"ම්‍යන්මා භුමිය මත තවත් ලේ වැගිරීම් එපා! ...සත්‍යය ජග්‍රහණය කරනු ඇත" ම්‍යන්මා (බුරුම) හමුදා කුමන්ත්‍රණය ගැන එරට කාදිනල් හිමි ගේ ප්‍රබල දිවැසිවර ප්‍රකාශය. "ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න; අත්අඩංගුවට ගත් සියල්ලන් ඉක්මණින් නිදහස් කරන්න" හමුදා කුමන්ත්‍රණ කරුවන්ට කියයි:

Myanmar Cardinal Bo's ‌prophetic message: "Let no more blood be shed in Myanmar." He encourages arrested NLD leaders, "Truth will prevail"

ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවන ලෙස ඉල්ලා වීදී බට ම්‍යන්මා ජනතාව 

(2021 පෙබරවාරි 7)

ම්‍යන්මා (බුරුම) භූමිය මත තවත් ලේ වැගිරීම් ඇති වන්නට ඉඩ නොදෙන්නැයි එරට යැන්ගොං  පදවියේ අගරදගුරු චාල්ස් මාවුං බෝ කාදිනල් හිමි අවධාරණය කරයි.  "අපගේ රට ඉතිහාසයේ අතිශය අඳුරු ම කාලයට පිවිසී ඇති මේ මොහොතේ .. කල් පවත්නා විසඳුමක් වෙනුවෙන් සියල්ලන් වෙත ඇති ප්‍රේමයෙන් මේ ආයාචනය කරමි" යි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමා කියා සිටියි. 

කාදිනල් චාල්ස් බෝ හිමි මෙම නිවේදනය නිකුත් කළේ ම්‍යන්මාවේ යුද හමුදාව මධ්‍යම රාත්‍රී කුමන්ත්‍රණයක් මගින් එරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකින්, මාධ්‍ය වේදීන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන, කුමන්ත්‍රණ ජුන්ටාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය. 

ම්‍යන්මාවේ (බුරුමයේ) වත්මන් තත්වය කෙටියෙන් 

ම්‍යන්මාවේ මහ මැතිවරණය 2020 නොවැම්බර 8 වැනි දින පැවැත්විණි. එම මැතිවරණයෙන් අවුන් සාන් සූ කී නායකත්වය දෙන NLD හෙවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය සියට 80කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. 

මේ ප්‍රතිඵලයෙන් එරට යුද හමුදාව ප්‍රමුඛ විපක්ෂය අන්ද මන්ද විය.  1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනා ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් එරට පැවතුණේ 1962 දක්වා පමණි. 1962  දී සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු 2015 දක්වා එරට පාලනයකලේ යුද හමුදා ආණ්ඩු ය. යළිත් බලයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි ඔවුහු  මෙවර ප්‍රතිඵලය  දරුණු   පරාජයක් ලෙස දුටහ. මේ නිසා ඔවුහු 'ට්‍රම්ප් වාදී" ක්‍රම වේදයක් මගින් බලය උදුරා ගැනීමට කුමන්ත්‍රණය කළහ. එනම් මේ ඡන්දයේ දී මැතිවරණ අක්‍රමිකතා සහ වංචා සිදු වී ඇති බවට ප්‍රචාරයක් ගෙන යාමයි. එම ප්‍රචාරයේ නායකත්වය ගත්තේ යුද හමුදාව විසින් පත් කරන ලද  උප ජනාධිපති ම්යින්ත් ස්වේ ය. (එහෙත් මේ මැතිවරණයේ දී වංචා සිදු වී නොමැති බව ජාත්‍යන්තර නිරීක්ෂක සංවිධාන අවධාරණය කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ හමුදාවේ මේ ප්‍රචාරය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රචාර සේ ම සාක්ෂි හෝ පදනම් විරහිත ප්‍රචාරයක් බව ය. )

මෙහි අවසන් අදියර ලෙස මැතිවරණයෙන් තේරී පත් වූ නව මන්ත්‍රී වරුන් මැති සබයේ  රැස්වීමට කලින් දින රාත්‍රියේ අවුන් සාං සූ කී ප්‍රමුඛ NLD පක්ෂයේ සියලුම දේශපාලන නායකයෝ අත් අඩංගුවට ගනු ලැබූහ. හමුදා ජුන්ටා ආණ්ඩුවක් පිහිටුවන ලද අතර වසරක විමර්ශනයකින් සහ හමුදා පාලනයෙන් පසුව නිදහස් මැතිවරණයක් පවත්වන බවට ද හමුදා රෙජීමය පොරොන්දු වී තිබේ. 

එහෙත් හමුදාවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ම්‍යන්මා ජනතාව දැවැන්ත ලෙස පෙළ ගැසීමට පටන් ගෙන තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිස් දෙනෙක් වීදි වලට  බැස පෙළපාලි වල නිරත වෙති. හෙද හෙදි සේවක සේවිකාවන් ඇතුළු කෝවිඩ් රෝගීන් වෙනුවෙන් සේවාව කරමින් සිටි සෞඛ්‍ය සේවකයෝ කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් සිය සේවා වලින් ඉවත් වූහ. ගුරුවරු.න්  ද සේවා වර්ජනය කර තිබේ.  

නිදහස ලබා වසර 70න් වසර 60කට අධික  කාලයක් හමුදා ආඥාදායක පාලනයට  යට වී පීඩාවට පත් වී සිටි ම්‍යන්මා (බුරුම ) ජනතාව තව දුරටත් එම පාලනය ප්‍රතික්ෂේප කරති. 

යැන්ගොං අගරදගුරු චාල්ස් මාවුං බෝ කාදිනල් හිමියන් හමුදා කුමන්ත්‍රණය පිලිබඳ මෙම පණිවිඩය නිකුත් කරන්නේ එම පරිසරය තුළ ය. 

චාල්ස් බෝ කාදිනල් හිමි 

ම්‍යන්මාවේ බහුතරය බෞද්ධයෝ ය . එම ප්‍රතිශතය 87%කි.  එරට කිතුනු ජනගහනය 6%ක් පමණි. තමා මේ  පණිවිඩය නිකුත් කරන්නේ "ආධ්‍යාත්මික නායකයකු ලෙස දශ ලක්ෂ සංඛ්‍යාත බුරුම ජනතාව ගේ අභිප්‍රායන් සමග සංවේදනාත්මක වෙමින්" යැයි සිය පණිවිඩය ආරම්භයේ ම කාදිනල් බෝ හිමි පවසයි. එතුමා එම පණිවිඩය මගින් මෙම අර්බුදයට සම්බන්ධ වී සිටින කොට්ඨාස හයක් ආමන්ත්‍රණය කරයි. එනම් ම්‍යන්මා ජනතාව, එරට සිවිල් නායකයන්, සන්නද්ධ හමුදා සහ ජාත්‍යන්තර ප්‍රජාවයි. 

කාදිනල් හිමියන් ඉතා සුක්ෂම වචන වලින් හමුදා කුමන්ත්‍රණය හෙලා දකියි. එතුමන් ගේ මෙම  ප්‍රකාශය කිතුනු වචන වලින් පවසන්නේ නම් ප්‍රබල "දිවැසිවර සාක්ෂි දැරීමක්" වේ. දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද වලට මුහුණ දෙන බොහෝ ආසියාතික රටවල කතෝලික ජනතාවට ද එය ආභියෝගයක් වැන්න.  

ම්‍යන්මා ජනතාවට ...

සිය පණිවිඩය මගින් කාදිනල් බෝ හිමියන් මුලින් ම අමතන්නේ රටේ ජනතාවයි. ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කොට සාමකාමී මාර්ග ඔස්සේ මෙම "අනපේක්ෂිත, කම්පා සහගත" තත්වයට පිළියම් සොයන ලෙස එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

"අපගේ රට තුළ මේ මොහොතේ සිදු වෙමින් පවතින අනපේක්ෂිත, කම්පා සහගත සිද්ධීන් වලින් කැළඹී ඒවා සමග පොර බදන ඔබ සමග මම සහෝදරාත්මකව එක් වෙමි. සන්සුන්ව සිටින ලෙසත් ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් නොවන ලෙසත් මම ඔබ එකිනෙකාට ආයාචනා කරමි. අප ඇති තරම් ලේ වගුරුවා තිබේ. මේ දේශය තුළ තවත් ලේ වැගිරීමක් සිදු නොවේවා!" යි එතුමා ඉල්ලා ඇත. 

"සාමය කල හැක්කකි. අපගේ විරෝධතාව ප්‍රකාශ කල හැකි ප්‍රචණ්ඩ නොවන ක්‍රියාමාර්ග තිබේ."

ගරුත්වය සහ සත්‍යය වෙනුවෙන් කරන අරගලය තුළ වෛරයට ඉඩක් තබා නොගන්නා ලෙස එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි. "මේ අභියෝගාත්මක මොහොතේ පවා, සාමය එකම මාර්ගය බව මම විශ්වාස කරමි. සාමය කල හැක්කකි. අපගේ විරෝධතාව ප්‍රකාශ කල හැකි ප්‍රචණ්ඩ නොවන ක්‍රියාමාර්ග තිබේ," යි එතුමා පෙන්වා දෙයි. "දැනට සිදුවෙමින් පවතින සිද්ධි වලට (හමුදා කුමන්ත්‍රණයට) සාමකාමී ප්‍රතිචාර සහ විරෝධතා  දක්වන්නටත් යාච්ඥාවෙන් ශක්තිය ලබා දෙන්නටත් ආගමික සහ ප්‍රජා  නායකයන් වන අපි ක්‍රියා කරමු" යි කාදිනල්  හිමි ආයාචනා කරයි. 

සන්නද්ධ හමුදා වලට ...

අගරදගුරු චාල්ස් බෝ හිමි කුමන්ත්‍රණයෙන්  බලය අල්ලා  ගත්  බුරුම හමුදා මේ නිවේදනයේ  අමතන්නේ "හමුදා පවුල" වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදය තුළින් දිනාගත හැකි ජයග්‍රහණ සහ සෞභාග්‍යය ආඥාදායක පාලනයක් තුළින් ලබා ගත නොහැකි බව එතුමා ඔවුන් අමතමින් පෙන්වා දෙයි. 

අවුරුදු  60ක ජුන්ටා පාලනයෙන් පසුව පවත්වන ලද සාමකාමී මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්ෂයට 2015 දී සාමකාමී ලෙස බලය පවරද්දී, එය සමස්ත ලෝකයේ ම ගෞරවයට ලක් වූ ආකාරය කාදිනල් හිමි යුද හමුදාව අමතමින් සිහිපත් කරයි. "එහෙත් දැන් සිදු වී ඇති දේ වලට ලෝකය කම්පනයෙන් සහ වේදනාවෙන් ප්‍රතිචාර දක්වා තිබේ" යි එතුමා ඔවුනට පෙන්වා දෙයි. 

"අපි ගැටුම් තුළ අත්දැක්කේ අධික වේදනාව පමණකි. දශක හතක්  තිස්සේ සිදු වූ ලේ වැගිරීම් වලින් සහ ප්‍රචණ්ඩත්වයෙන් අප ලැබූ ප්‍රතිඵලයක් නොමැත" යි එතුමා අවධාරණය කරයි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබද්දී බුරුමය ආර්ථික වශයෙන් ශක්තිමත් රටක්ව තිබිණි. එහෙත් නිදහසින් පසු  සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු බිහි වූ හමුදා ජුන්ටා පාලනය තුළ එම රට ආර්ථික වශයෙන් පිරිහුණු දුප්පත් රටක් බවට පරිවර්තනය  විය. කාදිනල් තුමන් ගේ එම වචන වල ගැබ්ව ඇත්තේ එම අතීතය පිලිබඳ සිතිවිලි ය. 

"ප්‍රජාතන්ත්‍රවාදය කාලයක් පොහොසත් රටක් වූ අපගේ දේශයේ බලාපොරොත්තුවේ ආලෝක කිරණ විය. මෙවර දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළහ."

හමුදාව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට ප්‍රතිඥා දෙන නමුදු එය ඉටු කරන්නට ක්‍රියා නොකරන බව කාදිනල් බෝ හිමි ඔවුන් අමතමින් පෙන්වා දෙයි. "ඔබ සාමයත් අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයත්  පොරොන්දු වූහ. ප්‍රජාතන්ත්‍රවාදය කාලයක් පොහොසත් රටක් වූ අපගේ දේශයේ බලාපොරොත්තුවේ ආලෝක කිරණ විය. මෙවර දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළහ. අපේ ජනතාව සාමකාමී බල මාරුව කෙරෙහි විශ්වාස කරති," යි එතුමා කියා සිටියි. 

"දැන් යුද හමුදාව ඒක පාර්ශවිකව බලය ලබා ගෙන තිබේ. මෙය ම්‍යන්මා ජනතාවත් ලෝකයත් කම්පනයට පත් කර ඇත," යි සිදු වී ඇති සිද්ධියේ බරපතල කම පෙන්වා දෙමින් කාදිනල් හිමි පවසයි. බොහෝ රටවල නායකයන් මේ හමුදා කුමන්ත්‍රණය හෙලා දැක ඇති අතර ඔවුන් ඉදිරියේදීත් එසේ කරනු ඇති බව ද එතුමා සඳහන් කරයි. (එහෙත් එසේ හෙලා දැකීම ගැන කාදිනල් බෝ හිමි අන්තර් ජාතික ප්‍රජාවට චෝදනා කරන්නේ නැත.)  මැතිවරණ අක්‍රමිකතා සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සාමාකාමී ක්‍රියා මාර්ග ඇති බව කාදිනල් තුමා හමුදාවට කියයි. ස්වාධීන නිරීක්ෂයන් ගේ මැදිහත්කම පැතීම එක ක්‍රමයක් බව ද එතුමා පෙන්වා දෙයි. 

අක්‍රමිකතා ගැන විමර්ශනයකින් සහ තවත් මැතිවරණයකින් පසුව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයකට යන බවට හමුදා ජුන්ටාව කර ඇති ප්‍රකාශය ද කාදිනල් හිමි අභියෝගයට ලක් කරයි. "ම්‍යන්මා ජනතාව හිස් පොරොන්දු වලින් වෙහෙසට පත් වී සිටිති. ...ඔබට ජනතාව ගේ විශ්වාසය දිනා හැක්කේ කෙසේ ද? ඔවුනට ඔබ විශ්වාස කල හැකි වනු ඇත්තේ වචන සහ ක්‍රියා එකිනෙකට ගැලපෙන විට පමණි," යි එතුමා අවධාරණය කරයි. 

"ඡන්දයෙන් තේරී පත් වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නියෝජිතයන්, ලේඛකයන්, මාධ්‍ය කරුවන් සහ  ක්‍රියාධරයෝ  යුද සිර කරුවෝ නොවෙති. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ සිර කරුවෝ ය"

එසේම "ඡන්දයෙන් තේරී පත් වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නියෝජිතයන් මෙන් ම ලේඛකයන්, මාධ්‍ය කරුවන්, සහ  ක්‍රියාධරයන් ද කනගාටුදායක ලෙස අත් අඩංගුවට ගෙන තිබෙන" බව කාදිනල් තුමා කියා සිටියි. ඔවුන් ගේ අයිතිවාසිකම් වලට ගරු කොට ඔවුන් ඉතා ඉක්මනින් නිදහස් කරන ලෙස එතුමා ඉල්ලා සිටියි. "ඔවුහු  යුද සිර කරුවෝ නොවෙති. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ සිර කරුවෝ යැ" යි ද කාදිනල් තුමා කියා සිටියි.  

 "අවුං සාන් සූ කී, ජනාධිපති යූ වින් මීන්ට් සහ අදාරණීය නායකයනට"

අවුන් සාං සූ කී 

අවුං සාන් සූ කී ඇතුළු නායකයන් මෙම කනගාටුදායක ඉරණමට ලක්වී සිටින්නේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට ඔවුන් දරන නොනිමි අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බව කාදිනල් චාල්ස් බෝ හිමි එම නායකයන් නමින් ම අමතමින් කියා සිටියි. ඔවුනට ඉතා ඉක්මනින් නිදහස ලැබෙන ලෙස තමන් යාච්ඥා කරන අතර එසේ කරන ලෙස අදාළ සියලු අංශ වලින් ඉල්ලා සිටින බව ද එතුමා කියයි. 

මෙහිදී එතුමා සූ කී ඉතා සංවේදීව අමතයි. "ප්‍රිය අවුං සාන් සූ කී, ඔබ ජීවත් වූයේ අපගේ ජනතාව වෙනුවෙනි; පරිත්‍යාග කළේ අපගේ ජනතාව වෙනුවෙනි; ඔබ නිරන්තරයෙන්  ජනතාව ගේ හඬ ය. මේවා වේදනාකාරී දවස් ය. එහෙත් ඔබ අන්ධකාරය අත්දැක ඇති අතර මේ ජාතියේ ආලෝකය ද දැක තිබේ. ..."

"සත්‍යය ජග්‍රහණය කරනු ඇත. සත්‍යයේ අවසන් තීරකයා දෙවියන්  වහන්සේ ය."

සු කී අමතමින් කාදිනල් තුමා අවධාරණය කරන්නේ සත්‍යය පාගා දැමිය නොහැකි බවයි: 

"සත්‍යය ජග්‍රහණය කරනු ඇත. සත්‍යයේ අවසන් තීරකයා දෙවියන්  වහන්සේ ය.... ඔබට යළිත් ඔබගේ ජනතාව සමග ගමන් කිරීමට හැකි වේවා යි මම යාච්ඥා කරමි."

ජාත්‍යන්තර ප්‍රජාවට ...

ම්‍යන්මාවේ යැන්ගොං අගරදගුරු චාර්ල්ස් බෝ කාදිනල් හිමි සිය ප්‍රකාශයෙන් ඊලඟට අමතන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට ය. බුරුමයේ දැන් සිදුවෙමින් පවතින සිදුවීම් ගැන ඔවුන් දක්වන උනන්දුව සහ ඔවුන් ගේ ප්‍රතිචාරය එතුමා අගය කරයි.  එතුමා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය දුප්පත් ජනතාව තවත් දුප්පත් කමට හෙළා  දමන ආර්ථික සම්බාධක වැනි තහංචි වලින් තොරව සාමකාමී සහ නිර්මානාශීලී ක්‍රම ඔස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමට  සහය වන ලෙස ය. 

"ඔබගේ සැලකිල්ල ගැන අප කෘතවේදී වන  අතර ඔබගේ කම්පනය ප්‍රකාශ කිරීම අපි අගය කරමු. මේ මොහොතේ ඔබ කාරුණිකව අප කැටුව  යාම ගැන අපි කෘතඥ වෙමු.එය අපට ශක්තියකි.

"ආර්ථිකය බිඳවැට්ටීමටත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුප්පත් කමට ඇද දැමීමටත් සම්බාධක  හේතු වනු ඇත."

"එහෙත් හදිසි තීන්දු සහ තීරණ අපගේ ජනතාවට යහපතක් නොකරන බව ඉතිහාසය පෙන්නුම්  කර තිබේ. තහංචි සහ සම්බාධක වලින් ප්‍රතිඵල ලැබී නොමැත.  ...ආර්ථිකය බිඳවැට්ටීමටත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුප්පත් කමට ඇද දැමීමටත් සම්බාධක  හේතු වනු ඇත. සමගි සන්ධානය උදෙසා මීට අදාළ පුද්ගලයන් සම්බන්ධ කරගැනීම එකම මාර්ගය ය"යි එතුමා අවධාරණය කරයි. 

"සාමය කළ හැක්කකි. එකම මාර්ගය සාමයයි. එම මාර්ගයට ඇති එකම ආලෝකය ප්‍රජාතන්ත්‍රවාදයයි,"

කාදිනල් තුමා සිය ප්‍රකාශය අවසන් කරන්නේ " සාමය කළ හැක්කකි. එකම මාර්ගය සාමයයි. එම මාර්ගයට ඇති එකම ආලෝකය ප්‍රජාතන්ත්‍රවාදයයි," යනුවෙනි. 

සැලේසියානු නිකායිකයකු වන චාල්ස් බෝ හිමි  කාදිනල් නිල ගන්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමන් විසිනි. එතුමා මේ වන විට ආසියානු රදගුරු සමුළු සන්ධානයේ සභාපති වරයා ය. ම්‍යන්මාවේ සාමය සඳහා ආගම් සන්ධානයේ අනුශාසක එතුමා ය. Religions for Peace International සංවිධානයේ සම-සභාපති ලෙස ද එතුමා කටයුතු කරයි. 

"පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න" - ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ම්‍යන්මා නායකයනට කියයි 

මේ අතර, අද ඉරිදා මධ්‍යහ්නයේ සිය තුන් කාල ආරාධනා යැදුමෙන් පසුව කතා කළ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්‍යන්මා ජනතාව සමග සිය සහයෝගිතාව ප්‍රකාශ කළේය. එසේම එරට නායකයන් පොදු යහපත වෙනුවෙන් සේවය කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කළ යුතු බව එතුමා කියා සිටියේ ය. 

"ම්‍යන්මාවේ සිදුවෙමින් පවතින සිද්ධි මම ඉතා  සැලකිල්ලෙන් බලා සිටිමි. 2017 දී මා එරටේ කල අපෝස්තලික සංචාරයෙන් පසුව එම ජනතාව මම ඉතා සෙනෙහසින් මගේ හදවතේ දරාගෙන සිටිමි. මේ ඉතා සංකීර්ණ මොහොතේ ම්‍යන්මා  ජනතාව වෙත මගේ ආධ්‍යාත්මික සමීප බවත්, මගේ සහයෝගීතාව සහ යාච්ඥාත් මම පොරොන්දු වෙමි" යි එතුමා ප්‍රකාශ කළේය. 

"දේශපාලන වගකීම් සහිත තැනැත්තන් පොදු යහපත වෙනුවෙන් සේවාව කිරීමටත්, සමාජ සාධාරණත්වය සහ ජාතික ස්ථාවර භාවය ප්‍රවර්ධනය කිරීමටත් ඇති අවංක කැමැත්ත ප්‍රදර්ශනය කරනු පිණිස ද ප්‍රජාතන්ත්‍රවාදී සහ සම්බන්ධතාවයෙන් ක්‍රියා කරනු පිණිස ද මම යාච්ඥා කරමි" යයි ද එතුමා කීවේ ය. 

මේ අතර අත්අඩංගුවට ගෙන සිටින ම්‍යන්මා දේශපාලන නායකයන් විගසින් නිදහස් කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරට හමුදා කුමන්ත්‍රණ නායකත්වයෙන් පැහැදිලිවම ඉල්ලලා සිටියේ ය. 

එතුමා මෙම ඉල්ලීම කලේ වතිකානයට පත් කර ඇති ලොව පුරා රටවල තානාපතිවරුන් අමතමිනි. වතිකානයේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායම් වල ප්‍රධානීන් සහ පාප් වහන්සේ අතර වාර්ෂික හමුව පෙබරවාරි 8 වැනිදා පැවැත්විණි. සුදොතුම් පියතුමා එම ඉල්ලීම කලේ තානාපති හමුවේ දී ය.  

" ම්‍යන්මාව විසින් මෑතක දී ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය පසුගිය සතියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය නිසා පරුෂ ලෙස බිඳ වැටිණි," යි එතුමා කීවේ ය. 

"මෙහි දී විවිධ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ සිරගත කරනු ලැබූහ. රටේ යහපත අරමුණු කරගත් අවංක සංවාදයක් ආරම්භ වීම දිරි ගැන්වීමේ සංකේතයක් ලෙස ඔවුන් විගසින්ම නිදහස්  කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි," යි ද එතුමා සඳහන් කළේය. 



 








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය