නයිජීරියා කතෝලික සභාවේ වර්ගවාදය හා ගෝත්‍රික වාදය විසින් ක්‍රිස්තු ඉගැන්වීම පරාජය කෙරේ; පූජකවරුන් විසින් ප්‍රතික්ෂේප කල රදගුරුතුමා ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි

Pope Francis backs down in dispute with Nigerian priests; accepts bishop's resignation


(2018 පෙබරවාරි 21)
ගෝත්‍රික වාදය හා වර්ගවාදය විසින් විනාශ කලන ලබන්නේ ලෞකික ලෝකය පමණක් නොවේ. ආගමික සංවිධානවලට  ද වර්ගවාදී ගින්නෙන් බරපතල හානි සිදුවෙයි.  කතෝලික සභාව තුළ ද වර්ගවාදී හා ගෝත්‍රික බලහත්කාරකම අඩු වැඩි වශයෙන් පවතියි. එම භේද  සභාව තුළ පවතින පදවිවාදය හා නිකාය විරෝධය ද සමග මිශ්‍ර වී පූජක හා ගිහි හදවත්  අහංකාරයෙන් හා මානයෙන් පිම්බුණු කල ක්‍රිස්තු ඉගැන්වීම යටපත් වෙයි.

නයිජීරියාවේ දකුණු දිග අහියාරා රදගුරු පදවියෙන් වාර්තා වන්නේ එවැනි ශෝචනීය සිදුවීමකි.

එම පදවියේ රදගුරු තුමන් ලෙස පත් කරන ලද පීටර් ඔක්පලෙකේ රදගුරු තුමන් වෙත එම පදවියේ පුදැදුරුවරුන් වෙතින් එල්ල වූ දැඩි විරෝධය නිසා එතුමන් භාර  දුන් ඉල්ලා අස්වීම පිළිගන්නා බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සඳුදා (පෙබරවාරි 19) ප්‍රකාශ කළේය.ඒ වෙනුවට යාබද උමුවාහියා පදවියේ ලුසියුස් උගොර්ජි රදගුරු තුමන් එම පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස පත් කර ඇති බවද වතිකානය නිවේදනය කළේය.

මීට අවුරුදු 5 කට පෙර  පීටර් ඔක්පලෙකේ පියතුමන් අහියාරා පදවියේ රදගුරු තුමන් ලෙස පත්කරන ලද්දේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසිනි. එහෙත් එම පත්වීමට අහියාරා පදවියේ පුදැදුරුවරු එක හෙලා විරුද්ධ වූහ. ඔවුන් පීටර් ඔක්පලෙකේ  පියතුමන්ගේ පත්වීමට විරුද්ධ වීමට හේතු කිහිපයක් ඉදිරිපත් කළහ. එක් ප්‍රධාන හේතුවක් වූයේ එතුමා එම පදවියට අයත් පුදැදුරුවරයකු නොවීමයි. මෙම පුදැදුරු වරුන් එතුමනට එම පදවියටත් ආසන දෙව්මැදුරටත් ඇතුළු වීම අවහිර කළහ. මේ නිසා පීටර් ඔක්පලෙකේ පියතුමා ගේ රදගුරුවර දානය සහ පදවි ප්‍රාප්තිය සිදුකරන ලද්දේ වෙනත් පදවියක ප්‍රධාන දෙව්සත්හලකය.

අහියාරා පදවියේ පුදදුරුවරුන් පීටර් ඔක්පලෙකේ රදගුරුතුමාට විරුද්ධ වීමට ප්‍රධානම හේතුව එතුමා පදවියේ බහුතර ජනවර්ගය වන  වන ම්බයිසේ ගෝත්‍රයට අයත් නොවීමයි. නයිජීරියාවේ වැඩිම කතෝලික ජනගහනයක් සිටින පදවිය සේ ම  වසරකට වැඩිම පුදදුරු වරුන් සංඛ්‍යාවක් බිහිකරන පදවිය ද එයයි මේ නිසා වෙනත් අප්‍රිකානු රටවලට මෙම පදවියෙන් ධර්මදූත පියවරු ද පිටත් කර යවෙති. මේවා සැලකිල්ලට ගෙන  තම පදවියේ පුදැදුරුවරුන් ගෙන් කෙනෙකුම සිය රදගුරුවරයා ලෙස පත් කල යුතු බව පදවි මානයෙන් යුත් මෙම පදවියේ පූජකවරු සිටියහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පත්වීමෙන් පසුව අපෝස්තලික පරිපාලක කෙනෙකු යට‍තේ මෙම ප්‍රශ්නය සාමකාමීව විසඳීමට එතුමා උත්සාහ කල ද අහියාරා පුදැදුරුවරු සිය ස්ථාවරය වෙනස් කිරීමට හෝ මඳක් හෝ නම්‍ය වීමට කැමති නොවූහ.

ඉන් පසුව ඉකුත්  වසරේ ජුනි මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තරමක දැඩි තීරණයක් ගත්තේය. පීටර් ඔක්පලෙකේ රදගුරු තුමාට විරෝධය දක්වන පූජකවරුන් ඊට සමාව ඉල්ලා සහ මනස්තාප වෙමින්  පුද්ගලිකවම තමන් වෙත ලියුමක් එවිය යුතු බව එතුමා කීවේය. එසේ නොවන පූජකවරුන් ගේ පුදැදුරුවරයා අත්හිටුවීමට  සිදුවන බව එතුමා සඳහන් කළේය. සුදොතුම් පියතුමා  කියා සිටියේ පීටර් ඔක්පෙලකේ රදගුරු හිමිපාණන්ට විරෝධය දක්වන  අහියාරා පදවියේ පියවරුන්ට අවශ්‍යව ඇත්තේ සභාව විනාශ කිරීමට බවයි. 

එම කතාව මෙතනින් කියවන්න:
“රදගුරු තුමන් පිළිගන්න; නැතහොත් පූජකවරයේ කාර්යයන් අත්හිටුවනවා” සුදොතුම් පියතුමාගෙන් නයිජීරියා පූජකවරුන්ට අවසන් අවවාදයක්

එහෙත් ඉකුත් කාලය තුළ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණු නිසා රදගුරු තුමන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පිළිගන්න ලදැයි වතිකාන නිකුත් කල කෙටි නිවේදනයේ සඳහන් වෙයි.
 කෙසේ නමුත් පදවියේ පුදැදුරුවරුන් 200 දෙනෙකු සුදොතුම් පියතුමන් ගෙන් සමාව ඉල්ලා පෞද්ගලිකවම එතුමා වෙත ලියුම් ඒවා තිබු බව වතිකානයේ ජනතා ධර්මදානය පිලිබඳ සසුන් පර්ෂදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. පර්ෂදය මෙම සෑම පියතුමෙකුටම  ඊට පිළිතුරු යවා තිබේ. සෙසු පියවරුන් කියා තිබුනේ "රදගුරු තුමන් සමග වසරක  පමණ කාලයක් පැවති අර්බුදය නිසා එතුමන්ට සහාය වීමට තමන් තුළ මානසික දුෂ්කරතාවක් පවතින" බවයි. සමාව නොඉල්ලූ පූජකවරුන් සම්බන්ධයෙන් සභා නීති ප්‍රකාර කටයුතු නොකිරීමට සුදොතුම්  පියතුමා තීරණය කර ඇති බවද ඒම නිවේදනයේ සඳහන් වෙයි.

"මෙම හැසිරීම මගින් ක්‍රිස්තු සභාව මත ඇතිකරන ලද බරපතල හානිය ගැන මෙනෙහි කරන ලෙස පදවියේ  සියලු රදගුරු හිමි වරුන්ගෙන් පර්ෂදය ඉල්ලා සිටියි. පාප් වහන්සේ විසින් පත්කරනු ලබන රදගුරු තුමන් ගේ නීත්‍යනුකුල භාවයට විරෝධය පල කරමින් සිදුකරන මෙවැනි පදනමකින් තොර ක්‍රියාමාර්ග පුදදුරු වරුන් විසින් ආනාගතයදී නොගනු ඇතැයි පර්ෂදය බලාපොරොත්තු වෙයි" යයි එම නිවේදනයේ සඳහන් වෙයි.

නයිජීරියාවේ කතෝලික සභාවේ මෙම වර්ගවාදී, ගෝත්‍රික වාදී සහ පදවි වාදී ක්‍රියා මාර්ගය සභා ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් ලෙස සටහන් වනු ඇත. මෙම විරෝධයෙන් ක්‍රිස්තු සභාවට සිදු වූ බරපතල තුවාලය සුවපත් කිරීම සඳහා අවංක පශ්චාත්තාපී සහ සමගි සන්ධාන මෙහෙයක් අවශ්‍ය වනු ඇත.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය