"මැයි 14 දා යාච්ඥාවෙන් සහ උපවාසයෙන් කෝවිඩ්-19 වසංගතය තුරන් කරන ලෙස යදින්නට එක් වන්න" - සුදොතුම් පියතුමා ගේ ඇරියුමට ලොව පුරා ජනතාවගෙන් ප්‍රතිචාර (Vedio)

Faithful respond to Pope's invitation to pray for the end of the pandemic on 14 May



(2020 මැයි 12)
තමන්ට හැකි ආකාරයට, තම ආගමික විශ්වාසයට අනුව, යාච්ඥාවෙන් සහ උපවාසයෙන් කොරෝනා වසංගතය ලොවින් තුරන් කරන ලෙස යැදීමට එක්  වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ ඉල්ලීමට ලොව පුරා සෑම තරාතිරමක ම, ආගමක ම, වයසක ම, ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතියි. මේ අනුව එදින විවිධ ආගම් සහ විශ්වාස වලට අයත් ජනතාව තම විශ්වාසයන්ට අනුව වසංගතය තුරන් වේවා යි ප්‍රාර්ථනා කිරීමට එක් වනු ඇතැයි වතිකානය ප්‍රකාශ  කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කළේ ගිය ඉරිදා පාස්කු කාලයේ තුන්කාල ආරාධනා යැදුම අවසානයේ විශ්වාසකයන් අමතමිනි.

මේ ආරම්භ වී ඇත්තේ ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ගේ රාමදාන් උපවාස මාසය යි. එම මාසයේ විශේෂ ලක්ෂණයක් වන යාච්ඥාව සහ උපවාසය පාදක කර ගනිමින් මැයි 14 වැනිදා වසංගතය තුරන් කිරීම වෙනුවන්  ලොව පුරා ප්‍රාර්ථනාවේ සහ උපවාසයේ දිනයක් කරන ලෙස "මානව සහෝදරත්වයේ උසස් කමිටුව"   (Higher Committee for Human Fraternity) යෝජනා කර තිබිණි.

තමා ද එම යෝජනාව  පිළිගන්නා අතර එදින මේ අරමුණ වෙනුවෙන් යාච්ඥා කිරීමටත්, ප්‍රාර්ථනා කිරීමට හා උපවාස කිරීමටත් එකමුතු වන ලෙස සමස්ත කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනයාගෙන් ඉල්ලා සිටින බව එතුමා  කියා සිටියේ ය.

"මේ මොහොත සියලු ආගම් අනුගමනය කරන්නන් එක්සත් වී වසංගතය තුරන් කිරීම වෙනුවෙන් යාච්ඥා කිරීමට, උපවාස කිරීමට සහ දයාවේ ක්‍රියා (පුණ්‍ය ක්‍රියා) කිරීමට අවස්ථාව යයි" එතුමා කීවේ ය. "යාච්ඥාව  සතුව විශ්වීය වටිනාකමක් තිබේ" යයි එතුමා අවධාරණය කළේ ය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග මෙම යෝජනාව පිළිගත් අනෙක් ආගමික නායකයා ඊජිප්තුවේ අහ්මඩ් අල්-ටයෙබ්  අග්‍ර ඉමාම් තුමා ය. මෙම අවස්ථාවට එක්වන ලෙස එතුමා ලොව පුරා ඉස්ලාම් බැතිමතුනට ආරාධනා කළේය.

ලෝකයේ සියලුම ආගමිකයන් එක්සත් වන මේ අවස්ථාව ඓතිහාසික එකක් යයි එම කමිටුවේ සාමාජිකයකු වන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ සහයකයකු වන යෝආනිස් ලාසි  ගේඩ් මාහිමි කියා සිටියේ ය. "මෙය සමස්ත මානව ප්‍රජාව ම එක් පොදු අරමුණක් වෙනුවෙන් යාච්ඥා කරන්නට එක්සත් වුනු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වනු ඇත. ආගම සමගි කරනවා මිස භේද නොකරයි යන්න ඔප්පු කරන්නට මෙය කදිම අවස්ථාවකි" යි ද එතුමා සඳහන් කළේ ය.

"මානව සහෝදරත්වයේ උසස් කමිටුව"   (Higher Committee for Human Fraternity) පිහිටුවා ගන්නා ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2019 දී  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපෝස්තලික චාරිකාව කල අවස්ථාවේ දී ය.

මෙම යැදුම් දිනයට එක්වන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ  ඇරයුමට ලොව පුරා ප්‍රදේශ රැසකින් ලැබුණු ප්‍රතිචාරය අලලා වතිකාන මාධ්‍ය අංශය මෙහි දැක්වෙන වීඩියෝව නිකුත් කළේ ය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය