතාවටත් එල්ල කරන අභියෝගය අගරදගුරු ෆර්නැන්ඩස් හිමි මෙසේ විස්තර කරයි: "පාප්වහන්සේ නිතරම ඉල්ලා සිටින්නේ අපගේ මමත්වයෙනුත් අපගේ පෞද්ගලික ලැදියාවලිනුත් වියුක්තව, ඒවාට නොඇලී නොගැලී ජීවත්වන ලෙසයි; ඒ වෙනුවට වඩාත් ත්‍යාගශීලී වන ලෙසයි. එසේම අපගේ සමීප හවුලේ සාමාජිකයන් නොවන, පර්යන්තවල අය සමග ද සම්බන්ධතා ඇති කර ගැනීමට අවශ්‍ය ධෛර්යය අප සතු විය යුතු බවයි. "

එම අභියෝගයට කතෝලිකයන් සහ සභාව දක්වන ප්‍රතිචාරය ආජන්ටිනා අගරදගුරු තුමා පෙන්වා දෙන්නේ මෙසේ ය: "අද දක්නට ඇති විශාලම ගැටලුව නම්, අදහස් (හා සංකල්ප) එකිනෙකට ගැලපෙන (සංගත) ජීවිත රටා බවට පත් කර ගැනීමේ ගැටලුවයි. අද සභාවේ ඛේදනීය තත්වය මෙයයි - එනම් සභාව අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අසමත්වීමයි.

තවත් ප්‍රශ්නයක් ඇතැයි වික්ටර් ෆර්නැන්ඩස් අගරදගුරු හිමි පවසයි." ඇතැමෙක් පාප්වහන්සේ නමකට සවන් දෙන්නේ එතුමන් කියන දේ තම අදහස්වලට ගැලපේ නම් පමණයි. මේ අය විශ්වාස ධර්ම ඉගැන්වීම් සම්බන්ධයෙන් සම්ප්‍රදාය මතවාදීන් මෙන් පෙනෙන්නට සිටියත්, ඔවුන් සභාව තුළ ශුද්ධාත්මයානන් ගේ විශේෂ මග පෙන්වීම කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ."

(National Catholic Reporter පුවත් පතේ පල වූ ලිපියක් ඇසුරිනි.)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය