"මේ දයාවට කාලයයි" - දයාවේ ශුද්ධ වසර ප්‍රකාශයට පත් කෙරේ

“This is the time for Mercy” : Holy Father proclaims the Extraordinary Holy Year 

(2015 අප්‍රේල් 14)
"දුක් වේදනාවලින් සහ දරුණු හිංසනයෙන් - විශේෂයෙන් කිතුනුවන් ඉලක්ක කොටගත් හිංසා පීඩා වලින් -  කැළැල් වූ ලෝකයක් තුළ, මේ දයාවේ කාලයයි." සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් මේ ප්‍රකාශය කලේ දයාවේ ජුබිලි වසර නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි. ජයන්ති වසර ප්‍රකාශයට පත් කිරීමේ මෙහෙය දේව දයාවේ මංගල්‍යයේ සැන්දෑ මෙහෙයත් සමග ඉකුත් සෙනසුරාදා සන්ධ්‍යාවේ සාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්විණි.

ජයන්ති වසර ප්‍රකාශයට පත් කෙරෙන සුදොතුම් පිය හසුන (The Bull ) ද එදිනම ශුද්ධාසනය විසින් ප්‍රකාශයට පත් කෙරින. මෙහෙය අවස්ථාවේ එහි පිටපතක් ලොවපුරා රදගුරු හිමිවරුනට බෙදාහැරීම සඳහා රදගුරු හිමිවරුන් පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී (කැනේඩියානු ) කාදිනල් මාක් අවුලේ හිමිපාණන්ට භාර දෙන ලදී.

ලොව විවිධ ප්‍රදේශවල අන්තවාදීන් ගේ පීඩනයට ලක්ව සිටින කිතුනුවන් සිහිපත් කල පාප් වහන්සේ, " දයාවෙන් පොහොසත් වූ ස්වර්ගීය පියාණන් වෙත අපගේ යැදුම වඩාත් තදබල උදව් ඉල්ලීමේ මොරගසීමක් විය යුතුය. මෙම පීඩා මැද  අපේ සහෝදර සහෝදරියන් ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නයි අපි මේ තදබල යාච්ඥාවලින්උන්වහන්සේට කන්නලව් කල යුතුයැ " යි  කියා සිටියහ. "මේ වසර තුළ අපි අප වෙනුවෙන් ඇතුලාන්ත සිත් හැරීමක් ඇති කර ගනිමු. මෙම සිත් හැරීම උදාසීනත්වයෙන් දයා කරුණාව වෙත කෙරෙන පරිවර්තනයක් විය යුතු "යැයි ද උන්වහන්සේ සඳහා කළහ.

"අපට සාමය ලබා දෙමින් සහ අප ධර්මිෂ්ට කරමින් දෙවිඳුන් ගේ දයාව අප වෙත වගුරුවා තිබේ. මේ වූ කලී ස්වාමින් වහන්සේ විසින් ස්වකීය සභාවට පවරන ලද මෙහෙවර යලි අනාවරණය කරගන්නට කාලයයි. එම මෙහෙවර නම් පියාණන්ගේ දයාවේ සලකුණක් සහ උපකරණයක් වීමයි" යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.

දයාවේ වසර හෙවත් අතිවිශේෂ ශුද්ධ වසර දේවමාතාවහන්සේ ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය සැමරෙන දෙසැම්බර අට වැනිදා ඇරඹෙයි. එය පරිසමාප්තියට පත්වන්නේ 2016 වසරේ ක්‍රිස්තු රජාණන් ගේ මංගල්‍යය දිනයේ දීය.

සටහන:

"දයාව" යනුවෙන් හෙළ බසට පෙරලා ඇති වදන ඉංග්‍රීසියෙන් "mercy "  ද ලතින් බසින් "misericordia" ද වේ. එම වදන් වල "දයාව යන වචනයේ ඇති සිංහල තේරුමට වඩා   ගැඹුරු තේරුමක් තිබේ. "වැරදි අමතක කර සමාව දෙන,  කරුණාව , මෘදු සෙනෙහස උතුරන යාගික  ප්‍රේමයක් " යන්න එහි ආසන්නම අරුතයි. "දේව  දයාව" යයි කියන විට ද අදහස් කෙරෙන්නේ එයයි. එබැවින් දයාව යන පදය එම ගැඹුරු අරුතින් වටහා ගත යුතුය.

වීඩියෝව: සෙනසුරාදා සැන්දෑ මෙහෙයේ දී ජයන්ති වසර ප්‍රකාශයට පත්කළ අයුරු
Video credit: Catholic News Service 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය