"පූජක අපයෝජනයට ලක්වූවන් විශ්වාස කරන්න. ඔවුන්ට ගරු කරන්න. ..ඔවුන් සභාවේ සතුරන් බව පවසා අවමන් නොකරන්න!" රදගුරු සමුළුවේ දී සාක්ෂි දැරූ අපයෝජනයට ගොදුරු වූවෝ කියති

Victims should be “believed, respected, cared for, and healed. They must not be treated as enemies of the Church" Abuse victims appeal in their testimonies 


(2019 පෙබරවාරි 21)
පුජකවරුන්  අතින් අපයෝජනයට ලක්වූවන් ඒ ගැන සභා නායකයනට පැමිණිලි කරන විට ඔවුන් විශ්වාස කරන්නැයි අපයෝජනයට ලක්වූ අයෙක් ලොව පුරා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි. "ඔවුන් බොරු කියන බවත් සභාවේ සතුරන් බවත් පවසමින් ඔවුනට අවමන් කරන්නට එපා!" යි ඔහු අවධාරණය කරයි.

ළමා අවධියේ කතෝලික පුදැදුරු වරයකු අතින් ලිංගික අපයෝජනයට ලක්වූවෙක් මේ බව කියා සිටියේ ළමා අපයෝජනය පිලිබඳ රදගුරු හමුව ඉදිරියේ සිය ජීවිත සාක්ෂිය ඉදිරිපත් කරමිනි ඔහුගේ ඇතුළු තුන් දනෙකු ගේ සාක්ෂි වීඩියෝ දර්ශනයක් ලෙස රදගුරු හමුවට එක්වූ 190ක් වන  නියෝජිතයන් හමුවේ ප්‍රදර්ශනය කෙරිණි. මෙම සාක්ෂි කරුවන් ගේ නම් හෝ එම වීඩියෝව මාධ්‍ය වලට නිකුත් කර තිබුනේ නැත. ඔවුන් ගේ කතාව මුද්‍රිත පිටපතක් ලෙස පමණක් බෙදා හැර තිබිණි.

සමුළුවේ ආරම්භ දිනය වූ පෙබරවාරි 21 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ඉතා කෙටි ආරම්භක හැඳින්වීමෙන් පසුව මුල්ම අංගය වූයේ මෙම සාක්ෂි කරුවන් ගේ සාක්ෂි දැරීම් වලට සවන් දීමයි. ඒ මගින් අපයෝජනවල බරපතල කමත්, ඊට ගොදුරු වූවන් පිළිගෙන  ඔවුන්ට ගරුකොට ඔවුන්  කැටුව යාමේ වගකීමත් ගැන රදගුරු හිමිවරුන් තුළ අවබෝධයක් ඇති කිරීම මෙහි අරමුණ වී  තිබිණි.

"ලිංගික අපයෝජනයේ බරපතල ආදීනව ගැන සෑම කෙනෙක්ම දන්නවා" ප්‍රථම සාක්ෂි දරන්නා කියා සිටියේය. "එහෙත් කතෝලිකයකුට තිබෙන ඉතාම දුෂ්කරම දේ ලිංගික අපයෝජනය ගැන කතා කිරීමයි" ඔහු පෙන්වා දුන්නේය.

තමාට සිදු වූ ලිංගික අතවරය ගැන සභාවේ නායකත්වය සමග  කතා කරන්නට තමා තුළ වූ ඕනෑකම ඔහු පැහැදිලි කළේය. "මා තුළ ඇති වූ මේ රිදුම් දෙන තුවාලය ගැන කතා කරන්න මට ඕනෑ වුනා. ඔවුන් මට ගරු කර මට  සවන් දෙනු ඇති කියා මා විශ්වාස කළා. එහෙත් ඔවුන්  මා සැලකූයේ  බොරු කාරයෙක් හැටියටයි. ඔවුන් මා හැඳින්වූයේ සභාවේ සතුරෙක් හැටියටයි" එම සාක්ෂි  කරු වේදනාවෙන් කීවේය.

"මේ රටාව පවතින්නේ චීලි රටේ පමණක් නොවේ. ලෝකය පුරාම කතෝලික සභාව තුළ මේ රටාව පවතිනවා. එය අවසන් කල යුතුයි"ඔහු අවධාරණය කළේය. "ලිංගික අපයෝජන සහ අතවර වලට ගොදුරු වූවන් විශ්වාස කල යුතුයි. ඔවුන්ට ගරු කළ යුතුයි. ඔවුන්ට සාත්තු කොට ඔවුන් සුවපත් කළ යුතුයි" ඔහු කීවේය.

"මට මෙහෙම හිතෙනවා: තමන්ගේ පුංචි බැටළු පැටවුන් පාවා දෙන්නේ තමන්ගේම එඬේරුන් බව දකින විට ජේසු  මොනවා හිතනවා ඇත්ද? මරිය මෑණියන් මොනවා හිතනවා ඇත්ද?" ඔහු හැඟුම් බරව ප්‍රශ්න කළේය.

දෙවැනි සාක්ෂි දැරීම කාන්තාවකගෙනි. වයස අවුරුදු 15 සිට අවුරුදු 13 ක් එක පූජක වරයකු තමා ලිංගිකව අපයෝජනය කල බව එම කාන්තාව කීවාය. තමා දුප්පත් වූ නිසා ආර්ථික වශයෙන් එම පියතුමාට තමා බැඳී සිටි බව ඈ කීවාය. තමා ඔහු සමග සිටීම ප්‍රතික්ෂේප  කළහොත් ඔහු තමාට  පහර දුන් ආකාරය ඈ විස්තර කළාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමාගේ ජීවිතය විනාශ වූ බව ඇය කීවාය. "අන්‍යයන් ගේ යහපතම අභිමතය කර ගනිමින් ඔවුනට ප්‍රේම කරන්න" යයි ඇය  රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

තුන්වැනි සාක්ෂි  දැරීම  53 හැවිරිදි පැවිදි පූජකවරයෙකුගෙනි. තමා වයස අවුරුදු  13ත් 19ත් අතර වයසේදී පූජකවරයකු තමා ලිංගික අපයෝජනයට ලක්කළ ආකාරය ඔහු ප්‍රකාශ කළේය. ඊටත් වඩා ඔහු පීඩාවට පත්වූයේ මේ සම්බන්ධයෙන් සිය රදගුරු තුමාට දන්වන්නට යාමේදීය. මුලින්ම රදගුරු  වරයා මේ යෞවනයා ගේ  ලියුම් වලට පිළිතුරු දුන්නේ නැත. පසුව වැඩිහිටියකු ලෙස රදගුරු තුමා හමුවී ඔහුට ඒ ගැන කියන්නට ගිය අවස්ථාවේ රදගුරු වරයා තමාට පහර දුන් බව මෙම පූජකතුමා කියා සිටියේය.

"මට අවශ්‍ය වුනේ කවුරු හරි මට සවන් දෙන්නටයි. මම දන්නවා ඒ මනුස්සයා - ඒ පූජකවරයා - කවුද කියා. ඔහු කරන්නේ මොනවද කියා මම දන්නවා. මම ඒ පූජක වරයාටත් රදගුරු තුමාටත්  මගේ මුළු හදවතින්ම සමාව දෙනවා. මම සභාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. සභා තුළ සිටින්නට හැකිවීම ගැන මම දෙවියන් වහන්සේට කෘතඥ වෙනවා. පූජක මිතුරන් රැසක් මට උදව් වී තිබෙනවා...." එම පුදැදුරු තුමා කීවේය.

අවසාන සාක්ෂි දැරීම ආසියාවෙනි. එක පූජක වරයෙකු දීර්ඝ කාලයක් තිස්සේ තමා ලිංගිකව දුෂ්‍ය කල බව ඔහු කීවේය. මේ නිසා තමා තුළ ඇති වූ මානසික රෝග වලින් තමා තාමත් දුක් විඳින බව ඔහු හෙළි කළේය. මෙම අපයෝජනය ගැන තමා සිය ශ්‍රේෂ්ඨයන්ට දැන් වූ සෑම විටම ඔවුන් එම පූජක වරයා ආරක්ෂා කරමින් මෙම අපරාධය වසා ගන්නට කටයුතු කල අන්දම ඔහු විස්තර කළේය.
"ලිංගික අපයෝජන ගැන කටයුතු කිරීමේ දී ඔබගේ ක්‍රියාව පිරිසිදු  කරගන්න" ඔහු රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.  






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය