නෙතට කඳුලත් හදට එඩියත් ගෙනෙන අපේ යුගයේ ප්‍රාණ පරිත්‍යාගී වරු

Pope Francis and his growing litany of modern-day martyrs


(2015 අප්‍රේල් 21)
ලොව පුරා කිතුනුවනට යලිත් පීඩනයේ යුගයක් එළඹෙමින් ඇති බව දක්නට ලැබේ. කලින් කිතුනුවනට එරෙහි වද  හිංසා පාකිස්ථානය සහ ඉන්දියාවට පමණක් තරමක් දුරට සීමා වී තිබුනේ ය.   එය  මේ මොහොත වන විට මැද  පෙරදිග කලාපයටත් අප්‍රිකානු මහාද්වීපයටත් පැතිර ගොස් තිබේ. .

කිතුනු විරෝධී පීඩනය දැඩි ලෙසම බලපා  ඇත්තේ මැද  පෙරදිග හා අප්‍රිකානු මහද්වීපික ප්‍රදේශ වලටය. මේ වන විට කිතුනුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ISIS, බොකෝ හරාම්, අල් -ශාබාබ්, ෆුලානි සහ අජ්නාඩ් මිසර් යන අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ඝාතනය කරනු ලැබ  තිබේ. දේවස්ථාන ගණනාවක් ද විනාශ කර ඇත. මේ අතරින් වඩාත් රුදුරු වන්නේ ISIS කල්ලියේ ඝාතනයි.

වඩාත් ආසන්නම සිද්ධිය  වන්නේ 19 වන ඉරිදා සිරියාවේ සීර්තේ හි දී ඉතියෝපියානු කිතුනුවන් 30 දෙනකු ISIS සංවිධානය විසින් ගෙල සිඳ හෝ වෙඩි තබා ඝාතනය කිරීමයි 16 වන දා ඉතාලියේ සිසිලි දුපත අසල දී, සරණාගතයන් ලෙස බෝට්ටුවක ඉතාලියට පලා එමින් සිටි කණ්ඩායමක සිටි කිතුනුවෝ 12 දෙනෙක් , එම බෝට්ටුවේම සිටි මුස්ලිම් වරුන් විසින් මුහුදට තල්ලු කරනු ලැබුහ. ඒ සියලු දෙනාම මිය ගියහ. අප්‍රේල් 11 වන දා සිරියාවේ දී ත්‍රස්තවාදීහු අලෙපෝ හි කිතුනුවන් ජීවත් වන නිවාස පෙළකට වෙඩි තැබුහ. මෙයින් මිය ගිය පිරිස 20 දෙනෙකි. තවත් පිරිසක් තුවාල ලැබුහ. අප්‍රේල් 2 වන දා කෙන්යාවේ ගැරිස්සා විශ්ව විද්‍යාලයට කඩාවැදුණු ත්‍රස්තවාදීන් පිරිසක් එහි සිටි කිතුනුවන්, සෙසු පිරිසෙන් වෙන් කොට ඔවුනට වෙඩි තබා ඝාතනය කළහ. මාර්තු 15 වන දා නයිජීරියාවේ එග්බෝ හි කිතුනු ගමකට ෆුලානී ත්‍රස්තවාදීහු ප්‍රහාරයක් එල්ල කළහ. මිය ගිය සංඛ්‍යාව 82 දෙනෙකි. මේ මෑතක් දී සිදු වූ සිද්ධි වලින් සියයට 20 ක් පමණි. ලේඛනය තව බොහෝ දුරට විහිදෙයි.

මේ පිරිස දිවි පිදුවේ තමන් කිතුනුවන් වූ නිසාමය. විශේෂයෙන් ම ISIS අතින් ඝාතනය වූ කිතුනුවනට විකල්ප කිහිපයක් ලබා දෙනු ලැබේ. ඔවුන් කිතු දහම හැර දා ඉස්ලාම් දහම වැළඳ  ගත යුතු ය. නැතහොත් ISIS ට බදු ගෙවිය යුතු ය. එසේත් නැතහොත් මරණය වැළඳ ගත යුතු ය. ඒ අනුව ISIS  අතින් කිතුනුවන් මිය යන්නේ සිය ස්ථිර විශ්වාසය නිසා බව - එනම් ක්‍රිස්තු ජේසු සමිඳුන් කෙරෙහි විශ්වාසය, බලාපොරොත්තුව සහ උන්වහන්සේ වෙත ප්‍රේමය නිසා බව - පැහැදිලිය.එම විශ්වාසයත් ප්‍රේමයත් පාවා දීමට සුදානම් නොවන නිසා බව පැහැදිලි ය.

මෙම කරුණු  මෙනෙහි කර,  කිතුනු ඉතිහාසය හා සංසන්දනය කරන විට හද ගැබ තුළ ඇඳෙන චිත්‍රය කෙබන්දක් ද? හරියට කිතුනුවනට දෙවැනි, තෙවැනි, සියවස් යළි උදා වෙලා වැන්න. රෝමයේ කොලොසියමේ දී  ජීවමාන ගිනි සිළු බවට පත් වී ක්‍රිස්තු ආලෝකය පතල කල ප්‍රාණපරිත්‍යාගී කැලක් යලි බිහිවෙලා වැන්න.  සාන්ත ස්තේවන් තුමන්ගෙන් ඇරැඹී, පේදුරු-පාවුලු දෙ  මහ අපෝස්තුළුවරුන් හරහා ඉතිහාසය පුරා යුගයෙන් යුගය, තැනින් තැන, ජීවමාන සමිඳුන් වෙනුවෙන් පන පිදූවන් වැනි පරපුරක් අපේ යුගයේ දී ද ඇතිවෙලා වැන්න.

මේ සිද්ධි ගැන   මෙනෙහි කරමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පල කලේ එවැනි අදහසකි. විවිධ ස්ථාන වල කිතුවනට එල්ලවන වද  හිසා ගැන උන්වහන්සේ දැඩි වේදනාවටත් කම්පාවටත් පත්ව සිටියහ. එම ශෝකය ශුද්ධ ලියවිල්ල හා සම්බන්ධ කරමින් ඊයේ උදාසන දිව්‍ය පුජාව අවස්ථාවේ දී උන්වහන්සේ මෙසේ පැවසුහ:

"අද  සභාව ප්‍රාණපරිත්‍යාගී වරුන් ගේ සභාවකි. ඔවුහු දුක් විඳිති. ඔවුහු සිය ජීවිත පූජා කරති.  ඔවුන් ගේ ජීවිත සාක්ෂිය නිසා අපි  දෙවියන් වහන්සේ ගේ ආශීර්වාද ලබා ගනිමු. මේ දිනවල ස්තේවන් වරුන් කී දෙනෙක් ලෝකයේ සිටිනවාද?" යි ප්‍රථම කිතුනු ප්‍රාණ පරිත්‍යාගීවරයා සිහිපත් කරමින් පාප්වහන්සේ කියා සිටියහ:


"ලිබියාවේ මුහුදු වෙරළක දී සිය ගෙල සිඳ ලනු ලැබූ සොහොයුරන් ගැන අපි කල්පනා කරමු. තමන් කිතුනුවකු වූ නිසා තම මිතුරන් විසින් පන පිටින් ගිනි තබන ලද පිරිමි ළමයා ගැන අපි සිතමු. සරණාගත සාංක්‍රමනිකයන් විසින් කිතුවන් වීම නිසා මුහුදට හෙලන ලද සහෝදර සාංක්‍රමණිකයන් ගැන අපි කල්පනා කරමු. පෙරේදා ඉතියෝපියාවෙදී ඝාතනය කරනර ලද සොහොයුරන් හා වෙනත් සියල්ලන් ගැන කල්පනා කරමු." එසේම සිර කුටි වැනි බොහෝ තැන්වල නිහඬව වේදනා විඳින කිතුනුවන් ගැනද ප්‍රැන්සිස් පාප්වහන්සේ සිහිපත් කළහ. "මියයන කිතුනුවන් කොප්‍ටික්, ඕතොඩොක්ස්,කතෝලික හෝ ප්‍රොතෙස්තන්ත ද යන්න වෙනසක්  නොවේ. ඒ සැම  කෙනකුම ක්‍රිස්තුන් වහන්සේ තුළ  එකම පවුලකට අයත්,"  යයි පාප් වහන්සේ අවධාරණය කළහ.

 තමාට එරෙහිව චෝදනා කළ පුද්ගලයන්ට විරුද්ධව සහ බොරු සාක්ෂි කී අය ඉදිරියේ තමා වෙනුවෙන් කරුණු කීමට ස්තෙවන් අපෝස්තුලු තුමාට සිදු වූ බව පාප් වහන්සේ පෙන්වා දුන්හ."දේව වචනය, සෑම විටම එක් කොටසක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තමන් තුළ ගලක් වැනි දැඩි හදවතක් තිබෙන විට දේව වචනය දරා ගත  නොහැකියි."

උන්වහන්සේ මෙසේ ද පැවසුහ: "සැඟවුණු ප්‍රාණ පරිත්‍යාගීන් රැසක් ද ඉන්නවා. දෙවිඳුන් ගේ වචනයට සවන් දෙන මෙම විශ්වාසයේ මිනිසුන් හා කාන්තාවන් සිය සොයුරු සොයුරියන්ට දෙවිඳුනට ප්‍රේම කිරීමේ නව මාර්ග සොයා දීමට උත්සාහ ගන්නවා."

මේ වූ කලී කිතුනුවනට උදාසීනව සිටිය හැකි සමයක් නොවේ. මෙය ක්‍රියාකාරී විය යුතු සමයකි. ක්‍රියාකාරී විය යුත්තේ ආධ්යාත්මිකවය. යාච්ඥා වෙන්, භාවනාවෙන් සහ නිරාහාර ශීලයෙනි. දුක් විඳින කිතුනු සොහොයුරන් හා සම්බන්ධ වී ඔවුන් වෙනුවෙන් යාච්ඥා කල යුතු ය. එපමණක් නොව ඔවුනට හිංසා කරන්නන් වෙනුවෙන් ද යාච්ඥා කල යුතු ය. "සැඟවුණු ප්‍රාණ පරිත්‍යාගී වරයෙක්" විය යුතු ය.

මෙහි  "කිතුනුවන් " යනු කතෝලිකයන් පමණක් නොවන බව තරයේ සිහියේ තබා ගත යුතු ය. පාප්වහන්සේ ඒ බව අවධාරණය කර තිබේ.

ප්‍රධාන සේයාරුව: කෙන්යාවේ දී මහ බ්‍රහස්පතින්දා එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මිය ගිය කිතුනුවන් වෙනුවෙන්, පාස්කු ඉරිදා නයිරෝබි නුවර ශුද්ධවූ පවුලේ බැසිලිකාවේ දී දෙවිඳුන් යදින පිරිමි ළමයකු ඇතුළු පිරිසක් 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය