පවුල පිලිබඳ රදගුරු කතිකාව වෙනුවෙන් කැපවීමෙන් යදින්න - පාප් වහන්සේගෙන් ලොවපුරා කතෝලිකයන්ට ආයාචනයක්

The Church needs a prayer full of love for the family and for life,” Holy Father appeals

2014 පවුල් කතිකාවේ සැසියක් 
(2015 මාර්තු 25)
ලබන ඔක්තෝබර මාසයේ වතිකානයේ දී පැවැත්වෙන පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාව වෙනුවෙන් දිනපතා යාච්ඥා කරන්නැයි සසුන් පියාණෝ සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටිති. බදාදා සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවට එක්  වූ දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම ආයාචනය කළහ. මහත් ආදරයකින් යුතුව  පවුල් සහ ජීවිතය වෙනුවෙන්  අප යාච්ඥා කල යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ මොහොතේ සභාවට මෙම යැදුම් අත්‍යවශ්‍යව ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

පසුබිම 

පවුල පිලිබඳ අතිවිශේෂ ජගත් රදගුරු කතිකාව (Extraordinary Synod of Bishops on the Family) ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් කැඳවන ලද්දේ උන්වහන්සේ පාප් ධුරයට පත් වූ අලුතමය. මූලික සමාජ ඒකකය වන පවුල නූතන ලෝකය තුළ මුහුණ පා ඇති ගැටළු වලට එඬේරික කිතුනු පිළිතුරු හා විසඳුම් සෙවීම මෙහි අරමුණ විය. අතිශයින් ලෝකායත්ත  වූ වර්තමාන ලෝකය තුළ වැඩියෙන්ම බැටකන්නේ ද , අභියෝග හා ගැටළු වලට මුහුණ දී ඇත්තේ ද පවුලයි. දික්කසාද වැඩිවීම හා දික්කසාදය නිසා දරුවන්ට අත්වන ඉරණම, දික්කසාද වූ අඹු-සැමියන් හා දූ -දරුවන් ගේ සක්‍රමේන්තු ජීවිතය,  තනි මා  -පියන්  (Single parents) හා ඔවුන් ගේ දරුවන්ට අදාළ ප්‍රශ්න ඒ අතරින් සමහරකි.

පවුල පිලිබඳ සාම්ප්‍රදායික මෙන්ම කිතුනු නිර්වචනයට ද අභියෝග කරමින් නූතන ඓහික ලෝකය පුරා පැතිර යන  සංකල්පයක් වන සමලිංගික අයිතිවාසිකම් සංකල්පය ද කතෝලික සභාවේ දහම් සේවාවට ගැටළු එල්ල කල තිබේ. සමලිංගික  සම්බන්ධතා   විකෘතියක් ලෙස ද එම ශාරීරික සම්බන්ධතා පාපයක් ලෙස ද කතෝලික ශීල ධර්මය සලකයි. එහෙත් තමන් සමලිංගික ආකර්ෂණයෙන් යුත් කෙනෙක් යයි පවසන දු දරුවන්ට හා තමන්ට සමලිංගික පෙම්වතකු/පෙම්වතියක සිටින බව පවසන දු දරුවනට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ දැයි දෙමාපියෝ ප්‍රශ්න කරති. මෙය යුරෝපය හා ඇමෙරිකාවේ පමණක් නොව අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ රටවල කතෝලිකයන් ද මුහුණ  දෙන ගැටලුවකි.

මේ නිසා  , පාප් වහන්සේ කියා සිටියේ, මේ ගැටළු දෙස "ක්‍රිස්තුන් වහන්සේ ගේ දෙනෙතින් හා   හදවතින් බලා " විසඳුම් සෙවීම අතිවිශේෂ රදගුරු කතිකාවේ කාර්යභාරය විය යුතු බව ය.



කතිකාවට එක වූ ගිහි නියෝජිත පිරිසක් 
ගැටලුවලට වඩාත් ඵලදායි විසඳුම් ලබා ගැනීමේ අරමුණින් යහපත් කිතුනු ජීවිත ගත කරන විවාහක මා - පිය යුවල් ද කතිකාවට ආරාධනා කරනු ලැබ සිටියහ. සෑම දිනකම පවුල පිලිබඳ ඔවුන් ගේ සාක්ෂියකට සවන් දීමේ අවස්ථාව රදගුරු හිමිවරුනට ලබා දී තිබුනේය.

මෙම ගැටළුවල ස්වරුපය අනුව ඇතැම් කරුණු බෙහෙවින් විවාදාත්මක ඒවා බව පැහැදිලි විය. එබැවින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කතිකාවට සහභාගී වන සියළු සාමාජිකයන්ට අදහස් ප්‍රකාශනයේ නිදහස ලබා දී තිබිණි. " පාප් වහන්සේ ගේ අදහට එකඟ ද නැද්ද කියා ලතවෙන්න එපා. ඔබේ අවංක අදහස් විවෘතව ප්‍රකාශ කරන්න. එමෙන්ම සෙසු අයගේ අදහස්වලටත් ගරු කරන්න" යැයි පාප්වහන්සේ සමුළුවට පෙර කියා සිටියහ.
මේ අනුව කතිකාව තුළ  දී විවිධ අදහස් ප්‍රකාශ විය.

 මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සුදතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දැක්ම වී ඇත්තේ සභා ඉගැන්වීම් මත එල්බ ගෙන සිටියද ජේසු සමිඳුන් ගේ දයාවේ දෙනෙතින් හා හදවතින් (through the Merciful Heart of Jesus)ඒවා  දෙස බැලිය යුතු බවයි. ඒ අනුව ඇතැම් පුද්ගලයන්, පවුල් හෝ පවුල් වල සාමාජිකයන් ලේබල්  ගසා, කොන්කර , සභාවෙන් , දෙව්මැඳුරෙන් ඉවත් කර ඈත්කර තබනවාට වඩා, දේව දයාවෙන් (Mercy ) ඔවුන් පිළිගැනීමට හැකියාවක් තිබිය යුතු බව උන්වහන්සේ ගේ යෝජනාවයි. සමුළුවේ දී නිකුත් වූ අන්තර්වාර වාර්තාවේ මේ ඉසව්වට අවධානය යොමු කෙරෙන ප්‍රකාශයක් දක්නට ලැබිණ.

එහෙත් කතිකාවට සහභාගී වූ  සාම්ප්‍රදායික මතධාරී රදගුරු හිමිවරුන් ගේ මතය ඊට ඉඳුරාම වෙනස් වූයේය . ඔවුන් ගේ ස්ථාවරය වී තිබුනේ  පවුල හා විවාහය පිළිබඳව සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ ප්‍රකාශ වෙනස් කිරීමට කතෝලික සභාවට බලයක් නොමැති බවයි.
සමුළුව අවසන් වුයේ අවසන් නිගමනයකින් තොරවය. මේ වසර තුළම යැදුම  තුළ මෙම ගැටළු වලට විසඳුම් ගැන භාවනා කර 2015 ඔක්තෝබරයේ පැවැත්වෙන සාමාන්‍ය රදගුරු කතිකාවට සහභාගී වන්නැයි පාප්වහන්සේ රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියහ.
මේ අනුව මේ වසරේ ඔක්තෝබරයේ පැවැත්වෙන ජගත් රදගුරු සාමාන්‍ය කතිකාවේ දී පවුල පිලිබඳ ගැටළු සමබන්ධයෙන් අවසන් විසඳුම් වලට එළඹීමට හැකි වෙතැයි වතිකානය බලාපොරොත්තු වෙයි.


වගකීම් බරපතලයි.- යැදුම් බලය අත්‍යවශ්‍යයි 

මහන්සි ද? භාවනාව ද? අවධානය ද?

ඉකුත් දා මෙක්සිකානු රූපවාහිනී සේවාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවෙදී ප්‍රැන්සිස් පාප්වහන්සේ කියා සිටියේ රදගුරු කතිකාව කැඳවීම ශුද්ධාත්ම මගපෙන්වීමෙන් සිදු වූවක් බවට තමා විශ්වාස කරන  බවයි. එහි වගකීම  අති මහත් බැවින් එහි සාර්ථකත්වය වෙනුවෙන් යදින්නයි උන්වහන්සේ ආයාචනා කළහ. මේ නිසා මේ වසර පුරාම ලබන ඔක්තෝබරය දක්වා බදාදා පොදු හමුවේ දී පවුල පිළිබඳව තම ධර්මොපදේශ ඉගැන්වීම් නොකඩවා කරගෙන යන බව මේ බදාදා පොදු හමුවේ දී උන්වහන්සේ සඳහන් කළහ.

බදාදා සුබ අස්නෙන් කියවුණු දේවදුතයා මරිය තුමියට මංගලම් කීමේ අවස්තාව විස්තරකල ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්නේ , යුවලක් විවාහ වූ විට  එම පවුල කිසි විටෙකත් අත්හැර නොදැමීමට සභාව බැඳී සිටින බවයි." එම යුවල සභාවෙන් දුරස්ව ගියද, පාපයට වැටුනද එම පවුල ඇත නොහැරිය යුතුය. ඒ වෙනුවට කල යුත්තේ සමිඳුන් තුළ ඔවුන් සිත් මාරුවටත් සමගි සන්ධානයටත් කැඳවීමයි."
"මෙම මෙහෙවර ඉටු කරගැනීම සඳහා ප්‍රේමයෙන් පවුල වෙනුවෙනුත් ජීවිතය වෙනුවෙනුත් කරන යාච්ඥා සභාවට අවශ්‍යව තිබේ. විශේෂයෙන් රදගුරු කතිකාව සඳහා මෙම යැදුම් අවශ්‍යය. "

"රදගුරු කතිකාව වෙනුවෙන් නොකඩවා යාච්ඥා කරන මෙන් මම ඔබට ආයාචනා කරනවා. මේ සමුළුවෙන් යහපත් එඬේරා සිය රැල වෙත ඇති දයාව පිළිබිඹු වේවායි  ද  සභාව වඩාත් කැපවීමෙන් හා පැහැදිලිව දෙවියන් වහන්සේ පවුල් වෙත දක්වන කරුණාබර ප්‍රේමයේ සත්‍යය පිලිබඳ සාක්ෂි දරත්වායි කියා ද අපි යාච්ඥා කරමු " යි ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

(CNA )

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය