පාප්වහන්සේගෙන් පරිසර සංරක්ෂණයට තවත් තල්ලුවක්

Pope Francis throws the weight of his office behind tackling climate change


(2015 අප්‍රේල් 17)
වතිකානය ජගත් පරිසර සම්මන්ත්‍රණයක් සංවිධාන කිරීමට යයි. එළඹෙන ග්‍රීෂ්ම ඍතුවේ (ජුලි හෝ අගෝස්තු මාසයේ) එලි දැක්වීමට නියමිත ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනයට පූර්වගාමීව මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ. පරිසර සංරක්ෂණයේ ආචාර ධාර්මික මානයන් පිළිබඳව ලෝක මට්ටමේ සංවාදය ඉහල මට්ටමකට ගෙන එම එහි අරමුණ බව වතිකානය පසුගිය දා ප්‍රකාශ කෙළේය.

මෙම එක්  දින පරිසර සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ අප්‍රේල් 28 වනදායි. එක්සත් ජාතීන් ගේ මහ ලේකම් බන් කී මූන් මහතා එහි සමාරම්භක දේශනය පවත්වන අතර පරිසර විද්‍යා සහ පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් කිහිප  දෙනකුම සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතයි. තවත් සුවිශේෂ කරුණක් වන්නේ ලෝකයේ ප්‍රධාන ආගම් වල නියෝජිතයන් පිරිසක් ද ඊට එක්  වීමයි.

විශ්ලේෂකයන් පවසන්නේ මෙය සුදොතුම්  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ "හරිත න්‍යාය පත්‍රයේ' තවත් එක අංගයක් බවයි. තවත් අතකින්, පාප්වහන්සේ අනපේක්ෂිත ලෙස  පරිසර විශ්ව ලේඛනයක් නිකුත් කිරීමට යන බව ඇසීමෙන් අන්ද මන්දව සිටින කතෝලික සම්ප්‍රදාය මතවාදීනටද , පාප්වහන්සේ මෙවැනි ක්ෂේත්‍ර ගැන අදහස් දැක්වීමෙන් වැළකිය යුතු බවට මත දක්වන ඇතැම් දාර්ශනිකයන්ට ද මෙය 'රතු එළියක්' බවද ඔවුහු පෙන්වා දෙති.

එසේ නමුදු නිදහස් මතධාරීන් සහ පරිසර වේදීන් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ "හරිත න්‍යාය පත්‍රය " උණුසුම්ව වැළඳගෙන තිබේ. උන්වහන්සේ ගේ ස්ථාවරය තමන්ට ශක්තියක් වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ අපේක්ෂිත විශ්ව ලේඛනයේ මෙන්ම මෙම පරිසර සම්මන්ත්‍රණයේ ද තවත් අරමුණක් වී ඇත්තේ "පරිසරයට ඇති ගෞරවය   සහ මානව  පුද්ගලයාට ඇති ගෞරවය  අතර ඇති නෛසර්ගික සම්බන්ධතාව" ඉස්මතු කිරීම යැයි වතිකානය පවසයි. විශේෂයෙන්ම දුප්පතුන්, බැහැරකරන ලද්දවුන්, මානව ප්‍රවාහන ජාවාරමට ගොදුරු වූවන්, ළමයින් සහ අනාගත පරපුර කෙරෙහි ගෞරවය මෙහි ප්‍රමුඛස්ථානය ගනියි.  පරිසරය හා මානව පුද්ගලයා  එකම කාසියේ දෙපැත්ත බව  ප්‍රැන්සිස් පාප්වහන්සේ කිහිප විටක්ම අවධාරණය කර තිබේ.

විශ්ව ලේඛනයක් යනු පාප්වහන්සේ කෙනකු විසින් නිකුත් කරනු ලබන අතිශයින් බලපෑම් සහගතම ලියවිල්ලයි. ලෝකයේ සමකාලීන ගැටළු හා අභියෝග පිළිබඳව කතෝලික සභාවේ දැක්ම සහ ශීල ධාර්මික මානය මේ මගින් විග්‍රහ කෙරේ.

"පරිසරයට අතුල් පහර එල්ල කර ඇත්තේ මිනිසායි" යයි පාප්වහන්සේ ඉකුත් ජනවාරියේ වාර්තාකරුවනට පැවසුහ. "අප පරිසරය පාගා දමා තිබෙනවා."
"මැවිල්ල (සොබා දහම) ආරක්ෂා නොකරන කිතුනුවා දෙවිඳුන් ගේ නිර්මාණයට ගරු නොකරන්නෙකි" යැයි තවත් විටෙක උන්වහන්සේ පැවසුහ.

(CNS)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය