"දුප්පත්කම, අයුක්තිය , දුබලයින් සූරාකෑම තුළ ජේසු තවමත් දුක් විඳිනවා. මේ නිදන්නට කාලය නොවේ!" - මහ සිකුරාදා දේශනය


“Christ is in agony in the present day suffering.”


(2015 අප්‍රේල් 5)
  • "ක්‍රිස්තුන් වහන්සේ ලෝකාන්තිමය තෙක් කටුක වේදනාවෙන් දුක් විඳිනු ඇත. එබැවින් මෙය අපට නිදාගන්නට කාලය නොවේ". 
  • "ලෝකය තුළ "එච්චේ හෝමෝ" (මෙන්න මිනිසා) අවස්ථා කොපමණ තිබෙනවා ද? ජේසු සමිඳුන් පිලාත් ගේ විනිශ්චය ශාලාවේ සිටි ආකාරය ප්‍රතිරූපනය කරන සිරකරුවන් කී දෙනෙක් සිටිනවා ද? තනි වී, දෑතට විලංගු දමා, වද හිංසාවට ලක්කොට, සෙසු අයගේ වේදනා බලා ප්‍රීති වන  සෙබළුන් ගේ කෝපාවිෂ්ට හා වෛරීසහගත  ශාරීරික හා  මානසික හිංසනයට ලක්වන සිරකරුවන්?  " අප නිදා නොගත යුතුයි. අප ඔවුන්ට තනි වීමට ඉඩ නොදිය යුතුයි."
  • "මෙන්න මිනිසා" යන ප්‍රකාශනය අදාළ වන්නේ හිංසනයේ ගොදුරු බවට පත්වන්නන්ට පමණක් නොවේ. එය හිංසකයන්ටත් (වදකයන් හෙවත් හිංසා පමුනුවන්නන්ටත්) අදාලයි. එහි අදහස "මේ බලන්න මිනිසාට කල හැකි දේක තරම!" යන්නයි."


ඔබ මේ කියවුයේ මහ සිකුරාදා සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වූ දුක්ප්‍රාප්ති දේව මෙහෙයේ දී ප්‍රන්සිස්කාන (කැපුචින් ) නිකායික රැනේයිරෝ කැන්ටලමෙස්සා පියතුමා පැවැත්වූ දේශනයේ උධෘත කීපයකි.

සාම්ප්‍රදායික ලෙස මෙවරත් මහා සිකුරාදා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ  දේව මෙහෙයේ දේශකයා වුයේ පාප්වහන්සේගේ ගෘහවාසීන්ගේ ධර්ම දේශකයා වන කැන්ටලමෙස්සා පියතුමාය.
කැන්ටලමෙස්සා පියතුමා මහ සිකුරාදා දේශනාව පවත්වමින්


එතුමන් ගේ දේශනාවට පාදක වුයේ "ලෝකයේ විවිධ තැන් වල හිංසාවට ලක්වන ජේසු සමිඳුන් ය". පිලාත් ජේසු සමිඳුන් පෙන්වා "මෙන්න මනුෂ්‍යයා" (එච්චේ හෝමෝ-Ecce  Homo! ) යයි කී මොහත ගෙනහැර  දැක්  වූ එතුමා , අද සමාජයේ විවිධ හිංසන වලට පාත්‍ර වන ජනතාව තුල  ජේසු සමිඳුන්  "එච්චේ හෝමෝ" ස්වරුපය ගෙන  සිටිනු දක්නට ඇති බව පෙන්වා දුන්නේය.   උන්වහන්සේ තනිවී, පහරකමින්, කුසගින්නේ, මානව හිමිකම් පැහැරගනු ලබමින්, හිංසාවට ලක්වෙමින් , ඝාතනයට ලක්වෙමින් සිටිනු දැක දැක අපට නිදා සිටිය නොහැකි බව කැන්ටලමෙස්සා පියතුමා පෙන්වා දුන්නේය.

දේශනාවේ දෙවැනි කොටසින් කැන්ටලමෙස්සා පියතුමා විස්තර කරන්නේ නුතන ලෝකය තුළ කිතුනුවන් මුහුණ දී සිටින හිංසාවයි. මේ හිංසනය  ජයගත හැක්කේ හිංසාවෙන් නොව යාච්ඥාවෙන් බව පියතුමා අවධාරණය කළේය.

මෙහි දැක්වෙන්නේ එතුමන් කල සමස්ත දේශනයයි. කතෝලික විශ්වාස ධර්මයත්, කතෝලික සමාජ ධර්මය හා ප්‍රේමයේ පනතත් සම්මිශ්‍රණය කොට ඉදිරිපත් කල මෙම ධර්ම දේශනය අභියෝගාත්මකය; ආධ්‍යාත්මික පෝෂණයෙන් අනූනය. එබැවින් එය සංස්කරණයෙන් තොරව මුළුමනින් පරිවර්තනය කර තිබේ.
එය කියවා භාවනා කරන්න. අපේ සමාජය තුළ ජේසු සමිඳුන් විවිධාකාරයෙන් දුක් විඳින විට අපට නිදා සිටිය නොහැකිය. මේ අවදිවීමට කාලයයි. සමිඳුන් සමාජය තුල දුක් විඳිනු දැක දැක නින්දේ මෙන් පසුවන අය ද අවදි කරමු. දුක් විඳින සමිඳුන්ට සහනයක් වෙමු.

****************************
"එච්චේ හෝමෝ - මෙන්න මිනිසා"

පිලාත්තු ඉදිරියේ ජේසු සමිඳුන් ගේ නඩු විභාගය පිලිබඳ විස්තරය අප අසා තිබෙනවා. එම විස්තරයේ අප මඳක් නැවතී අවධානය යොමු කල යුතු එක් අවස්තාවක් තිබෙනවා. ඒ මේ කොටසයි:

" ඉක්බිති  පිලාත්තු ජේසුන් වහන්සේට කසවලින් තැලෙව්වේය.හේවායෝ කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේ ගේ හිසෙහි තබා නීල රක්ත වස්ත්‍රයක් උන්වහන්සේට හඳවා, උන්වහන්සේ ලඟට පැමිණ, "ජුදෙව් රජතුමනි, සැරදේ!" කියමින් උන්වහන්සේට අතුල් පහර දුන්හ. .....එවිට ජේසුන් වහන්සේ කටු ඔටුන්න හිසේ දරා නීල රක්ත වස්ත්‍රයද හැඳගෙන පිටතට ආ සේක. "මෙන්න ඒ මනුෂ්‍යයා" (එච්චේ හෝමෝ -Ecce Homo ) යි පිලාත් ඔවුන්ට කීය. (ජුවාම් 19: 1-3, 5)

'එච්චේ හෝමෝ' අවස්ථාව පිලිබඳ නිර්මාණය වූ සිතුවම් අතරින් බොහෝ සේ මා සිත්ගත් චිත්‍රයක් තිබෙනවා. එය සිතුවම් කර තිබෙන්නේ 16 වන සියවසේ ජීවත් වූ චිත්‍ර ශිල්පී ජන්  මොස්ටැරේට් විසින්. මා එය විස්තර කිරීමට උත්සාහ කරන්නම්. චිත්‍ර ශිල්පියා සිතුවමට නගන්නේ සුබ අස්නේ සඳහන් කරුණු නිසා - ඔහු චිත්‍රයට නගා තිබෙන්නේ මාක් තුමාගේ සුබ අස්නේ විස්තරයයි - මේ විස්තරය අනුව ජේසු ගේ මේ අවස්ථාව ගැන චිත්ත රූපයක් මවාගන්නට ඔබට හැකි වේවි.

ජේසු සමිඳුන් ගේ හිසේ කටු ඔටුන්නක් තිබෙනවා. එය ආණ්ඩුකාර මාලිගයේ මිදුලෙන් සොයාගත් කටු සහිත අතු මිටියක් රවුම් කොට ගොතා ගත් ඔටුන්නක්. ඇතැම් විට ගිනි ගොඩක් ගසන්නට එකතු කල කටු අතු දුටු සෙබළුන් ඒවා ජේසු ගේ රාජකීයත්වයට අපහාස කිරීමට උපයෝගී  කරගන්නට ඇති. උන්වහන්සේ ගේ නළලේ සිට මුහුණ දිගටසිහින්  ලේ  දහරා ගලා යමින් තිබෙනවා. උන්වහන්සේ ගේ මුව අඩක් විවර වෙලා. හරියට පහසුවෙන් හුස්ම ගන්නට නොහැකි පුද්ගලයෙක් වගේ. ජේසු ගේ උරහිස් වලින් බර , පරන වී ගිය පොරෝනාවක් එල්ලෙනවා. එය රෙද්දකට වඩා හරියට යකඩ තහඩුවක් වගෙයි.  විවර වුනු උන්වහන්සේ ගේ උරහිස්වල, කස පහරින් ඇතිවූ කැපුම් දක්නට තිබෙනවා.ජේසු සමිඳුන් ගේ දෑත්, මැණික් කටුව ලඟින් ගොරෝසු ලනු දෙපොටකින් බැඳ ගැට ගසා තිබෙනවා. හරියට සෙන්කෝලයක් සේ පෙනෙන්නට, උන්වහන්සේ ගේ එක අතකට බට දණ්ඩක් දී තිබෙනවා. අනිත් අතේ කොළ අතු මිටියක්.මේවා  රාජකීයත්වයට සරදම් කරන සංකේත. ජේසු සමිඳුන්ට ඇඟිල්ලක්වත් සොලවන්නට බැහැ . සම්පුර්ණයෙන් බල රහිත කරන ලද  මේ මිනිසා ඉතිහාසයේ එදා මෙදා සිය දෑත් බැඳ දමන ලද මිනිසුන් ගේ ප්‍රතිරූපකයයි.



ජේසු ගේ දුක්ප්‍රාප්තිය ගැන භාවනා කල බ්ලේස් පාස්කල් නම් දාර්ශනිකයා මෙසේ කීවා: "ක්‍රිස්තුන් වහන්සේ ලෝකාන්තිමය තෙක් කටුක වේදනාවෙන් දුක් විඳිනු ඇත. එබැවින් මෙය අපට නිදාගන්නට කාලය නොවේ". මේ වචනවල  එක අතකින් ක්‍රිස්තුන් වහන්සේටම අදාළ වන අරුතක් තිබේ; එය අදාළ වන්නේ අබිරහස්‍යමය දේහයේ ප්‍රධානියාටයි  - එහි සාමාජිකයන්ට පමණක් නොවේ. එහෙත් එය පසෙකට තබා එම වචනවල පැහැදිලිව පෙනෙන අර්ථය දෙසට යොමුවෙමු.  එඅ අර්ථය නම්, ඉතිහාසය පුරා තමන්  වහන්සේ මෙන්  වද  හිංසාවට ලක්වන සෑම  කාන්තාවක් හා මිනිසකු තුළම ජේසුන් වහන්සේ ලෝකාන්තිමය දක්වා කටුක වද ගාවිනාවලින් පීඩා ලබනු ඇත යන්න. "ඔබ යම් දෙයක් කරන්නේ ද එය මට කළා වැනිය." (මතෙව් 25:40) කියා උන්වහන්න්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ වචන වදාළේ උන්වහන්සේ අදහා ගන්න අය ගැන පමණක් සිතා  නොවේ. උන්වහන්සේ මෙය වදාළේ කුසගින්නෙන් පෙළෙන, ඇඳුම් පැළඳුම් නැති, රෝගී, රැකියා නොමැති, පහත් සැලකුම් ලබන , සිරගත කරන ලද , ඝාතනයට ලක්කරන ලද සෑම මිනිසකුම, කාන්තාවකම සිතේ තබා ගෙනයි. 

එක මොහොතකට අපි සමාජය තුළ දක්නට ඇති  නපුර කුසගින්න, දුප්පත්කම, අයුක්තිය , දුබලයින් සූරාකෑම වැනි සාමුහික ගොනු ලෙස සිතීමෙන්  වළකිමු. මේවා ගැන නිතරම කතා බහ කෙරෙනවා. (ඇත්තටම , එසේ කතා කලත් මදි තරම්) .  එහෙත් ඒවා පුද්ගලික වනවාට වඩා බොහෝ දුරට දුරාවබෝධ, දාර්ශනික කාරනා බවට පමණක් පත්වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවට අපි දුක්විඳින පුද්ගලයන් හා ජනතාව ගැන - නමින්, ගමින් හැඳින්විය හැකි, අනන්‍යතා ඇති,  ගැහැනුන් මිනිසුන් ගැන - සිතන්නට පටන් ගනිමු. මා කතා කරන මේ මොහොතේ පවා මානව පුද්ගලයන් (හෝමෝ සාපියෙන්ස් සාපියෙන්ස් ) තවත් මානව පුද්ගලයන්ට සිතා මතා සිදුකරන ලේ සැලෙන වද  හිංසා ගැන කතා කරමු.

මේ අනුව බලන විට නුතන ලෝකය තුළ "එච්චේ හෝමෝ" (මෙන්න මිනිසා) අවස්ථා කොපමණ තිබෙනවා ද? ජේසු සමිඳුන් පිලාත් ගේ විනිශ්චය ශාලාවේ සිටි ආකාරය ප්‍රතිරූපනය කරන සිරකරුවන් කී දෙනෙක් සිටිනවා ද? තනි වී, දෑතට විලංගු දමා, වැඩ හිංසාවට ලක්කොට, සෙසු අයගේ වේදනා බලා ප්‍රීති වන  සෙබළුන් ගේ කෝපාවිෂ්ට හා වෛරීසහගත,  ශාරීරික හා  මානසික හිංසනයට ලක්වන සිරකරුවන්?  " අප නිදා නොගත යුතුයි. අප ඔවුන්ට තනි වීමට ඉඩ නොදිය යුතුයි."

"මෙන්න මිනිසා" යන ප්‍රකාශනය අදාළ වන්නේ හිංසනයේ ගොදුරු බවට පත්වන්නන්ට පමණක් නොවේ. එය හිංසකයන්ටත් (වදකයන් හෙවත් හිංසා පමුනුවන්නන්ටත්) අදාලයි. එහි අදහස "මේ බලන්න මිනිසාට කල හැකි දේක තරම!" යන්නයි. බියෙන් තැති ගෙන වෙවුලමින් අපි මෙසේත් කියමු: "මේ බලන්න, මානව පුද්ගලයාට කල හැකි දේවල තරම!"  නුතන බුද්ධිමත් මානවයා  හෙවත් හෝමෝ සේපියන්ස් සේපියන්ස් ගේ සිට ඉදිරියට ගමන් කරන මානවයාගෙන් අප කෙතරම් ඈත් වෙලා ද? තවත් කෙනකු කී අන්දමට , දෙවිඳුන් ගේ මරණයෙන් පසු එතුමන් ගේ ස්ථානයට පත් වූ මිනිසාට අප කෙතරම් ලං වෙලා ද?

********************

කිතුනු පීඩනය 


මනුෂ්‍ය ඝාතනයට ලක් වන්නේ කිතුනුවන්  පමණක් නොවේ. එහෙත් අපට නොසලකා නොහැරිය හැකි සත්‍යයක් නම් බොහෝ රටවල ප්‍රචන්ඩ ක්‍රියාවලට නිතරම  ගොදුරු වන්නේ කිතුනුවන් බවයි. අද අප දැනගත් ප්‍රවෘත්තියක් වූයේ කෙන්යාවේ විශ්ව විද්‍යාලයක දී කිතුවන් 147 දෙනකු සෝමාලි මුස්ලිම් ජෙහාඩි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද බවයි. දිනක ජේසු සමිඳුන්  සිය ශ්‍රාවකයන්ට මෙසේ කීවා: "ඔබ මරා දමන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවක් ලෙස සිතන කාලයක් පැමිණෙන්නේය" (ජුවාම් 16: 2) ඇතැම් විට අද තරම් මේ වචන පරිපුර්ණ නිරවද්‍යතාවයෙන්  ඉෂ්ට වූ  යුගයක් නොතිබෙන්නට ඇති. 

තුන්වැනි සියවසේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි දියෝනීසියස් රදගුරු තුමා රෝමානු ආණ්ඩුකාර දීසියුස් යටතේ ක්‍රිස්තියානින් පාස්කු මංගල්‍යයක් ගත කල ආකාරය ගැන වාර්තාවක් ලියා තබා තිබෙනවා.ඒ මෙසේයි:

"මුලින් ම වධකයන් සහ ගහලයෝ  අප වට කර ගත්හ.එහෙත් ඒ වන විටත් පාස්කු මංගල්‍යය පවත්වමින් සිටියේ අප පමණකි. පිටියක් හෝ කාන්තාරයක් හෝ නැවක් හෝ තානායමක් හෝ සිරගදරක් හෝ වේවා අපට පහර දුන් සෑම ස්ථානයක් ම අපගේ සැමරීමේ ස්ථානයක් බවට පත් වුයේ ය. ආලෝකවත් ම මහෝත්සවය පවත්වන ලද්දේ පුර්ණ ප්‍රාණ පරිත්යාගීන් වූ පිරිස විසින් ස්වර්ගයේ දී ය."

ක්‍රිස්තු වර්ෂ 2015 දී බොහෝ කිතුනුවන්  පාස්කුව පවත්වන්නේ ද මෙලෙසය.

කිතුනුවන් මෙලෙස ඝාතනය කරනු ලබන විට ජගත් ආයතන සහ මහජන මත ගොඩනගන්නන් දක්වන උදාසීන භාවය, ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයක යම් අයකු විසින් විවේචනයට ලක් කර තිබුණා. අප සියල්ලන් සහ බටහිර ලෝකයේ සියලු ආයතන අත සෝදා ගන්න පිලාත්තුලා වීමේ අවදානමක් පවතිනවා.



එහෙත් අප කිසිදු විවේචනයක යෙදීම සුදුසු  නැහැ. විවේචන මගින් සිදු වන්නේ අප අද සමරන අබිරහස පාවා දීමයි. ජේසු සමිඳුන් මිය ගියේ "පියාණනි, මොවුන් නොදැන කරන දෙයට මොවුනට සමාව දුන මැනවැ "යි ප්‍රකාශ කරමින්. මෙය උන්වහන්සේ තමාටම මුමුණා ගත දෙයක් නොවේ. සියල්ලන්ට ඇසෙන්නට මහා හඬින්  මොර ගා ප්‍රකාශ කල දෙයක්. එය යාච්ඥාවක් හෝ නොවෙයි. එය පුත්‍රයා වීම නිසා තමන්ට ලැබෙන ආවසරික බලය මත කරන ලද ඉල්ලීමක්. "පියාණනි, ඔවුනට සාමාව දෙන්න.". පියාණන් වහන්සේ තමන් ගේ සියලු යාච්ඥා ඇසූ  බව උන්වහන්සේ ම පවසා ඇති නිසා (ජුවාම් 11:42)  මේ අවසන්  යාච්ඥාවද උන්වහන්සේ අසන්නට ඇතිබව අපට විශ්වාස කල හැකියි. ඒ අනුව උන්වහන්සේ කුරුසිපත් කළවුනට දෙවියන් වහන්සේ සමාව  දුන් බවත්  (ඇත්තෙන් ම කිසියම් තරමක පසුතැවිල්ලක් තිබුනේ නම් පමණක්) , ඒ අනුව  දෙවිඳුන්  ගේ ප්‍රේමයට කල හැකි දේ ගැන සාක්ෂි දැරීම සඳහා ඔවුන් උන්වහන්සේ සමග පාරාදීසයට යන්නට ඇති බවත් විශ්වාස කල හැකියි.


ජේසු සමිඳුන් කී නොදැනුවත් කම ඇත්තෙන් ම තිබුනේ සෙබළුන් තුළ පමණයි. එහෙත්  සමිඳුන් ගේ ඉල්ලීම ඔවුනට පමණක් සීමා වන්නේ නැහැ. උන්වහන්සේ ගේ පව්සමාවේ දිව්‍ය මහිමය නම්, තමන්ගේ කුරිරු  සතුරන්ටත් උන්වහන්සේ එය දානය කිරීමයි.  'නොදනුවත්කමේ ' අවසරය උන්වහන්සේ සිතා මතාම ගෙනාවේ ඔවුන් ගැන සිතා ගෙනයි. ඔවුන් ඉතා වෛරසහගතව කුරිරු ලෙස උන්වහන්සේට හිංසා  කලත් තමන් කුරුසිපත් කරන්නේ  දෙවිඳුන් ගේ පුත්‍ර ගැලවුම්කාරයානන් බව ඔවුන් දැන සිටියේ නැහැ මේ නිසා සිය සතුරන්ට චෝදනා කර, විවේචනය කර ඔවුන් පියාණන්ගේ කෝපයට ලක් කරනු වෙනුවට උන්වහන්සේ කලේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඔවුන් ආරක්ෂා කිරීමයි.

උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට ඉදිරිපත් කරන්නේ සීමාරහිත ත්‍යාගශීලීබවේ ආදර්ශයක්. උන්වහන්සේ ගේ ආත්මයේ උසස්බවින් සමාව දීම මගින් තමන්ට නපුර කරන්නන්ට නපුර ප්‍රාර්ථනා කිරීමේදී සේ ඍණවාදී ආකල්පයක් ජනිත වන්නේ නැහැ. ඒ වෙනුවට එය ඔවුන් වෙනුවෙන් යහපත් දේ කිරීමේ සුබවාදී අධිෂ්ඨානයක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්. එය හුදෙක් ඔවුන් වෙනුවෙන් ඔප්පු කරන යැදුමක් පමණක් හෝ විය හැකියි. "ඔබට හිංසා කරන්නන් වෙනුවෙන් යාච්ඥා කරන්න." (මතෙව් 5: 44) මෙවැනි සමාවක්,  දේව දඬුවමක්  අපේක්ෂාවෙන් දානය කෙරෙන වන්දියක් බඳු සමාවක් නොවේ. එය, අයකු ගේ අසල්වැසියා කෙරෙහි දක්වන දයාව  මගින් උපදින, එහෙත්, සත්‍යයට අන්ධ නොවන සමාවක්  විය යුතුයි. එසේම නපුර කරන්නන් තවදුරටත් සෙසු අයට සේ ම තමන්ටත් හානි සිදු කිරීම නැවැත්වීම අරමුණු කරගත් සමාවක් ද විය යුතුයි.

ඇතැම් විට " සමිඳුනි, ඔබ නොකළහැකි දේ කරන්නැයි අපෙන් ඉල්ලනවා", යයි කියන්නට අපට ඕනෑ  වේවි.  එවිට උන්වහන්සේ කියාවි: " මම දන්නවා. එහෙත් මා කුරුසියේ මිය ගියේ මා ඔබෙන් ඉල්ලන දේ ඔබට දෙන්නටයි. මම ඔබට දුන්නේ සමාව දීමේ පනත පමණක් නොවේ. සමාව දීමේ වීරෝදාර ආදර්ශයක් පමණක් නොවේ.එහෙත්  සමාව දීම සඳහා ඔබට හැකියාව ලැබෙන දේව වරප්‍රසාදය ද  මගේ  මරණය මගින් මා ඔබට ලබා දුන්නා. වෙනත් බොහෝ අය සේ  මා ලොවට දුන්නේ දයාවේ ඉගැන්වීමක් පමණක් නොවේ. මම දෙවිඳුන් ද වන නිසා, මාගේ මරණයෙන්  මා ඔබට දයාවේ ගංගාවන් ගලා එන්නට සැලැස්වූවා. ලබන ජයන්ති වසරේදී මේ ගංගාවලින් ඔබට ඇති තරම් දයා දිය ඇදගන්නට පුළුවන්.

*****
එවිට යම් කෙනෙකුට මෙසේ අසන්නට පුළුවන්: " එසේ නම්, ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කිරීම යනු සෑම විටම යමකුට  අක්‍රීයව පරාජයටත් මරණයටත්  යටත් වීමට සිදු වීම ද?" නැහැ. ඊට ප්‍රති විරුද්ධව දෙයයි නිවැරදි. සිය දුක්ප්‍රාප්තියට පෙර උන්වහන්සේ " ප්‍රීතියෙන් සිටින්න. ලෝකය ජයගැනීම පිණිස  මම ආවෙමි" යැයි  තම ශ්‍රාවකයනට කීවා. ක්‍රිස්තුන් වහන්සේ ලෝකය ජය ගත්තේ ලෝකයේ නපුර පරාජය කරමින්. යුගාන්තයේ දී ප්‍රකාශිත වන නපුර පරදා යහපත ලබන නිශ්චිත ජයග්‍රහණය ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය තුල ස්ථිර ලෙස විද්‍යමාන වී තිබෙනවා. "මේ ලෝකයේ විනිශ්චය මොහොත" යයි (ජුවාම් 12:31) උන්වහන්සේ කීවා. ඒ දවසේ සිට නපුර පරාජය වෙමින් තිබෙනවා. නපුර, අයහපත ජයග්‍රහණය කරන බව පෙනෙන ප්‍රමාණයට වඩා එය පරාජය වන ප්‍රමාණය වැඩි වෙමින්  තිබෙනවා. එය යලිත් අභියාචනයකට ලක් කල නොහැකි තීන්දුවකින් දණ්ඩනයට ලක් ව තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඊට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයක් මුදාහරිනු වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ නැවුම් ආකාරයක ජයග්‍රහණයක් හඳුන්වා දුන්නා. සාන්ත අගෝස්තීනු තුමා එය වචන තුනකින් සාරාංශ කරනවා: "Victor quia victima ": එනම් ජයග්‍රාහකයා ගොදුර බවට පත්වීමයි.

*****
ක්‍රිස්තුන් වහන්සේ ගේ සැබෑ ප්‍රාණ පරිත්යාගීන් මිය යන්නේ අත් මිට මොළොවා ගෙන නොවේ.යාච්ඥාවෙන් දෑත් වැඳගෙනයි. මෑතක දී අපට මේ පිලිබඳ ආදර්ශ රැසක් ලැබුනා.ඉකුත් පෙබරවාරි 21 වන දා සිරියාවේ දී ISIS  විසින් බෙල්ල කපා මරා දමන ලද කොප්ටික්  කිතුනුවන් 21 දෙනාට ජේසු ගේ නම මුමුනමින් පන පිදීමට ශක්තිය දුන්නේ ක්‍රිස්තුන් වහන්සේ යි.

"ජේසු සමිඳුනි, සිය විශ්වාසය වෙනුවෙන් හිංසාවට ලක්වන අපේ සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ද ලොව පුරා  මේ මොහොත වන විට දුක් විඳින කිතුනු හා කිතුනු නොවන සියලුම "එච්චේ හෝමෝ" මිනිසුන් වෙනුවෙන් ද ඔබට යාච්ඥා කරමු. මරියනි, ඔබවහන්සේ කුරුසිය පාමුල සිට, ජේසු සමිඳුන්ට පසුව, "පියාණනි ඔවුන්ට සමාව දුන මැනවැයි " මිමිණුවාය.අපටත් ලෝකය තුළ සහ අපේ ජීවිතයේ දකින නපුර යහපතින් ජය ගන්නට වරම් දුන මැනව. උන්වහන්සේ කුරුසිය මත දිවි පුදද්දී උන්වහන්සේ ගේ වේදනාව බෙදා ගත්  ඔබ, උන්වහන්සේ ගේ දැල්වෙන දයාවට ද පංගුකාරියක් වූවාය. එසේ වූ ඔබ, නුතන මිනිසුන් හා කාන්තාවන් තුළ සාමයේ, දයාවේ සහ සමාවේ  සිතිවිලි ජනිත කිරීමට මධ්‍යස්ත වුව මැනව. - ආමෙන්.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය