තාත්තා ගේ උරුමය "ප්‍රඥාව හා අවංක කමයි": බදාදා පොදු හමුව

තාත්තා  කෙනෙකුට සිය දරුවන්ට තබා යා හැකි වටිනාම උරුමය නම් ප්‍රඥාව ඉගෙනගැනීමට ඇති බලවත් කැමැත්ත බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ඉකුත් බදාදා පැවැත්වුණු පොදු හමුවේ දී එතුමා දෙමාපියන් අමතමින් මේ බව කියා සිටියේය. මේ වසර තුළ සුදොතුම් පියතුමා ගේ බදාදා පොදු හමුවල ධර්මෝපදේශ දේශනයේ තේමාව වී ඇත්තේ පවුල යි. මෙවර එතුමා කතා කලේ පවුල තුළ තාත්තා සතු කාර්ය භාරයේ කොටසක් ගැනයි. 

"සෑම පවුලකට ම තාත්තා කෙනෙක් සිටිය යුතුයි. මේ තාත්තා ගේ ආශාව විය යුත්තේ තමා වගේ දරුවෙක් සිටිනවා කියා පාරට්ටු කරගැනීම නොවේ. ඔහු තුළ තිබිය යුතු බලවත් සතුට විය යුත්තේ යහපත්කම, ධර්මිෂ්ටකම සහ ප්‍රඥාව ගැන ඉගෙන ගැනීමට ඇති කැමැත්තයි. ජීවිතයේ ඉතිරිවන එකම දේ එයයි" යයි සුදොතුම් පියතුමා මෙහිදී කියා සිටියේය. "මේ අනුව පියෙකුට සිය දරුවනට සන්නිවේදනය කළ හැකි උදාරම උරුමය ප්‍රඥාව හා යහපත්කම ලබා ගැනීමට ඇති මෙම කැමැත්ත" බව එතුමා පෙන්වා දුන්නේ ය. "දරුවන් මෙම උරුමය ලබාගෙන එයින් ප්‍රයෝජන ගන්නා අයුරු දැකීමෙන් ඔබ ප්‍රමෝදයට පත්වනු ඇත" යි එතුමා සඳහන් කළේය. 

ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ තාත්තා ගේ භූමිකාව ගැන කියැවෙන උපදෙස් සුදොතුම් පියතුමා මෙම දේශනයට පාදක කරගත්තේ ය. " 'පියකු සිය දරුවන් ප්‍රඥාවෙන් සහ අවංකකමින් වර්ධනය වනු දැක සතුටු වන්නේ' යැයි එහි සඳහන් වනවා. මෙයින් කියවෙන්නේ පවුල තුළත් තමා ජීවත්වන සමාජය තුළත් පියකු විසින් ඉටු කල යුතු මෙහෙවරයි. යහපත් පියෙකු දිනපතා  තමන් තුළින් ගලා එන ආදරය හා අවංකකමට ආදර්ශයක් වෙමින්  සිය දරුවනට ඒ ගුණාංග උගැන්විය යුතුය. දරුවා මෙතෙක් නොදන්නා දෙයක් ඉගැන්වීමට ද, ඔවුන් වැරද්දක් යැයි නොදකින  දෙයක් නිවැරදි කිරීමට ද, ඔවුන් ගේ හදවත් වලට මග පෙන්වමින්, අධෛර්යවත් වූ අවස්ථා හා දුෂ්කර අවස්ථා වලදී ඔවුන් ආරක්ෂා කොට ශක්තිමත් කිරීමට ද පියකු වෙහෙස ගත යුතු" බව එතුමා පෙන්වා දුන්නේය. 

"යහපත් පියෙකු දරුවනට ඉතා සමීපව, මෘදු බවින්, එසේම දරුවන් අවමානයට පත් නොකරන ආකාරයේ දැඩි බවකිනුත් යුතුව ඔවුනට මග පෙන්විය යුතුයි. අද අප ජීවත්වන්නේ පියවරුන් බොහෝ විට දරුවන් සමග නොමැති සමාජයකයි. එහෙත් පවුලේ සෑම වැදගත් අවස්ථාවකම තාත්තා පවුල සමග, දූ  දරුවන් සමග ඊට සහභාගී වීම අත්‍යවශ්‍යයි. මේ නිසා යහපත් පියකු වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ පවුල සමග නිරන්තරයෙන් ජීවත් වීමයි පවුල් ජීවිතයට සහභාගී වීමයි."

"මුලින්ම තාත්තල ගෙදර සිටින්නට  ඕනෑ .තාත්තා තමන්ගේ බිරිඳ සමග සෑම දෙයක්ම බෙදා ගන්න ඈ සමග ඉන්න ඕනෑ; මොනවද බෙදා ගන්නේ? සතුට,දුක , බලාපොරොත්තු, වෙහෙස මහන්සිය, හැම දෙයක්ම. ඔහු දරුවන් ලොකු මහත් වෙද්දී එය බලාගෙන සිටීම අවශ්‍යයි. ඔවුන් සෙල්ලම් කරද්දී, මහන්සි වෙලා වැඩ කරද්දී, ඔවුන් කරදයක් නැතිව ඉන්නකොට වගේම කනස්සල්ලට පත් වී ඉන්නකොට, ඔවුන් තමන්ගේ හිතේ තියෙන දේ කියද්දී වගේම නිශ්ශබ්දව ඉන්නකොට, ඔවුන් නිර්භීත වෙද්දී වගේම ඔවුන් ඔවුන් බය වෙද්දී,ඔවුන් වැරදි පියවරක් ගන්නකොට වගේම යහපත් මාර්ගය හොයාගෙන යනකොට, තාත්තා ඉන්න ඕනෑ .මෙහි අදහස තාත්ත හැම දෙයක්ම පාලනය කරන්න ඕනෑ කියන එක නොවෙයි. හැම දෙයක්ම තාත්තා පාලනය කරන්න ගියොත් දරුවන් ලජ්ජාවට අවමානයට පත්වෙනවා.එවිට දරුවන් වර්ධනය වෙන්නේ නැහැ." යයි සුදොතුම් පියතුමා  සඳහන් කලේය. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය