"පෝප් ප්‍රැන්සිස්" තාලයේ සංගීත ප්‍රසංගයක් රෝමයේදී - කවුද ආරාධිතයන්?

A Vatican Concert in the Papa Francisco style 

ප්‍රැන්සිස් පාප් වහන්සේ බදාදා  පොදු හමුවට පැමිණි ගෙදරක් නැති කණ්ඩාමක් මුණගැසුණු මොහොතක්

(2015 මැයි 2)
"පෝප් ප්‍රැන්සිස්" හෙවත් "පපා ප්‍රැන්සිස්කෝ " ශෛලියේ සංගීත ප්‍රසංගයක් මේ මස මැද   දී පැවැත්වීමට වතිකානය සියලු කටයුතු සුදානම් කර තිබේ.

"පෝප් ප්‍රැන්සිස්" ශෛලිය? ඒ මොකක්ද?

"දුප්පත් සභාවක්. දුප්පතුන් සඳහා සභාවක්!"  සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධුර සමය ආරම්භයේදීම ඒ ශෛලිය හඳුන්වාදුන්නේ එහෙමය. දුප්පතුන් උන්වහන්සේ ගේ ආදරය දිනාගත් පිරිස වී තිබේ. සරල දිළිඳු ජීවිතයක් ගත කරන එතුමා වැඩියෙන්ම කතා කරන මාතෘකාව  වී තිබෙන්නේ  ද (දෙවිඳුන් ගේ අපරිමිත කරුණාව හැරුණු කොට ) දුප්පතුන් හා දුප්පත්කමයි.

දැන් දුප්පතුන් වෙනුවෙන් දුප්පතුන් සමග  සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට වතිකානය සුදානම් වෙයි.

සංගීත  ප්‍රසංගය පැවැත්වෙන්නේ, සමිඳාණන් ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය සැමරෙන, මේ (මැයි ) මස 14 වන දා ය. වතිකානයේ සුප්‍රකට සවැනි පාවුළු ශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රසංගය නම් කර තිබෙන්නේ "දුප්පතුන් සමග - දුප්පතුන් වෙනුවෙන්  " ( “With the Poor , For the Poor” ) යනුවෙනි. (සිරිතක් වශයෙන් පාප්වහන්සේ ලා ශිශිර ඍතුවේ සිය පොදු  හමුව පවත්වන්නේ මෙම ශාලාවේ ය. ඔබට මතක ඇත්  නම් ප්‍රැන්සිස් පාප් වහන්සේ තේරී පත්වීමෙන් පසු ඒ වන විට දස දෙසින් රෝමයට පැමිණ සිටි මාධ්‍ය වේදීන් ප්‍රථම වරට මුණ ගැසුනේ මෙම ශාලාවේදී ය.) එහි ප්‍රධාන අනුග්‍රාහකයා පාප්වහන්සේගේ දාන කාර්යාලයයි. සංස්කෘතිය සහ නව ධර්මදානය පිලිබඳ වතිකාන මන්ත්‍රණ  සභා දෙක  සහ සන් මතෙයෝ පදනම සම අනුග්‍රාහකයෝ වෙති.

"සමග"

මෙම ප්‍රසංගයේ ඇති අති සුවිශේෂත්වය, එහි "අති විශේෂ ආරාධිතයන්" වන්නේ රෝමයේ දුප්පතුන්, ගෙදරක්  නැති ජනතාව, සරණගාතයන්  සහ ආබාධිතයන් වීමයි.  ආසන 7000 කින් සමන්විත සවැනි පාවුළු ශාලාවේ අසුන් තුනෙන් එකක් පමණ ඔවුන් වෙනුවෙන් වෙන් කෙරෙන බව, මේ පිලිබඳ තොරතුරු මාධ්‍යයට දැනුම් දුන්, පාප්වහන්සේ ගේ දාන කාර්යාලයේ ප්‍රධානී, ගියොවන්නි රැවෙල්ලි මාහිමිපාණෝ පැවසුහ. ඉදිරිපෙළ ආසන වෙන් වන්නේ මේ අති විශේෂ ආරාධිතයන් වෙනුවෙනි. "දුප්පතුන් සමග" යන්න ප්‍රසංගයේ  තේමාවට එක්  වන්නේ එබැවිනි.

"වෙනුවෙන්"

ප්‍රසංගයේ අරමුණ  ලොව පුරා ක්‍රියාත්මක වන පාප් වහන්සේ ගේ දයා සේවා වලට අරමුදල්  රැස්  කිරීමයි. එය නොමිලේ නැරැඹිය හැකිය. එහෙත් ඒ සඳහා ආරාධනා පතක්  ඉන්ටනෙට් හරහා  ලබා ගත යුතුය. මුදලක් පිරිනැමිය හැකි ප්‍රේක්ෂකයන් පාප් වහන්සේ ගේ දයා සේවා සඳහා තමන්ට හැකි පමණින් දායකත්වය සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාප් වහන්සේ ගේ දාන කාර්යාලය විසින් වාර්ෂිකව පිරිනැමෙන ආධාර වල ප්‍රමාණය වසරින් වසර වැඩි වෙමින් තිබෙන බව රැවෙල්ලි මාහිමි පවසයි. ඊට හේතුව ආධාර ඉල්ලා එම කාර්යාලය වෙත ලැබෙන ලියුම් ප්‍රමාණයෙහි කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබීමයි. ගිය වසරේ එම කාර්යාලය විසින් පිරිනැමුණු ආධාර වල අගය ඩොලර් දහසය ලක්ෂයක් ඉක්මවී ය. මේ වසරේ මේ වන විටත්  එම මුදල ඩොලර් ලක්ෂ තුනක් දක්වා ඉහල ගොස් තිබේ. අවශ්‍යතා ඇති පවුල්, තනි මව්වරුන්, ශිෂ්‍යයන්, සරණාගතයන්,අනාථ දරුවන්, අත්  හැර දමන ලද ළමයින්, රෝගීන්, වයස් ගත පුද්ගලයන් වැනි සමාජයේ විවිධ  කොටස් වලට මෙමගින් ආධාර කෙරේ. මේ සියලු ආධාර මීසම් භාර පියතුමන්ලා මගින් පමණක් පිරිනැමෙන බව රැවෙල්ලි මාහිමි පැවසුවේ ය. සභාවේ ඒකත්වය හා සහභාගීත්වය අවධාරනය කිරීම  මෙහි අරමුණයි.

ප්‍රසංගයේ "වෙනුවෙන්" කොටසේ අදහස, මෙසේ මෙම අරමුදල් දුප්පතුන් වෙනුවෙන් යෙදවෙන බැවිනි.

ප්‍රැන්සිස් තාලයේ .....

මෙම සංගීත ප්‍රසංගය ප්‍රැන්සිස් තාලයේ  එකක් ය කීවේ, එය උන්වහන්සේ ගේ තේමාව අනුව සිදුකෙරෙන්නක් බැවිනි. "දුප්පත් සභාවක්. දුප්පතුන් සඳහා සභාවක්," යන්න එයින් අරුත් ගැන්වෙන බැවිනි.

"සප්ත ස්වරයේ මධුරතම ස්වරය, සංධ්වනිය සහ ඉහලම ස්වර මාධුර්යය දයාව යැයි" ගියෝවන්නි රවේල්ලි මාහිමි කියා සිටියේය."මන්ද ඒ මගින් සෑම හදවතකම තත් පිරිමැදෙන  බැවිනි;  සංගීතය මවන්නා  ගේ ද   අසන්නා  ගේ ද හදවත් ස්පර්ශ වන බැවිනි."


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය