"අයෙත් මම කතෝලිකයෙක් වේවි!" පාප්වහන්සේ මුණ ගැසීමෙන් පසු රවූල් කස්ත්‍රෝ කියයි.

Raul Castro to Pope: Thanks to you, I may come back to the Church

"බියෙන්වෙනිඩෝ! "

කියුබා ජනාධිපති රවූල් කස්ත්‍රෝ මහතා ඊයේ (මැයි 10 ඉරිදා) වතිකානයේ දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මුනගැසුනේ ය. පාප් වහන්සේ ඉතා උනුසුම් ලෙස ඔහු පිළිගත් බව වතිකාන ආරංචි මාර්ග කියයි. කියුබාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍ය තත්වට ගෙන ඒමේ "කපු කම" කරන ලද්දේ පාප්වහන්සේ ව්සින් බැවින් මෙම හමුව වඩාත් සුහද මුහුනුවරක් ගෙන තීබූ  බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. පාප් වහන්සේ හමුවීමෙන් පසු මාධ්‍ය කරුවන් හමුවේ කස්ත්‍රෝ මහතා පැවසුවේ තමන් යළිත් සභාව වෙත හැරී ඒම ගැන කල්පනා කරමින් සිටින බවයි.

"බියෙන්වෙනිඩෝ! " යයි දෙදෙනාටම සුපුරුදු ස්පාඥ්ඥ බසින් සුබ පතමින් පාප්වහන්සේ කස්ත්‍රෝ මහතා පිළිගත්තේය. පසුව දෙදෙනා පෞද්ගලික සාකච්ඡා සඳහා නික්ම ගියහ.

පාප් වහන්සේ ගේ "ප්‍රඥාවත් නිරහංකාරබවත්" තම සිතට තදින් කා වැදුණු බව හමුවෙන් පසු මාධ්‍යකරුවන් අමතමින් රවූල් කස්ත්‍රෝ මහතා කීවේය. "එතුමා ජේසු නිකායිකයෙක්. මමත්, යම් තරමකින් එහෙම තමයි. මම දිගටම ඉගෙනගත්තේ ජේසු නිකායික පාසල්වල" යයි ඔහු සඳහන් කෙළේය.

පාප්වහන්සේ සම්බන්ධයෙන් කස්ත්‍රෝ මහතා මහත් බලාපොරොත්තුවෙන් කතා කළේය. "උන්වහන්සේ ලබන සැප්තැම්බරයේ කියුබාවට පැමිණි විට, මම එතුමා ගේ සෑම පුජාවකටම ඉතා සතුටින් සහභාගී වෙනවා.  එතුමන් ගේ සියලු කතා මම කියවනවා. පාප් වහන්සේ මේ කරන යහපත් දේ ඉදිරියට කරගෙන යන්නේ නම් මා යලිත් යාච්ඥා කරන්නට පටන් ගන්නවා. ආයෙත් පල්ලි යනවා. මම විහිලු කරනවා නොවෙයි" යයි  ඔහු සඳහන කලේය

ජනාධිපති රවූල්, කියුබානු කොමියුනිස්ට් විප්ලවයේ නායක, හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ ගේ බාල සහෝදරයා ය.


හමුවෙන් පසු වතිකාන ජනමාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ "කියුබාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීමෙහි ලා පාප්වහන්සේ ඉටු කල කාර්ය භාරය සම්බන්ධයෙන්  'ඔබට ස්තුතියි' යැයි එතුමන්ට පැවසීමට තමන්ට අවශ්‍ය වූ බව කස්ත්‍රෝ මහතා පැවසු" බවයි. ලබන සැප්තැම්බරයේ පාප් වහන්සේ තම රටට පැමිණෙන තෙක් කියුබානු ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින බව ද ඔහු සඳහන් කලේ යැයි එම නිවේදනය කියයි.

චාරිත්‍රානුකුල ලෙස සාකච්ඡා අවසානයේ පාප් වහන්සේ සහ කස්ත්‍රෝ මහතා තිළිණ හුවමාරු කර ගත්හ. කස්ත්‍රෝ  මහතා පාප්වහන්සේට තෑගී කලේ හවානා ආසන දෙව්මැදුරට වසර 200ක් පිරීම නිමිත්තෙන් නිකුත් කරන ලද රිදී පදක්කමකි. එය දැනට ඉතිරිව පවතින එවැනි පදක්කම් 25 අතරින් එකක් බව ඔහු සඳහන් කළේය.

කියුබානු සිත්තරෙකු වන ක්චෝ ගේ සමකාලීන කළා කෘතියක් ද කස්ත්‍රෝ මහතා පාප් වහන්සේට පිරිනැමුවේය. එය මුහුදේදී විනාශ වූ බෝට්ටු වල සුන්බුන් වලින් සකස් කරන ලද විශාල කුරුසියකි. සාංක්‍රමනිකයකු ඒ ඉදිරිපිට යාච්ඥා කරන අයුරු නීර්මානයෙහි දැක්වේ. මෙම නිර්මාණය කිරීමට තමන් පෙළඹුනේ තම ජීවිත ගලවාගැනීම සඳහා මුහුදට අවතීර්ණ වන සාංක්‍රමනිකයන් ගේ සුබ සෙත සඳහා පාප් වහන්සේ කැප වන ආකාරය දැකීමෙන් බව කස්ත්‍රෝ මහතාගේ නියෝජිත කණ්ඩායමට ඇතුලත් වූ ක්චෝ කීවේය.

පාප් වහන්සේ කියුබා ජනාධිපතිවරයාට තිළිණ  කලේ  Evangelii Gaudium නමැති තම අපෝස්තලික සංදේශයේ පිටපතක් සහ සාන්ත මාටින් තුමා සිය සළුව ගලවා දුප්පතෙකුට  දෙන දර්ශනය ඇතුලත් පදක්කමකි. "මේ තෑගී වලින් අදහස් කෙරෙන්නේ අපේ ජනතාව දුක්ඛිත තත්වයෙන් මුදා ගන්න; ඉන් පසු ඒ ජනතාව ප්‍රවර්ධනය කරන්න කියන එකයි. මා මේ තෑගී දෙන්න හිතුවේ එය මගේ හොඳ හිතේ සංකේතයක් නිසා " යයි පාප්වහන්සේ සඳහන් කළේය.

(CNA and CRUX)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය