"කළමනාකරුවන් නොව යහපත් එඬේරුන් වන්න! " නවක පියවරුන්ට සුදොතුම් පියාණන්ගෙන් උපදෙස්

“Priest is not a Manager, but a Good Pastor”  - Holy Father tells New Priests 



(2015 අප්‍රේල් 27)
" සිය ප්‍රීතිය වෙනුවෙන් ජීවත්වන  නිශ්ඵල පූජකවරුන් නොවන්න. දෙවිඳුන් ගේ අභිමතය අනුව උන්වහන්සේ ගේ රැල වෙනුවෙන් ජීවත් වන යහපත් පුජාප්‍රසාදී වරුන් වන්න. ස්වකීය සතුට වෙනුවෙන් ජීවත් වන පුජකවරුන් අශෝභන ය. එවන් පුජකවරුන් ක්‍රියා කරන්නේ මොනරුන් ලෙස ය.""

සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ නවක පුජකවරුන්නට දෙන උපදේශය මෙයයි. රෝම රදගුරු පදවිය සඳහා නවක පුජක පුතුන් 19 දෙනෙක් රෝමයේ රදගුරුතුමන් වන  ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ඊයේ (26 ඉරිදා) පුජාත්වරය දේව ප්‍රසාද නිධානය ලබා ගත්හ. පුජාත්වර දිව්‍ය පූජාවේ දේශනාව සඳහා පාප් වහන්සේ භාවිත කලේ රෝම මිසල් පොතේ සඳහන් පුජාත්වර දේව මෙහෙයන්වල දී භාවිත කෙරෙන  සම්මත දේශනා පිටපතයි. එහෙත්, සුපුරුදු පරිදි, ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය පිටපතින් ඉවත්වෙමින්, පුජාප්‍රසාදී තුමකු ගේ මෙහෙවර, වගකීම් හා භූමිකාව සම්බන්ධයෙන් පුජක පුතුනට උපදෙස් දුන්හ.

මේ ශ්‍රී ලංකා කිතුනු දහම් කෙතේ ද වසරේ වසන්ත සමයයි. සභා කෙතට ගොවීන්, එඬේරුන් අභිනවයෙන් එක්වන සමයයි. එනම්, පදවි රැසක සහ පැවිදි නිකාය රැසක සේවාව සඳහා නවක පුජක පුතුන් පුජාත්වර සක්‍රමේන්තුව ලබන සමයයි. නවක පියවරුන් සිය කුළුඳුල් මීසම් වල හෝ දූත සේවා වල සේවය  අරඹන සමයයි. එබැවින් පාප්වහන්සේ ගේ අනුශාසනය ලක්දිව සභා කෙතට ද කාලෝචිත වන්නේ ය.

සිය දේශනා මගින් දේව ජනතාව දේව වචනයෙන් පෝෂණය කරන්නැයි පාප් වහන්සේ නවක පියවරුන්ගෙන් ඉල්ලා සිටියහ.  යහපත් ආදර්ශයකින් තොරව දේව වචනය ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි ද උන්වහන්සේ උපදෙස් දුන්හ. "යහපත් ආදර්ශයෙන් තොර දේශනා හිස් වදන් ය. ඒවා ජනතාව ගේ හදවත් වලට ලඟා නොවේ. ඒ වෙනුවට ඒ මගින් තුවාල ද සිදුවිය හැකිය."

උන්වහන්සේ පෙන්වා දුන්නේ, දේශනා ජනතාවගේ ජීවිතයේ පරිවර්තනයකට හේතු වන්නේ සිය ජීවිත අත්දැකීමෙන් ඒවා ඉදිරිපත් කරන තරමට බවයි.   "ඔබගේ දේශනා විශ්වාසකයන් ගේ හදවත් ස්පර්ශ කරන්නේ ඒවා ඔබගේ හදවතින්  ම පැන  නැගෙන අදහස් නම් පමණකි".

කළමනාකරුවෙක් නොවේ. එඬේරෙක් 


සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා දහවල් සාන්ත පීතර චතුරශ්‍රයේදී  පැවැති තුන්කාල ආරාධනා වේ දී ද දේශනා කලේ පුජාත්වරයා  සම්බන්ධයෙනි. ඉරිදාට යෙදී තිබූ යහපත් එඬේරා ගේ මංගල්‍යයත් එදින  සුබ අස්නත් පදනම් කර ගනිමින් උන්වහන්සේ මෙම භාවනාව කළහ. මේ අවස්ථාවේ සිදු  වූ තවත් වැදගත් සිද්ධියක් වන්නේ එදින උදාසන පුජාත්වරය ලද නවක පියවරුන් දෙනමක්, තුන්කාල ආරාධනාවට  සහ තමන් සමග වන්දනා කරුවන් ආසිරි ගැන්වීමට හවුල් වීම   සඳහා පාප් වහන්සේ විසින්  බැල්කනියට ආරාධනා කර තිබීමයි.

"අයහපත් එඬේරා තමන් ගැන සිතමින් බැටළුවන්ගෙන් ප්‍රයෝජන ගනියි. යහපත් එඬේරා බැටළුවන්  ගැන සිතමින් ඔවුන් වෙනුවෙන් තමන් ත්‍යාජ කරයි," යැයි එඬේරා ගේ ගුණ පැහැදිලි කරමින් උන්වහන්සේ පැවැසුහ."දුෂිතයන් මේ නොව, ක්‍රිස්තු එඬේරාණෝ, ස්වකීය සුබසිද්ධිය නොසොයා,සිය බැටළු රැලෙහි ජීවිතයට හවුල් වන ප්‍රඥාවන්ත, කාරුණික මගපෙන්වන්නෙකි. සිය බැටළුවන්ට මග පෙන්වීම, පෝෂණය කිරීම හා ඔවුන් ආරක්ෂා කිරීම හැර උන්වහන්සේට වෙනත් අරමුණක් නොමැත. මේ සියල්ල උන්වහසේ කලේ ද ඉහලම මිල ගෙවමිනි. එනම් තම ජීවිතයේ මිලයි."


දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය "උත්තරීතරම සහ පිවිතුරුම"  ප්‍රේමය බව  පාප්වහන්සේ සිහිපත් කළහ. "මන් ද එය කිසිදු අවශ්‍යතාවක් මත ඇතිවන පෙලඹවීමකින්  හටගන්නා ප්‍රේමයක් නොවන නිසාය; එය කිසිදු මිම්මකින් කිරා, මැන බලා දෙන ප්‍රේමයක් නොවන බැවිනි; එය  කිසිදු දෙයක් සමග  හුවමාරුවකට කෙරෙන්නක් නොවන නිසාය."

පාප් වහන්සේ කියා සිටියේ, එහෙත්, ඒ සම්බන්ධයෙන් භාවනා කරමින් හා  ඒ ගැන දෙවිඳානන්ට තුති දෙමින් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. "ඔබ යහපත් එඬේරා අනුගමනය කිරීම ද කල යුතු ය. වෙසෙසින් ම, සභාවේ ජනතාවට මග පෙන්වීමේ දුත මෙහෙවර භාරව සිටින  තැනැත්තන්, එනම් පුජකවරුන්, රදගුරුහිමිවරුන් සහ පාප්වහන්සේ, කැඳවනු ලැබ  සිටින්නේ, කළමනාකාරවරයකු ගේ මානසිකත්වයෙන් කටයුතු කිරීමට නොව, තමන් ත්‍යාජ  කරමින් සිය දයා කරුණාවෙන් අප ගලවා ගත් ජේසු සමිඳුන් අනුකරනය කරමින්, සේවකයන් වීමටය."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය