"ආගම ලොව දවන වෛරයේ ගින්නක් නොවේ; සංහිඳියාවෙන් ලොව සිසිල් කරන දිය දහරක් "

“Religion is a formidable potential of Peace; not a provoker of violence.”


(2015 අප්‍රේල් 24)
ඉස්ලාම් දහම සමග සංවාදය  වෙන කවරදාටත් වඩා අදට  අත්‍යවශ්‍යව  ඇතැයි අන්තර් සාමයික සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව  පවසයි එය නිකුත් කළ ප්‍රකාශයක මේ බව සඳහන් වෙයි. " ආගමේ නාමයෙන් ජීවිත විනාශ කිරීම දෙවියන් වහන්සේගේ සිත රිදවීමකි. එසේම, එය මානව වර්ගයාගේ පරාජයක් " බව  ද එම මන්ත්‍රණ සභාව ප්‍රකාශ කරයි.

ප්‍රකාශනය නිකුත් කෙරුනේ ඉකුත් 22 දා යි. මෙය මෑතකදී අන්තර් සාමයික සංවාදය පිලිබඳ මන්ත්‍රණ සභාව විසින් නිකුත් කෙරුණු මෙවැනි දෙවැනි ප්‍රකාශනයයි. මීට කලින්, ගිය වසරේ අගෝස්තුවේ අයිසිස් (ISIS ) ත්‍රස්තවාදය ඉරාකය තුළ පැතිර යන අවස්ථාවේ ඔවුන් ගේ අන්තවාදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා තරයේ හෙලා දකිමින් ප්‍රථම ප්‍රකාශනය නිකුත් විය. ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව දැඩි ස්ථාවරයකට පිවිසෙන්නැයි එමගින් ලෝකයේ ආගමික නායකයනට - විශේෂයෙන් මුස්ලිම් නායකයනට - ආරාධනයක් කර තිබිණ.

"ආගමක් අදහන්නන් සාමයේ ප්‍රබල විභවයකි," යැයි අන්තර් සාමයික සංවාදය පිලිබඳ මන්ත්‍රණ සභාව සිය  අලුත්ම ප්‍රකාශනයේ අවධාරණය කරයි. "එබැවින් අප හිංසනයක් අත්දකිද්දී පවා සංවාදය ඉදිරියට ගෙනයාම බලාපොරොත්තුවේ සලකුණකි. වර්තමාන සන්දර්භය තුළ පවා අප සහෝදරත්වයත් සංවාදයත්  ශක්තිමත් කරගත යුතු යැ" යි එම ප්‍රකාශනයේ  සඳහන් වෙයි.

මෙම ප්‍රකාශනය නිකුත් කෙරුනේ ලිබියාවේ දී කිතුනුවන් 30 දෙනකු පමණ අයිසිස් ත්‍රස්තවාදීන් විසින් බිහිසුණු ලෙස ඝාතනය කිරීමෙන් පසුව ය.

"මෑත සිද්ධිවලින් පසුව, මුස්ලිම්වරුන් සමග තවදුරටත් සංවාදයෙහි නියැලීමේ අවකාශයක් තිබේ දැයි බොහෝ දෙනෙක් අපගෙන් විමසති. අපේ පිළිතුර 'ඔව්. වෙන කවරදාටත් වඩා' යන්නයි.  සංවාදය දිරිමත් කොට පෝෂණය කල යුතු ය. මන්දයත්, මුස්ලිම්වරුන් අතරින් අති  බහුතරයක් පවා මෙවැනි ම්ලේච්ඡත්වය මුදා හැරීමක් සමග එකඟ නොවෙති."

සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ 2006 ජනවාරි 19 වන දා වතිකානයේ සිටින තානාපති වරුනට කල කතාවේ දී අවධාරණය කල කරුණක් මෙම ප්‍රකාශනයේ උපුටා දක්වා තිබේ. ජාතීන් අතර ගැටුම් හා ත්‍රස්තවාදය ගැන කතා කරමින් උන්වහන්සේ කියා සිටියේ 'මෙබඳු අපරාධකාරී ක්‍රියාකාරකම් කෙබඳු අයුරකින්වත් යුක්තිසහගත කල නොහැකි" බවයි. "විශේෂයෙන් ම  ආගමක් පිටුපස සැඟවී දෙවිඳුන් ගේ පිවිතුරු සත්‍යය ත්‍රස්තවාදීන් ගේ මට්ටමට පහත හෙලා දමන විට එය අතිශය ඛේදජනක ය" යි ද උන්වහන්සේ සඳහන් කළහ.

තුර්කියේ ඉස්තාන්බුල්හි 'නිල පල්ලිය' හෙවත් සුල්තාන් අහ්මත් පල්ලියේදී රහ්මි යාරාන් මුෆ්ති තුමා සමග 


"ප්‍රසිද්ධ වේදිකාවේ කෙරෙන ආගමික දේශනා වැඩිවැඩියෙන් අන්තවාදීකරණය, රැඩිකල් කරණය කර තිබේ. වෛරය, ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය වර්ධනය වීමේ අනතුර  ඒ මත රඳා පවතියි. විශේෂයෙන් ඉස්ලාම් දහම හා ඉස්ලාම් ලබ්ධිකයන්  ඒ මගින් වඩ වඩාත් අපකීර්තියට ද ලක් වනු ඇත" යි මන්ත්‍රණ සභාව නිකුත් කල ප්‍රකාශනය කියයි.

විවිධ ආගම් අදහන්නන් "මානව වර්ගයා සහ ඉතිහාසය පිලිබඳ ස්වකීය  දර්ශනය වෙනත් අය මත බලහත්කාරයෙන් ආරෝපණය නොකල යුතු ය. ඒ වෙනුවට ඔවුන් විසින් සිදු කල යුත්තේ වෙනස්කම් වලට ගරු කිරීම, සිතීමේ සහ ආගමක් ඇදහීමේ නිදහස, මානව ගෞරවය සුරක්ෂිත කිරීම සහ සත්‍යයට ඇලුම් කිරීම දිරිමත් කිරීමයි" යයි එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය