ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සන් ජුසේ සම්බන්ධය

Joseph Connection in Francis Papacy 

(2015 මාර්තු 20)
ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දෙවසරක දුත මෙහෙවර පිලිබඳ විශ්ලේෂණය කරන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ උන්වහන්සේ වෙතින් ඍජුවම විද්‍යමාන වූ ප්‍රධාන කරුණු  දෙකක් කෙරෙහි පමණි. එනම් උන්වහන්සේ ප්‍රථම ජේසු නිකායික පාප් වහන්සේය යන්න සහ උන්වහන්සේ දුප්පතුන් හා දුප්පත්කම  කේන්ද්‍ර කොටගත් සාන්ත ප්‍රන්සිස් අසීසි තුමන් ගේ නම හා දුත මෙහෙවර සිය ආදර්ශය  කරගෙන ඇත යන්නයි. 

එහෙත් මෙම විශ්ලේෂකයන් ගේ අවධානය යොමු නොවූ ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සේවය හා බැඳුනු තවත් සාධකයක් තිබේ. එනම්  ජේසු ගේ සුරැකි පියා වන ශුද්ධ වූ ජුසේ මුනීන්ද්‍රයා යි. 
ලෝකය මවිත කරමින් 2013 මාර්තු 13 වන දා රෝමයේ රදගුරුතුමන් (පාප් වහන්සේ ගේ නිල තනතුරු නාමය) ලෙස තේරී පත් වූ හොර්හේ මාරියෝ බොර්ගොග්ලියෝ කාදිනල් තුමන් ගේ පාප් ධුරයේ පදවි ප්‍රාප්තිය සිදුවුයේ මාර්තු 19 වන දා  යි. එනම් ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනයේ යි.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ශු. ජුසේ මුනිඳුන්ට විශේෂ ආදර භක්තියක් ඇති බව එතුමන් ගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් තහවූරු වී තිබේ. පාප්ධුරයට පත් අලුතම  ජුසේ මුනිඳුන් ගේ නම දිව්‍ය   පුජාවේ දිව්‍ය සත්ප්‍රසාදීය යැදුමේ (Eucharistic Prayer) දේව මාතා වහන්සේ ගේ නම කියැවෙන ස්ථානයට පසුව යොදන ලෙස උන්වහන්සේ උපදෙස් දුන්හ. පිලිපීනයට ගිය අවස්ථාවේ උන්වහන්සේ ජුසේ තුමන් තම ජීවිතයට ඇති සම්බන්ධය රස කොට කීවේය: "මට ප්‍රශ්නයක් ගැටළුවක් ආවම මම ඒවා කොලයක  ලියල කොලේ නවල ජුසේ මුනිඳුන් ගේ සුරුවම පාමුල තියනවා, උන්වහන්සේට මා  වෙනුවෙන් ඒ ගැන සිහින දකින්න හැකිවෙන්න." තම නිදන කාමරයේ ජුසේ තුමන්ගේ පුංචි ප්‍රතිමාවක් තිබෙන බව ද පාප් වහන්සේ කීහ. 

එහෙත්  ප්‍රැන්සිස් පාප්වහන්සේ ජුසේ මුනිඳුන්ගෙන් ලබන අධ්‍යාපනය සහ ආලෝකය ඊට වඩා ගැඹුරු බව දක්නට ලැබේ. සිය පදවි ප්‍රාප්ති දිව්‍ය පුජාවේ  දේශනයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ තේමාව කරගත්තේ ජේසුගේ සුරැකි පියා ද ශුද්ධ වූ පවුලේ ප්‍රධානියා ද වූ ජුසේ තුමන් ගේ බැලු බැල්මට  නොපෙනෙන කවුරුත් කතා නොකරන "එඬේරික ජීවිතයයි". පාප්වහන්සේ සිය එඬේරික දහම් සේවාවේ මාර්ග සැලැස්ම ලෙස යොදාගෙන ඇත්තේ ද සිය දැක්ම කොට ගෙන ඇත්තේ ද ජුසේ මුනි 'එඬේරික' භූමිකාව බව පැහැදිලි වේ. ජුසේ මුනිඳුන් ගේ ජීවිතය ආදර්ශ කොට ගනිමින් සිය දහම් සේවා දැක්ම (vision of his ministry) පාප් වහන්සේ එම දේශනයේ දී විස්තර කළහ.

පාප්තුමන් ලෙස තමන් ගේ ද සභාවේ සියලු එඬේරුන් ගේ ද භූමිකාව විස්තර කළ උන්වහන්සේ " සැබෑ බලය යනු සේවය බව අප අමතක නොකළ යුතුයැ " යි පැවසුහ. "පාප් වහන්සේ ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ ජීවිත ලක්ෂණය වූ නිහතමානී, ප්‍රායෝගික සහ විශ්වාසවන්ත සේවාවෙන් ආලෝකය ලැබිය යුතුය.ජුසේ මුනිඳුන් මෙන් පාප්වහන්සේ සිය දෑත් දිගහැර දෙවිඳුන් ගේ සියලු ජනතාව ආරක්ෂා කල යුතුය; සමස්ත මානව වර්ගයත් - විශේෂයෙන් දුප්පත් ම, දුර්වලම වැදගත්කමින් අඩුම අයත්   - මෘදු වූ සෙනෙහසින් වැළඳ ගත යුතු ය. "
"ජනතාව ආරක්ෂා කල හැක්කේ ප්‍රේමයෙන් සේවය කරන්නන්ට පමණකැයි " පාප්වහන්සේ අවධාරණය කළහ.

දෙවසරක් නික්ම යද්දී පාප්වහන්සේ ගේ මෙම "ජෝසේපු සිත්තම" හුදෙක් සිත්තමක් නොව සැබෑවක් බවට පත් වී තිබේ. සිය ප්‍රථම ව්ශ්ව ලේඛනය උන්වහන්සේ වෙන් කළේ ලෝක ප්‍රසාදයට පත් නුතන විවෘත වෙළෙඳ පොල ආර්ථිකය විසින් ඇතිකර තිබෙන සමාජ ආර්ථික අසාධාරනය ගැන පෙන්වා දෙන්නටය. දුපතුන් සහ මේ ආර්ථික ක්‍රමයෙන් හැලී යන්නන් ආරක්ෂා කර ගැනීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කරන්නටය. එපමණක් නොවේ. උන්වහන්සේ දයාබර තාත්තා කෙනකු මෙන් දෑත් දිගුකර සියල්ලන් - විශේෂයෙන් දුප්පතුන්, කොන්වුවන්, අබාධිත නොහොත් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්  වැළඳ ගනිති. ඔවුන්ට සවන් දෙති. උපදෙස් දෙති. ඔවුන් සනසති.

උන්වහන්සේ ගේ "දේව ජනතාව" යන්නට ඇතුලත් වන්නේ කතෝලික ජනතාව පමණක් නොවේ. කතෝලික නොවන කිතුනුවන් ද ඊට ඇතුලත් ය. රෝමානු කතෝලිකයන් නොවන සියලු කතෝලිකයන් ද ඊට ඇතුලත්ය. "කිතුනුවන් අතර ඇති භේද දරුණු අපචාරයක්! දරුණු අපචාරයක්!" උන්වහසේ කිහිප වතාවක් කීවේය. උන්වහන්සේ ගේ දෙවසර තුළ සභා අතර සංවාදය නැවුම් මුහුණුවරක් හා වඩා උණුසුම් තත්වයකට පත්ව තිබේ. ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දේව ජනතාව ඊටත්  ඔබ්බට යයි. ජේසු සමිඳුන් ගේ ගැලවීම සියල්ලන්ට විවෘත යැයි උන්වහන්සේ කිහිප වතාවක් පැවසුහ. වෙනෙකක් තබා අදේවවාදීනටත් ගැලවීමේ දොරටුව විවෘත බව උන්වහන්සේ අවධාරණය කළහ. පුද්ගලයකු තම හර්ද සාක්ෂියට අනුව කටයුතු කරන්නේ නම් ඔහු දෙවිඳුන්ට අවනත වන පුද්ලයකු බව අදේවවාදී පත්‍ර කලාවේදියකු සමග පැවති  සාකච්ඡාවකදී උන්වහන්සේ පෙන්වා දුන්හ. පසුගිය වසරේ ඇතැම් ආන්දෝලනාත්මක කරුණු පවා ඉස්මතු වූ පවුල පිලිබඳ ලෝක රදගුරු අතිවිශේෂ කතිකාව වූ කලී අර්බුදයට ලක්ව ඇති නුතන පවුල් සංස්ථාවේ "නැති වූ/අතරමං  වූ / පලා ගිය/රෝගී වූ   බැටළුවන්" යලි රළට හෙවත්  සභාවේ සෙවනට ගෙන ඒමට පාප්වහන්සේ දරන උත්සාහයේ ප්‍රතිඵලයක් සේ හඳුන්වා දිය හැකිය. මේ සියල්ල පියකු ලෙස දෑත් දිගහැර සියල්ලන් වැළඳ ගන්නට උන්වහන්සේ සුදානම් ව සිටින ආකාරය පිළිබිඹු කරයි.

ඒ ශු. ජුසේ මුනි සේවාව  ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙතෙක්ඉටුකර ඇති ආකාරයයි. ඉදිරියේ දී , දේව කැමැත්ත අනුව, කුමක් බලාපොරොත්තු විය හැකි ද?

ආරක්ෂකයා හෝ සංරක්‍ෂකයා ලෙස ශු. ජුසේ මුනිඳුන්ගේ භූමිකාව හුදෙක් කිතුනු භූමිකාවක් නොවේ. " ක්‍රිස්තු ආගමනයට පෙර සිට පැවැති මානව පදනමක් ඊට ඇතැ " යි ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය දේශනාවේ දී කියා සිටියහ. "මෙය මැවිල්ල,  මැවිල්ලේ සුන්දරත්වය, සංරක්ෂණය කිරීමයි. උත්පත්ති පොත අපට කියා දෙන ආකාරයට සහ අසීසියේ ප්‍රැන්සිස් තුමන් ජීවත් වූ ආකාරයට අප ජීවත් වන පරිසරය ඇතුළු සෑම දේව මැවිල්ලකටම අප ගෞරව කල යුතුයි."

"අවසානයේ දී සියල්ල භාර වන්නේ මානව වර්ගයා ගේ ආරක්ෂාව  යටතටයි. එය මානවයන් ලෙස අපගේ වගකීමයි."

"අපි දෙවියන් වහන්සේ ගේ ත්‍යාග වල ආරක්ෂකයන් වෙමු" යි සාන්ත පීතර චතුරශ්‍රයට  රැස්ව සිටි 200,000 ක් පමණ වූ බැතිමතුන් සහ 131ක් වූ රාජ්‍ය නියෝජිතයන් අමතමින් ප්‍රැන්සිස් පාප්වහන්සේ එදා කියා සිටියහ.
අපි දැන් උන්වහන්සේ ගේ දෙවන විශ්ව ලේඛනය බලාපොරොත්තුවෙන් සිටිමු. එය ජුනි හෝ ජුලි මාසයේ එලි දැක්වීමට නියමිතය. එය වෙන් වන්නේ මානව හා සොබා දම් සංරක්ෂණය ගැන කතා කිරීමටය.
මේ වූ කලී සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමන්ගේ ජීවිත පැවැත්ම තෝරාගත් ජුසේ මුනිඳුන් ගේ මොඩලයේ ජේසු නිකායික පාප්වහන්සේ කෙනකු ගේ දෙවසරක සේවාවේ  අසම්පුර්ණ විශ්ලේෂණයයි.

ගැටලුව නම් දෙවසරක් ගතවීත් ප්‍රැන්සිස් පාප්වහන්සේ කතාකරන සහ ජීවත් වන මෙම" ජුසේ-ප්‍රැන්සිස්"  ශෛලිය උන්වහන්සේ ගේ හද බැඳගත්  පර්යන්ත සභා වෙත ගලා යන්නේ ද යන්නයි. උන්වහන්සේ සරල, නිහතමානී , ප්‍රායෝගික සේවක-නායක ජීවිතයක් ගත කරද්දී පර්යන්ත සභාවල නායකයන්  තවමත් පැරණි 'මහේශාක්‍ය" නායකත්වයෙන් ඉවත්වන්නට සුදානම් නොමැති ද යන්නයි. ජුසේ මුනිදුන් මෙන් ජේසු ගේ රැල සංරක්ෂණය කරනු වෙනුවට ඔවුන්ගෙන් ගරු බුහුමන් වැඳුම් පිදුම් පමණක් බලාපොරොත්තු වන්නේ ද යන්නයි.

පාප්වහන්සේ වෙනස් වුව ද එම ප්‍රබල වෙනස සභාවේ පහල නායකත්වය විසින් වැළඳගෙන ජීවත් නොකරන්නේ නම්,  ප්‍රැන්සිස් සසුන් පියාණන් පත් කිරීමෙන් සමිඳාණන් යමක් බලාපොරොත්තු වී ද එය ඉටු කර ගැනීම පිලිබඳ උන්වහන්සේගේ බලාපොරොත්තුව කඩ කිරීමක් වන්නේ ය. සිය හාම්පුතා ගේ කැමැත්ත (දෙවියන් වහන්සේ ගේ කැමැත්ත) ඉටුකිරීමට සියලු රදගුරු හිමිවරු බැඳී  නොසිටිත් ද?

(Based on the articlePope Francis and the road map of a St. Joseph pontiff” written by   Joshua J. MacElwee published in the National Catholic Reporter)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය