සභාවට නව කාදිනල් හිමි වරු 13 නමක්; 9 දෙනෙකුට මීළඟ සුදොතුම් පියතුමන් තෝරාගැනීමේ දැහැනට එක් වීමේ සුදුසුකම; ප්‍රැන්සිස් අසීසි තාපසාරාමයේ නායක පියතුමාත් ඒ අතර

Holy Father announces a consistory for the creation of 13 new cardinals; 9 electors and three priests among them

(2020 ඔක්තෝබර 25)

නව කාදිනල් හිමිවරුන් 13 නමක් වර ගැන්වීමට තමන් තීරණය කර ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  අද ප්‍රකාශ කළේය. 

 එතුමා මෙම ප්‍රකාශය  කළේ අද, ( ඔක්තෝබර 25) ඉරිදා,  තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

නව කාදිනල් හිමිවරුන් වර ගැන්වීම නොවැම්බර මස 28 වැනිදා සිදු කෙරෙන බව සුදොතුම් පියතුමා කීවේ ය.  

නව කාදිනල් හිමිවරුන්  අතර පියතුමන්ලා තුන් දෙනෙක් ද සිටිති. ඒ අතරින් දෙදෙනෙක් ප්‍රන්සිස්කාන නිකායිකයෝ ය. ඉන් එක්  අයකු වන්නේ අසීසියේ සාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකාව අයත් තාපසාරාමයේ නායක මාඋරෝ ගම්බෙත්ති පියතුමා ය.  දීර්ඝ කාලයක් තිස්සේ සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමා ලෙස සේවාව කරමින් සිටින රැනියෙරෝ කැන්ටලමෙස්සා පියතුමා දෙවැන්නා ය. 

නවක කාදිනල් හිමිවරුන් අතරින් 9 දෙනෙක් වයස අවුරුදු 80ට අඩු අය වෙති. එනම්, නව පාප් වහන්සේ නමක් තෝරාගන්නා සසුන් පිය වරණ දැහැනකට සහභාගී වීමට  ඔවුහු සුදුසුකම් ලබති. ඉතිරි නවක කාදිනල් හිමිවරු  වයස අවුරුදු 80ට ඉහල අයයි. 

සුදොතුම් පියතුමන් විසින් නම් කරන ලද කාදිනල් හිමි වරුන් අතරින් දෙදෙනෙක් රෝම පරිපාලන ව්‍යුහය වන රෝම කියුරියාවේ නිල දරන්නෝ වෙති. තවත් සය නමක් ඇමෙරිකාව, අප්‍රිකාව , ආසියාව සහ ලතින් අමෙරිකාව යන රටවල දහම් සේවාවේ නිරත  වෙමින් සිටිති. 

මේ අතර එක් කාදිනල් හිමි නමක් වන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන්හි අගරදගුරු විල්ටන් ග්‍රෙගරි හිමිපාණෝ ය. එතුමා අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික කාදිනල් හිමියන් ලෙස ඉතිහාසයට එක් වෙයි. ඇමෙරිකාව වර්ග වාදයේ ගිණි දළුවලින් වෙලී ඇති මොහොතක කළු ජාතික ග්‍රෙගරි හිමියන් කාදිනල් වරයට පත් වීම එරටට දැවැන්ත පණිවිඩයක් සහ අභියෝගයක් වන්නේ ය. 

සසුන් පිය වරණ දැහැනකට  සුදුසුකම් සහිත නව කාදිනල් හිමිවරුන් 9 දෙනා  මෙසේ ය:

මාරියෝ ග්‍රෙච් රදගුරු හිමි - රදගුරු සිනොඩ් කථිකාවේ ලේකම් (මෝල්ටා ජාතික)

මාසෙලෝ සෙමෙරන්තෝ රදගුරු හිමි - සාන්තුවරුන් පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී (ඉතාලි ජාතික)

ඇන්ටොයින් කම්බන්ඩා අගරදගුරු හිමි - රුවන්ඩාවේ කිගාලිහි අගරදගුරු 

විල්ටන් ඩී. ග්‍රෙගරි අගරදගුරු හිමි - ඇමෙරිකාවේ වොෂින්ටන්හි අගරදගුරු 

හොසේ ෆුවෙර්තේ අද්වින්කියුලා අගරදගුරු හිමි - පිලිපීනයේ කැපීස් හි අගරදගුරු 

සෙලස්තිනෝ අඕස්  බ්‍රාකෝ (ප්‍රන්සිකාන කැපුචින්) අගරදගුරු හිමි - චීලි හි සන්තියාගෝ පදවියේ අගරදගුරු (උපත ලැබුවේ ස්පාඥ්ඥයේ)

කොර්නේලියස් සිම් හිමි - බෘනායි හි අපෝස්තලික පරිපාලක නාහිමි 

අගොස්ටෝ පාඔලෝ ලුජෙදිස් හිමි  - ඉතාලියේ සියෙනා හි අගරදගුරු 

මාඋරෝ ගම්බෙත්ති (OFM) පියතුමා -  අසීසියේ සාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකා තාපසාරාමයේ නායක

වයස අවුරුදු 80 ට ඉහල කාදිනල් හිමිවරු 4 දෙනා:

ෆෙලිපේ අරිස්මෙන්දි එස්ක්විවෙල් හිමි - මෙක්සිකෝවේ සන් ක්‍රිස්ටොබෙල් ඩි ලාස් කාසස්හි අගරදගුරු 

සිල්වානෝ ටොමාසි අගරදගුරු හිමි - එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ජිනීවා හි හිටපු වතිකාන ස්ථිර නිරීක්ෂක

රැනියෙරෝ කැන්ටලමෙස්සා (කැපුචින්) පියතුමා  - සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමා

එන්රිකෝ ෆෙරෝචි පියතුමා - ඉතාලියේ කාසල් දි ලේවා හි දිව්‍ය ප්‍රේමයේ මරිය මෑණියන් ගේ මීසමේ මීසම් සේවක 

යාච්ඥා කරන්න 

නව කාදිනල් හිමි වරුන් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි එම නම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුදොතුම් පියතුමා  කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. 

"ඔව්හු ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි වූ සිය ඉමහත් ප්‍රේමය ස්ථිර කිරීමෙන් පසු, සමස්ත දේව ජනතාව ගේ යහපත සඳහා රෝමයේ රදගුරු තුමන් ලෙස මගේ  දූත මෙහෙවරට සහය දෙති" යි එතුමා කියා සිටියේ ය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය